Breaking News

ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා අසාර්ථකයි – ඉතින් ඊට පස්සේ?

ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා අසාර්ථක වී ඇතැයි පිළිගත යුතු වුවද, ඉදිරියේදී තවත් සාකච්ඡා වටයක් පවතින නිසා ඒ පිළිබඳ සුබදායී බලාපොරොත්තු තබාගත හැකි බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පවසා තිබේ.

ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැත්වෙන ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා අතරතුර අප කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවසුවේ ශ්‍රී ලංකා රජය විසින් ගෙවීමේ පදනම මත සහාය ලබාගන්නා මූල්‍ය විශේෂඥ කණ්ඩායම් සහ නීති විශේෂඥ කණ්ඩායම් ඉදිරි කටයුතු පිළිබඳව දැනටමත් මැදිහත්වෙමින් සිටින බවයි. එම විශේෂඥ කණ්ඩායම් යොදවනු ලැබුවේ කුමන පදනමක් යටතේද සහ ඔවුන් ඊට සුදුසු බවට තීරණය කළ ක්‍රමවේදය කුමක්දැයි විමසීමේදී ඇමැතිවරයා පැවසුවේ එය ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදවලට අනුකූලව සිදු කර ඇති බවයි. මෙවැනි කටයුතුවලදී මෙරට විශේෂඥයන්ගේ සහාය පමණක් ප්‍රමාණවත් නොවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

‘දිගටම සාකච්ඡා කරනවා’

සති 2ක කාලයක් මේ පිළිබඳ කළ සාකච්ඡා අසාර්ථක වී ඇති තත්ත්වයක් යටතේ ඉදිරි සති දෙකේ පවත්වන සාකච්ඡා ද අසාර්ථක වුවහොත් සිදුවන්නේ කුමක්දැයි විමසීමේදී ඇමැතිවරයා පෙන්වා දුන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කරගැනීමට දිගින්-දිගටම සාකච්ඡා පැවැත්වීම රජයේ අපේක්ෂාව බවයි. එම සාකච්ඡා කිසිවකුට අවාසියක් නොවන පරිදි අවසාන කරගැනීමටත්, ශ්‍රී ලංකා රජය මුලදී සඳහන් කළ එකඟතා වෙනස් නොකර පවත්වාගැනීමටත් අපේක්ෂා කරන බව ද සඳහන් කළ ඇමැතිවරයා, ඒ සම්බන්ධයෙන් සහාය ලබාගන්නා මූල්‍ය සහ නීති විශේෂඥයන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ඇතැයි ද අප සමග අදහස් දක්වමින් ඇමැතිවරයා පැවසීය.

‘නොලැබෙන එක ගැන කතාකරන්න එපා’

මෙවැනි තත්ත්වයක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ ණය වාරිකය නියමිත කාලයට නොලැබීමෙන් ඇති වන ගැටළු මොනවාද යනුවෙන් විමසීමේදී ඇමැතිවරයා පැවසුවේ නොලැබීමෙන් යන වචනය වෙනුවට ලැබුණු විට ගැටළු විසඳෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම වඩා සුදුසු බවයි. ඒ දක්වා ඉලක්කයක් සහිතව ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කරන බව ද ඔහු අවධාරණය කළේය.
මේ අතර ශ්‍රී ලංකා රජය නිල වශයෙන් නිවේදනය කරන ලද්දේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳූම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී ඇති බවයි. මුදල් අමාත්‍යංශය එම නිවේදනය මගින් පෙන්වා දී තිබුණේ ඉදිරියේදී එකඟතාවකට පැමිණිය හැකි වේවි යැයි බලාපොරොත්තු වන බවයි.

‘කරුණු 2ක් හරි’

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන සාගල රත්නායක මේ සම්බන්ධයෙන් පසුගිය 16දා පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ ලන්ඩන් නුවර පැවැති ණය ප්‍රතිව්‍යූහගතකරණයට අදාළ සාකච්ඡාවලදී කරුණු 4ක් සම්බන්ධයෙන් ගැටළු මතුවූ බවයි. කෙසේ වෙතත් ඒ අතරින් කරුණු 2ක් පිළිබඳව යම් එකඟතාවකට පැමිණීමට හැකියාව ලැබී ඇතැයි ද ඔහු එහිදී පවසා තිබිණි.
මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ සහ සාගල රත්නායක එසේ පැවසුවද, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ශ්‍රී ලංකාව විසින් පියවිය යුතු මෙරට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳූම්කර සම්බන්ධයෙන් එම බැඳූම්කර හිමියන් සමග පැවැත්වූ මූලික වටයේ සාකච්ඡා සියල්ල අවසන්ව ඇති බවයි.

ඩොලර් බිලියන 12ක් වෙනුවෙන්

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය වැඩසටහනේ දෙවැනි ඇගයීම සලකා බැලීමට පෙර මේ ජාත්‍යන්තර බැඳූම්කර හිමියන් සමග එකඟතාවට පැමිණීමේ වැදගත්කම එම අරමුදල අවධාරණය කර ඇත. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන්ගෙන් ලබාගත ණය වෙනුවෙන් පියවිය යුතු මුළු මුදල ඇස්තමේන්තු කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක් ලෙස ය.

‘තුන්වැනි වාරිකය ප්‍රමාද විය හැකියි’

මේ සාකච්ඡා සාර්ථාක කරගැනීම සඳහා සහායවීමට තමන් සූදානම් බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබේ. නමුත් ඔවුන් ලබාදුන් එවැනි සහයෝගයක් ලබාදුන් බවක් දක්නට නැත. කෙසේ වෙතත් අදාළ සාකච්ඡා තවමත් නිශ්චිත අවසානයකට පැමිණ නැති නිසා ලබන ජුනි මාසයේදී ලැබීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි වාරිකය ලැබීම ප්‍රමාද විය හැකි බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් කරන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් කිසිදු විකල්ප අදහසක් ආණ්ඩුවට නොමැති වීම බරපතළ කරුණක් බවයි.

2022 අප්‍රේල් 12දා ලංකාවට තවදුරටත් ණය ගෙවීමට නොහැකි බවත්, රට බංකොලොත් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් නිවේදනය කළේය. එයින් මාසයකට පසු ශ්‍රී ලංකා රජය ද්විපාර්ශ්වික ණය හිමියන් සමග සාකච්ඡා ආරම්භ කළ අතර, එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස 2022 නොවැම්බර් මාසය වන විට චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජය සමග ප්‍රතිපත්තිමය වශයෙන් ගිවිසුමකට එළඹීමට හැකි විය. මෙහිදී ලංකාවේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට යන්නේ මෙම ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම වෙනුවෙන් සහය ලබාගැනීම සඳහායි. දැන් අවසානයේ සිදුව ඇත්තේ කිසිදු ණය කප්පාදුවකින් තොරව අපිට සියලු ණය ගෙවීමට සිදුවීමයි. එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා සිදුකරන මැදිහත්වීමේ තේරුම කුමක්ද යන ප්‍රශ්නය අපට මතුවේ.

 

leave a reply