Breaking News

මොවුන්ගේ ජීවිතවල වගකීමේ බර මේ සමාජයට හෑල්ලුවට ගන්න බැහැ.

මම ඊයේ දිනයේදී (2022/10/03) තංගල්ල පැරණි නාවික හමුදා කදවුර තුළ දී අයියව බලන්න ගියා. අයියා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා කියලා හැමෝටම කියන්න කිව්වා. ඒ වගේම මානසිකව වැටිලා නෑ. වට්ටන්න තවදුරටත් ආණ්ඩුව විවිධ මැදිහත්වීම් අඛණ්ඩව කරමින් සිටින බවත් පැවසුවා.

මල්වානේ සිද්ධිය සම්බන්ධව නිශ්චිත පිළිතුරක් අයියා ලබා දුන්නා. ඒ තමා අත්අඩංගුවට ගත් මුල් සතිය තුල රාත්‍රී කාලවල මල්වාන බැසිල්ට අයත් යැයි පවසන ඉඩමට රැගෙන ගොස් තිබෙන බව.

තවත් නවගමුවේ ස්ථානයකටත්, කඩවත ප්‍රදේශයේ ස්ථානයකට හා ගම්පහ ප්‍රදේශයේ ස්ථානයකට වශයෙන් ස්ථාන කිහිපයකටත් මුහුණ වසා ඉතා රහසිගතව රැගෙන ගොස් ප්‍රශ්න කර තිබේ යැයි සඳහන් කළා.
කලකට පෙර සිදු වූවක් වුවත් ගිනිගත් නිවස හෝ වෙන යම් ස්ථානවලට වසන්ත රැගෙන ගොස් බාහිරෙන් සාක්ෂි ඔබ්බවා ඉතා උපක්‍රමශීලීව අධිකරණයතුළ දී ඒවා ජනතාව වෙනුවෙන් අරගල කළ ශිෂ්‍ය නායකයන්ට විරුද්ධව භාවිතා කිරීමට දරන උත්සාහයක් බව ඉතා පැහැදිලිය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඝාතනයට,ගෙවල් ගිනි තැබීමට හිතාමතා සම්බන්ධ කර සහ එවැනි සිද්ධි බලයෙන් හෝ ඇඟේ ගසා ජනතාව වෙනුවෙන් හඬ නගන අය සහ නායකත්වය දෙන නායකයන් නිහඬ කිරීම ආණ්ඩුවේ උපක්‍රමය වේ. ජනතාවගේ ප්‍රශ්න වෙනුවට ජනතාව පීඩාවට ලක් කොට කටවල් වසා ගෙන සිටින තත්ත්වයට සමාජය පෑගීමේ බරපතළ තත්ත්වයට ආණ්ඩුව කටයුතු කරමින් සිටී.

රනිල් ජනාධිපති, ආරක්ෂක ලේකම්, පොලිස්පති හමුදාපති, නාවුක හමුදාපති හා ත්‍රස්ත විමර්ශන ඒකකයේ ද සියලු දෙනාට මම කියනවා වසන්ත මුදලිගේ කියන්නේ ඔබල වන්දනා කළ ගෝඨාභය වගේ පැනල යන නායකයෙක් නෙවෙයි. වෙඩි උණ්ඩ වලට බය එකෙකුත් නෙවෙයි. මරලා අයින් කරලා උඹලට අහක දාන්න පුළුවන් එකෙකුත් නෙවෙයි. ජනතාව ලක්ෂ ගණනක් වසන්ත වෙනුවෙන් පාරට ආව දවසට ආයෙත් දුවන්න පාරවල් මදිවෙයි. ඒ නිසා උඹලා උඹලාෙග් පණයට කොයිතරම් ආදරෙයිද, අන්න ඒ වගේ මුදලිගේ කැඳවුම්කරු ව උඹලා යටතේ ඉදිද්දී ආරක්ෂා කරපල්ලා.

පරණ නාට්‍ය කෑලි ඝාතන උප්පරවැට්ටි නොදා. කලින් නිදහස් නිදහස් චතුරස්‍රයේ නිළදාරියෙක් තුවක්කුවෙන් වෙඩි තියා ගත්තා වගේ වෙඩි තියන් වසන්ත මැරෙන්නේ නෑ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් ඉදිරියෙදිත් වඩා ශක්තිමත්ව අරගල කරනු ඇත.

අධිකරණය මගහැර රැඳවුම් නියෝග යටතේ තබාගනිමින් සිටින වසන්ත, හෂාන්ත, ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු සියලු දෙනා වහා නිදහස් කරනු!
– අනුර මුදලිගේ
(04/10/2022)
ප.ලි. – මෙය ත්‍රස්ත පනතින් රඳවාගෙන සිටින වසන්ත මුදලිගේගේ සොහොයුරා විසින් තබන ලද සටහනකි. රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් ඉතා අයුක්ති සහගතව සහ අත්තනෝමතිකව වසන්ත ඇතුළු ශිෂ්‍ය නායකයින් තිදෙනෙක් PTA යොදාගනිමින් තංගල්ල රැඳවුම් කඳවුරක රඳවාගෙන සිටී.

leave a reply