Breaking News

ඉතාලියේ රියදුරු බලපතේ කථා වස්තුව

වසර 5න් 5ට අහෝසි වන නැවත අලූත්වන ඉතාලිය හා ශ‍්‍රී ලංකාව වැනි බොහෝ රටවල් අතර සමානයන් ලෙස සැලකීමේ අනෝන්‍ය ගිවිසුම් අතර රියදුරු බලපත‍්‍රයට අදාල ගිවිසුම අහෝසි වූයේ 2022 පෙබරවාරි 28 දිනය. එතැන් සිට මේ දක්වා ගෙවුනු වසර දෙකකට ආසන්න කාලය තුල එම ගිවිසුමට අදාල එකගතාවයන් සම්පූර්ණ කරන්නට ලංකා රජය මේ දක්වා අසමත් වීම හේතුවෙන් බොහෝ පිරිසක් අපහසුතාවයට පත්වී සිටිති. මින් පෙර තත්වය සලකා බැලූවිට පෙනී යන්නේ 2011 නොවැම්බර් 14 සිට ක‍්‍රියාත්මක වී 2016 නොවැම්බර් 14 අහෝසි වූ ගිවිසුම 2017 මාර්තු 4 වන විට නැවත බලාත්මක කරන්නට කටයුතු කර තිබෙන බවයි. ඒ අනුව ජාත්‍යන්තරය හඳුනන ලෝකෙ වටේ රවුම් ගහමින් උජාරු කතා පවත්වන සමහරුන්ට අනුව අපේ වාසනාවට පහල වූ ගරු ජනපති මැතිඳුන්ට වසර දෙකක් ගතවීත් මේ ගැටලූව විසඳාලන්නට නොහැකිවීම අදහාගත නොහැකි කරුණකි.

කෙසේ වෙතත් මේ ගැටලූව මේ වන විට ඉතාලියේ රැකියා කරන/ ජීවත් වන බොහෝ දෙනෙකුට බලපාන ගැටලූවකි. ඒ අතර විශේෂයෙන්ම පසුගිය ෆ්ලූස්සි නීතිය යටතේ රියදුරු රැකියාවන්ට පැමිනි බොහෝ දෙනෙකුට එය මාරාන්තික ගැටලූවක් වී ඇත. වසරක කාලයක් ඔවුන්ට තිබූ අවකාෂය මේ වන විට අවසන් වෙමින් තිබෙන අතර මෙම පරිවර්ථන අවස්ථාව නොලැබුනහොත් ඔවුන් පත්වන තත්වය අමුතුවෙන් විස්තර කල යුතු නැත. ඒ නිසාම මේ වන විට ඉතාලියේ ලාංකීය සමාජය මේ පිළිබඳ දැඩි උණුසුම්කාරී තත්වයකට පත්වී ඇත. ඒ නිසාම විවිධ පාර්ෂවයන් විසඳුම් ඉල්ලා විවිධ ක‍්‍රියාමාර්ග ගනිමින් සිටී. ඒ අතර මෙතෙක් කිසිදු පොදු ගැටලූවක් හෝ අනෙකාගේ කම්පනය නොදැනුන පිරිස් තමන් වෙත ගැටලූව පැමිනි විට බොහෝ රැඩිකල් වී ඇත. ඒ නිසාම විවිධ චරිත පොරවල් පසුපස යමින් තමන්ගේ වුවමනාව ඉටු කර ගන්නට වෙහෙස වන අතර ඒ නිසාම සමහරුන් වීරයන් බවට පත් කරමින් තිබෙන අයුරුද දැක ගන්නට පුලූවන. කෙසේ වෙතත් තමන්ගේ ගැටලූව විසඳාගත් පසුව ඉන් බොහෝ පිරිසක් තම සුපුරුදු ආත්මාර්ථකාමී කටව තුලට රිංගන බව අපට පැහැදිළිය. ඒ කෙසේ වෙතත් කවුරු මේකෙන් වාසි ගත්තත් මෙය ඉතාලියේ ජීවත් වන ලාංකිකයින්ට ලැබිය යුතු සහනයක් හෙයින් එය ලබා දෙන්නට ලංකා රජය කඩිනමින් කටයුතු කල යුතුය. එමෙන්ම විවිධ හේතු දැක්වීමේ සීමාවෙන් ඔබ්බට ගොස් බයිලා වෙනුවට තමන් විසින් සපුරාලිය යුතු කොන්දේසි වහාම සපුරාලන්නට බලකෙරෙන ක‍්‍රියාමාර්ග ගන්නට මින් පීඩා විඳින හා සෙසු ප‍්‍රගතිශීලීන් කටයුතු කල යුතුය.

