17
Sun, Dec

වමේ කතා

ඔක්තෝබර් මස 9 වැනිදා මුදල් නියෝජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න විසින් 2018 වසර සඳහා අයවැය යෝජනා වලට පෙර ඉදිරිපත් කරන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

එම විසර්ජන පනත් කෙටුම්පතෙන් හෙළිවන ආර්ථික දත්ත ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර පරිමාණයෙන් ධනවාදය මුහුණදී සිටින අර්බුදයේම ගොදුරක් බව තහවුරු කරන අතර එය අලුත් වටයකින් ලංකාව ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි අධිරාජ්‍යවාදී මූල්‍ය සංවිධාන වල උගුලට හසු කරන්නක් බවද පෙනේ. මෙම අර්බුදය අවසානයේදී පටවනු ලබන්නේ වැඩකරන පන්තිය ප්‍රමුඛ සමාජයේ පහල ස්ථර වල හිස් මතය.

මෙවර විසර්ජන පනත් කෙටුම්පතෙහි පෙනෙන සුවිශේෂී ලක්ෂණය වන්නේ ඇති විශාල අයවැය හිඟයයි. 2017 වසරට අදාළ අයවැයෙහි සංඛ්‍යාලේඛන ගතහොත් රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2098ක්ද, සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 2723ක්ද වූ අතර මෙම වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 625කි. නමුත් විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ අපේක්ෂිත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2175ක්ද, අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3982ක්ද වන අතර අයවැය හිඟය රුපියල් බිලියන 1803 දක්වා තියුණු ලෙස ඉහල ගොස් ඇත. මෙම හිඟය පියවීම සඳහා පාලකයන් උත්සාහ ගනු ඇත්තේ වැඩිවැඩියෙන් ජනතාව මත බදු බර පැටවීමෙන් සහ අධිරාජ්‍යවාදී මූල්‍ය සංවිධාන වලින් කොන්දේසි මත ණය ගැනීමෙනි. එම ණය සමග එන කොන්දේසි නැවත වටයකින් ජනතාවගේ සමාජ ආරක්ෂණ අහිමි කර පහල පන්තීන් මත වැඩි බරක් පටවනු ඇත.

මෙවර සමස්ත රාජ්‍ය වියදම වන රුපියල් බිලියන 3982 පසුගිය වසරට සාපේක්ෂව රාජ්‍ය වියදම රුපියල් බිලියන 1250කින් හෙවත් 46%කින් වැඩිවීමකි. එහෙත් අධ්‍යාපන අමාත්‍යංශයේ වියදම් වැඩිකර ඇත්තේ රුපියල් බිලියන25කින් පමණි. උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යංශයේ වියදම් වැඩිකර ඇත්තේ රුපියල් බිලියන 19කින් පමණි. සෞඛ්‍ය අමාත්‍යංශයේ වියදම් වැඩි කර ඇත්තේ රුපියල් බිලියන 17කින් පමණි. රුපියල අවප්‍රමාණ වීමට සාපේක්ෂව බලන විට මෙය සොච්චම් වැඩිවීමකි. ඒ සොච්චම වැඩි වුයේත් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය වෙනුවෙන් දැවැන්ත ජනතා උද්ඝෝෂණයක් පැනනැගීම නිසාය.

ජනතා විරෝධය සඳහා එතරම් අවධානය යොමු නොවූ ක්ෂේත්‍ර වල වියදම් හිතුමතේ කපා දමා තිබේ. පොදු ප්‍රවාහනය සඳහා වියදම් මෙම වසරේ රුපියල් බිලියන 51 සිට ලබන වසරේ රුපියල් බිලියන 42 දක්වා අඩු කර තිබේ. ඒ 2015දී රුපියල් බිලියන 78ක්, 2016දී රුපියල් බිලියන 58ක් සහ 2017දී රුපියල් බිලියන 51ක් ලෙස අඛණ්ඩව පොදු ප්‍රවාහනය සඳහා රාජ්‍ය ප්‍රතිපාදන කපා හැරීමේ බරපතල කප්පාදු පිළිවෙතේ කොටසක් ලෙසය.

එනිසා රාජ්‍ය වියදම් වැඩිකර ඇත්තේ ජනතාවගේ පොදු සමාජ ආරක්ෂණ වෙනුවෙන් නොව නව ලිබරල් ප්‍රතිපත්තියට අනුව ආයෝජකයන්ට යටිතල පහසුකම් ඇතුළු ප්‍රාග්ධනයේ අවශ්‍යතා වෙනුවෙනි. අවසානයේ එම බරද වැඩකරන ජනතාව මතම පැටවෙනු ඇත.
පුබුදු ජාගොඩ

Add comment


Security code
Refresh