Breaking News

පෞද්ගලික සමාගම් විදුලි බල මණ්ඩලේ ගන්නේ අපිට ආදරේටද? – විදුලි පනත ගැන වසන්ත කියන කතාව

මෙරට විදුලිබල මණ්ඩලය කොටස් කර විකිනීමට අදාළ විධි විධාන සලසන විදුලි පනත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මඟින් අප්‍රේල් 17 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණා.

එය මීළඟ සභාවාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි සදහන් වේ.

මෙම නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විදුලි වෘත්තීය සමිති ඇතුළු විවිධ පාර්ශ්ව රැසකින් විවිධ චෝදනා එල්ල වී තිබුණා.

ඊයේ (19) පැවති ජන අරගල ව්‍යාපාරයේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වසන්ත මුදලිගේ මෙම පනත පිළිබඳ අදහස් පළකර තිබුණි.

ඔහු පවසන්නේ,
”අලුත් අවුර්ද්දේ ආණ්ඩුව වැඩ අල්ලලා තියෙන්නේ විදුලි මණ්ඩලය විකිනීමට අදාළ පනත ගෙනත්. 17 වෙනිදා විදුලි බල මණ්ඩල සංශෝධන කෙටුම්පත ගැසට් කරලා. මේ පනතේ තියෙන්නේ ජනතාවට අඩුවට විදුලිය දීම ගැන නෙමෙයි. විදුලි බල මණ්ඩලය කොටස් කරලා විකුණන විදිහ. 1969 අංක 17 දරන පනත හරහා විදුලි බල මණ්ඩලය ස්ථාපිත කිරීම හරහා විදුලිය ලාභ නොලබන සේවාවක් ලෙස සාමාන්‍ය ජනතාවට දෙන්න ඕනා කියන පදනම යටතේ අවම වශයෙන් විදුලි බිල වැඩි කරනවානම් උපයෝගීතා කොමිසමෙන් අහන්න ඕනා කියලා තියෙනවා. අලුතෙන් ගෙනාපු පනතින් විදුලිය උත්පාදනය, විදුලිය සම්ප්‍රේෂණය, විදුලිය බෙදා හැරීම, බිල් කැඩීම මේ සියල්ල පුද්ගලික සමාගම්වලට දෙනවා. දැනට රජය යටතේ තමයි විදුලිය තියෙන්නේ. රජය යටතේ විදුලි බල මණ්ඩලය තිබිලත සියයට 400න් විදුලි බිල වැඩි කරා. සාමාන්‍ය ජනතාවගේ ගෙවල් ලක්ෂ 10කගේ විදුලිය කපුවා. ලක්ෂ 50ට රතු බිල් ආවා. එතකොට පෞද්ගලික සමාගම් එන්නේ අපිට ආදරේටද? ඒ සමාගම් එන්නේ විශාල ලාභයක් ලැබීමේ අරමුණින්. කොටස් කරලා විකුනුවට පස්සේ විදුලි බිල හැදෙන විදිහ අලුත් පනතේ තියෙනවා. විදුලි බිල හැදෙන විදිහ තමයි විදුලිය උත්පාදනය කරන සමාගමට වෙනම ගානක්. විදුලිය සම්ප්‍රේෂණය කරන සමාගමට වෙනම ගානක්. විදුලිය බෙදාහරින සමාගමට වෙනම ගානක්. මෙන්න මේ ඔක්කොම එකතු කරලා විදුලි බිල හැදිලා ඔබේ ගෙදරට එනවා. සියයට 700න් 800න් විදුලි බිල වැඩිවෙන්න තමයි නියමිත වෙලා තියෙන්නේ. ඒ වගේම විදුලි බිල සම්බන්ධයෙන් යම් බලපෑමක් කරන්න තිබුණු මහජන උපයෝගීතා කොමිසම අහෝසි කරන්න තමයි පනතෙන් බලය ගෙනල්ලා තියෙන්නේ. ”

 

 

leave a reply