මේ වන විට දැනගන්නට තිබෙන කරුණු වලට අනුව අත්සන් කිරීම අවසන් නොවී තිබෙන්නේ ඉතාලි රජය බලාපොරොත්තු වන ඔවුන් ඉල්ලා සිටින කොන්දේසි සම්පූර්ණ කරන්නට ලංකා රජය අසමත්ව තිබීමයි. ලංකා රජයේ නියෝජිතයා වන තානාපති වරයා හා අදාල ඇමතිවරයා වරින් වර විවිධ ප‍්‍රකාෂ නිකුත් කලද ඒ වෙනුවෙන් උත්සහයන් ගන්නා බව පැවසූවද මේ දක්වා එය සම්පූර්ණ වී නොමැති අතර ඊට අනිවාර්යයෙන්ම වගකිව යුතු පාර්ෂවය වන්නේ ලංකා රජය බව අපි අවධාරණය කරමු.

එම නිසා මෙම ගිවිසුමට අදාල කරුණු සම්පූර්ණ කර මෙම සහනය ඉතාලියේ සිටින ලාංකීය පුරවැසියන්ට ලබා දීම ලංකා රජයේ වත්මන් ආණ්ඩුවේ වගකීමකි. එය කොතරම් දුරට අදාල වගකිව යුත්තන් තේරුම් ගෙන සිටිනවාද කෙතරම් දුරකට ඒ වෙනුවෙන් අවංක මැදිහත්වීමක් කරනවාද යන්න සැක සහිතය. වසර දෙකක කාලයක් ගතවීත් තවමත් එය සම්පූර්ණ කරන්නට අසමත්වීමම එයට සාක්ෂි දරයි. දැනගන්නට තිබෙන පරිදි ලංකාවේ රියදුරු බලපත් නිකුත් කිරීමේ ක‍්‍රියාවළියේ පවතින විවිධ ගැටලූ හා විනිවිධ භාවයකින් තොර වීම වගේම විශ්වසනීයත්වය පිළිබඳ තත්වයන්ට ඉතාලි රජයේ දැඩි අවධානය යොමුවී තිබෙන අතර එම තත්වය නිරාකරණය කිරීම සඳහා ඔවුන් විසින් ඉල්ලා සිටින දෑ සපුරාලන්නට ලංකා රජය මෙතෙක් අසමත් වීම මෙය ඉදිරියට නොයාමට හේතුවයි. අප මීට පෙරත් සඳහන් කර තිබෙන කරුනක් මෙහිදී නැවත සිහිපත් වේ. එනම් වීසා නිකුත් කිරීමේ ක‍්‍රියාවළියේදී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය ලාංකික ඉල්ලූම් කරුවන්ගේ ලංකාවෙන් නිකුත් කරන විදේශ කටයුතු අමාත්‍යංශයෙන් සහතික කරදෙන ලිපි ලේඛණ බාර නොගෙන එය පරික්ෂා කිරීමේ කටයුත්ත තමන් අතට ගෙන ඊට අදාල නියෝජිත ආයතනයකට බාර දී සිදු කෙරෙන ලජ්ජා සහගත ක‍්‍රියාවළියයි. අනෙක් පසින් මේ වන විටත් ලංකාවේ වීසා නිකුත් කිරීමේ ක‍්‍රියාවළියේ පවතින අසීමිත පමාව/ඊට අදාලව සිදුවන වංචා/ජාවාරම් කරුවන්ගේ තිප්පොලක් බවට පත්වී තිබීම සලකා බලන විට ලංකා ආණ්ඩුවෙන් ඊට මැදිහත්විය හැකි සීමාවටවත් මැදිහත් නොවී එය හොර ගුහාවක් බවට පත්කර ඇති තත්වය හා ඊට අදාලව රාජ්‍යතාන්ත‍්‍රික මැදිහත්වීමේ විලාශය දුටු විට මෙම රියදුරු බලපත් ගැටලූව විසඳීමත් මේ රෙද්ද පල්ලෙන් බේරෙන පොර ටෝක් දෙන වුන් විසඳා දේවිදැයි සැක සහිතය. ඒ නිසා තවදුරටත් බලා නොසිට එයට අදාලව කල හැකි සියලූ බලපෑම් ලංකා රජයට කල යුතු බව අපගේ හැගීමයි.

ඒ නිසා ඉතාලියේ ලංකා තානාපති වරයා පවසන බයිලා කෙරෙහි විශ්වාසය තබනවා වෙනුවට (ඒවා බයිලා වන්නේ මේතෙක් ප‍්‍රකාෂ කල විවිධ කතා අවසානයේ පුස්සක් වී ඇති හෙයිනි) ලාංකිකයින් එකතුවී ඉතාලියේ වගේම ලංකාවේදීත් මේ පිළිබඳ බලපෑමක් කිරීමට සංවිධානය විය යුතුය. ඒ වෙනුවෙන් අපද යම් මැදිහත්වීමක් සිදු කරමින් සිටින අතර ඊට අදාල තොරතුරු ඉදිරියේදී දන්වා සිටින්නටත් ඉතාලිය තුල වගේම ලංකාවේදීත් මේ වෙනුවෙන් හඩක් නගන්නටත් කටයුතු කරන බවට දැනට සටහන් කර තබමු.

leave a reply