මධ්‍යහන ඉර බටහිර අහස ට ලෙංගතුකම් පාන්න අර ඇද හෝරා දෙක තුනක් නික්මෙනා කණිසමට සීයාතාත්තා ඇදි හාන්සි පුටුව ට බරව, දෑස් පියාගෙන සිටිනා දර්ශණය වෙලේ ගෙදරට ආ ගිය ඇත්තන් ට නම් සුපුරුදු දසුනක් ම විය. තද නින්දේ පසුවන බවක් පෙන්නුම් කළත් එය එසේ නොවන බව නම් දන්නෝ දනිති.
දහවල කලවම් පලා මැල්ලුමක් , වැවි මාලූ හොද්දක්, කොස් ඇට කළුපොල් මාළුවක් සමඟ සුවදැල් හාලේ බත් පිඟානක් යහමින් කෑ සීයා තාත්තා ඉන් මදිපාඩුව ට උණු බත් පොල්කටු හැන්දක්, උදේ මී දෙනුන්ගෙන් දොවා මුඳවා ගත් මී කිරි තලියකට දමා ඊටම කෑලි කැපිය හැකි තරම් ඉස්තරම් කිතුල් පැණිද යහමින් එක්කොට කන්නෙ කෙසේදැ යි මම මඳක් විමතියෙන් බලා සිටියෙමි.
ඒ සියල්ලෙන් මත් වී මෙදා සැරේ නම් සීයාතාත්තා ට බරට ම නින්ද ගොස් යැයි මට සිතිණි.
අත්තම්මා ගේ උරහිස ට ඇලවී මදක් නුදුරෙහි කොට තාප්පයේ වාඩි ගත් මට ඈත වෙල් නියර දිඟේ එබිකම් කරමින් පාරට ගොඩවන්න ට එන ගැමි කාන්තාවක නෙත ගැටිණ.
වෙල්යාය අයිනේ තරමක උස බිමක පිහිටියෙන් නිවසෙහි පෝටිකෝව නියර මතින් යන එන අයට හොදින් දිස් වෙයි. ඇස ගැටෙන මානයේ වන අක්කර ගානක කුඹුරු යායේ හිමිකරු සීයාතාත්තා ය. ඒවා පරම්පරා උරුම යැයි උඡාරුවෙන් ආධුනික ගැමියෙකු ට පාරම්බානා අයුරු පෙර දිනක මට ඇසී තිබේ.
උරහිස ගැස්සී ගියෙන් මම අත්තම්මා දෙස හිස ඔසවා බැලීමි. ඇගේ දෙතොලඟ මඳ සිනාවකි. එය ඔලොක්කුවක ට නැගි බවක් හැඟිණි.
“ඇයි අත්තම්මා ”
මම ප්‍රශ්ණාර්ථයකින් ඇය ගෙන් ඇසීමි.
“ඔය ගියේ”
අත්තම්මා පැවසීය.
“කවුද අත්තම්මා ”
මට ඇය පවසන්න යන්නේ කුමක්දැ යි නිච්චියක් නැති හෙයින් පෙරලා ඇසීය.
” ඒ කාලේ මෙන්න මෙතනට කොණ්ඩෙ, “හැඩකාර ගෑනි.”
අත්තම්මා දණහිස් පොල්කටුවේ අත ගසා පෙන්වයි.
ඈත නියර දිගේ ඇදෙන ගැහැනියක ද ඇගේ නිතඹ වැදී තාලෙට පැද්දෙන දැනුදු සැලකිය යුතු දිඟකින් යුතු කොණ්ඩය ද මනා රූ සපුවක් හෙබ වූ ඇත්තිය කැ යි දෘෂ්‍යමාන වන ලක්ෂණ ගෙනහැර පායි.
“ඔය බලන්නේ මෙයැයි පේන්න ඉන්නව ද කියලා”
ඇය ඇසකින් ම ඔබ්බෙන් නින්දත් නොනින් ද ත් අතරෙහි සිටින සීයාතාත්තා පෙන්නා මදෙස බලා කණට කර හොරැහින් පැවසී ය.
එම පැවසීම ම ඈ තුල ඔහු කෙරෙහි තාමත් නොඅඩුව පවතින ගෞරවාන්විත සේයාවක් විද්‍යාමාන කරයි.
ඇයගේ කතාවේ දිගුවක් තිබෙන බව මට ඉඟියෙන් මෙන් වැටහිණ.
” මැණිකේ”
අපි කතාවක ට මුලපුරන්න ට තතනද්දී ම සීයාතාත්තා අත්තම්මා ට කතා කළේ ඒ ගැන හෝඩුවාවක් කණ වැටුණා සේ ය.
“හොද කහට කෝප්පයක් බොමු ද? මැණිකේ”
සීයාතාත්තා ගේ ස්වරයෙහි වූයේ නාඹර යෞවනයෙකු ගේ තුරුණු හඬ භාවය යි.
විවාහ වී හතලිස් වසරකුත් ඉක්මවා සිටි ඔවුන් දෙපලගේ කතාබහ තුල බොහෝ දුරක ට වුයේ ආදරණීය දැඩි ලෙන්ගතු කමකි.
