Breaking News

රනිල්ගේ ‘නිදහස’ සමරන්න පසුගිය වසරටත් වඩා වියදම් කරලා

මෙවර නිදහස් දින සැමරුම වෙනුවෙන් රජය වැයකළ මුදල් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබේ.

75 වන ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය සඳහා රජය වැය කළ මුළු මුදල රුපියල් 11,130,011.29ක් බව ජනාධිපති කාර්යාලය පවසනවා. ඊට අමතරව ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ මුදල් වැයකිරීමට ඇස්තමේන්තු ගතකර තිබුණද එම මුදල් වැය නොකළ බවයි.

කෙසේවෙතත් අද උදෑසන 2022 වසරේ නිදහස් දින සැමරුම වෙනුවෙන් වැය කර තිබෙන රුපියල් ලක්ෂ 950 ක් හෙවත් කෝටි 9.5 ක් බවත් මේ වසරේදී නිදහස් දින සැමරුම වෙනුවෙන් දරා ඇති වියදම රුපියල් කෝටි 40 ක් බවත් ‘දිවයින’ පුවත්පත වාර්තා කර තිබෙනවා. එම පුවත තවමත් දිවයින වෙබ් අඩවියේ දැකගත හැකි වෙනවා.

පසුගිය වසර හා සසදා බැලීමේ දී මේ වසරේ ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් මෙතරම් විශාල වියදමක් දැරීමට සිදුව ඇත්තේ රට තුළ පවතික අධික උද්ධමනය හේතුවෙන් බවයි පැවසෙන්නේ.

එසේම විවිධ කටයුතු සඳහා වෙන්කර තිබූ මුදල් ප්‍රමාණයන් අනුව ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් සැක මතුවෙනවා. එම නිවේදනයේ මුළු මුදලක් ගැන සඳහන් කර ඇති නමුත් එම මුදල් වියදම් වූ ආකාරය පැහැදිලිව දක්වා නොමැත.

නිදහස් දින සැමරුම වෙනුවෙන් පසුගිය වසරවල දරා තිබෙන වියදම් පහතින්.

2021 දී 80,662,000.36
2020 දී 63,214,561.99
2019 දී 68,130,091.15
2018 දී 86,805,319.35

මේ අතර, මේ මොහොතේ අත්‍යවශ්‍ය වියදම් වලට මුදල් කළමනාකරණය සිදු කරන්නේ ඉතා අසීරුවෙන් අපහසුවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පසුගියදා පවසා සිටියා.

එබැවින් අත්‍යවශ්‍යම කටයුතු හැරුණු කොට වෙනත් කිසිම පරිබාහිර කටයුත්තක් සඳහා මුදල් වියදම් කිරීමේ හැකියාවක් මේ වන විට මහා භාණ්ඩාගාරයට නැති බවත් ඒ තත්ත්වය මත මැතිවරණය හෝ වෙනත් වියදමක් සඳහා මුදල් වැය කළ හොත් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි ඇතුළු සහනාධාර දීමනා ද ප්‍රමාද කිරීමට සිදුවනු ඇති බවත් හෙතෙම සඳහන් කර සිටියා.

ඊට අමතරව පසුගියදා මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකදී දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙමින් භාණ්ඩාගාර ලේකම් පවසා සිටියේ මෙවැනි අර්බුද සමයක මැතිවරණයක් වෙනුවෙන් මුදල් වෙන් කළ නොහැකි බවයි.

 

leave a reply