විටක ඔහු අත්තම්මා ගේ කෙස් වැටිය පීරා ගැට හරිනු මම දැක ඇත්තෙම්.
ඒ අතර ම ආදරයෙන් හිස පිරිමදින අයුරු දැක මසිත ට සංකාව මුසු වූ ලෝභ කමක් ජනිත කිරීමට ද සමත් වූ වාර ගණන නම් බොහෝ බව නොකියා ම බැරිය.
“අපේ මහත්තයා, කිතුල් හකුරු කෑල්ලක් ගේන්නෙ යි.”
තේක හදන්න යන ගමන්,තාමත් නළුවෙකුගේ පෙනුම අතරින් පතර විද්‍යාමාන වූ සීයාතාත්තා දෙස දයාබරිත බැල්මකින් ම සංග්‍රහකරමින් අත්තම්මා විමසී ය.
අල,බතල,මඤ්ඤොක්කා වලින් නොනැවතී මුං, මෙනේරි, තල, කුරක්කන් වලින් සහ ඖෂධීය ගුණයෙන් යුත් සහල් අනුභවයට ද සීයාතාත්තා ඇබ්බැහි වී සිටියේය.
ඒ අතර බටපොලැල්, රත්හැල්, ඕලු හාල්, කහවනු, කුරුළුතුඩ, සියපත් ඇල්, මඩතවාලු, කළුහීනටි, සුවඳැල් යන සහල් වල නම් මටත් කනට ම හුරු වූයේ මායිමක් නොපෙනෙන පහළින් දිස්වෙන ඔහු සන්තක වූ වෙල් යායේ අදටත් බොහෝ දුරට ම වාගා කරනුයේ එම සහල් වර්ග නිසා ම ය.
ඒ ඇබ්බැහි වීම ම උත්තුංග දේහදාරී ශරීරයකුත් රන් පැහැ වූ සමකුත් කඩවසම් පෙනුමකුත් ඔහු සතු කරලීම ට අනිවාර්යයෙන් ම හේතුභූත වූ බව නම් නොඅනුමාන ය.
සීයාතාත්තා ගේ පපුව තෙක් තරමකට උස ඇති අත්තම්මා දකින හැම විටක ම වාගේ මට මතකය ට නැගෙනුයේ පසුකාළීනව ටෙලි නාට්‍යයට නැගුණ ” ගම්පෙරලිය” හි මාතර හාමීනේ චරිතයට පණපෙවූ අයිරාංගනී සේරසිංහ යන් ය. ඇය සතු කරණාබරිත මුහුණත් තීක්ෂණ ඇස් දෙකත් අත්තම්මා ට ද නොඅඩුවම පිහිටා තිබුණි.
“මහත්තයා, අසනීපෙන් ද?”
නාදුනන කටහඬකි.
මෙතෙක් වේලා මඳක් නුදුරෙහි කුඹුරු කෙළවර යෝධ අතුපතර විහිදි මාර ගසෙහි පොරබදින වවුල් ජෝඩුවක් වෙත නෙත යොමා සිටි මාව තිගැස්සුනේ ඇය සීයාතාත්තා ළඟ සිට ගන්නා තෙක් ම නොදුටු නිසාවෙනි.
සීයාතාත්තා දෙස එක එල්ලේ බලාසිටින ඇගේ මනමාල බැල්ම නෙත ගැටීම ට අත්තම්මා නොසිටි ය එකම හොද යැයි මට සිතුණේ එම බැල්මේ පිටිපස නොඇසූ කතාවක් ඇතැයි යම් ඉඟියක් ද පාමිනි.
ඇය මීට මඳ වේලාවක ට පෙර නියර දිගේ ගිය කාන්තව යැ යි මට පෙනුමෙන් පසක් විය.
වෙල් යාය ඇස් පෙනෙන මානයේ වුවත් නියරවල් දිගේ ගොස් වටයක් කැරකී ගුරු පාරට ගොඩ වී සීයාතාත්තා ගේ ගෙදරට ඒම ට මඳ වේලාවක් ගත වෙයි.
ඇයට ගෑවී නොගෑවී පිටුපසින් තවත් අවුරුදු දහයක දොළහක පිරිමි ළමයෙකු සිටිනු මට දිස් විය.
” මෙහෙට එන්න,”
හරිබරි ගැසී පුටුවෙහි ඉදිරියට ඇදී වාඩි වූ සියා තාත්තා කුඩා ළමයා ට හිසින් සන් කරමින් අත දිගු කළේය.
ඔහුව එක කකුලක ඉන්දවා හිස අතගාමින් ආදරණීය බැල්මකින් බලමින් ම සීයාතාත්තා ඔහුගෙන් සෙමින් යමක් විමස යි.
“මොකෝ උබලැහැ මේ., ඉර බහින වෙලාවෙ”
අත්තම්මා ගේ උස් වූ නොරිස්සුම් ස්වරයෙන් සීයා තාත්තා මෙන් ම අර කියූ ගැහැනිය ද මඳක් ගැස්සිණ.
සෙමින් ළමයා ට නැඟිටීම ට ඉඩ හැරි සීයාතාත්තා ආයෙත් ඇදි පුටුවෙහි පසුපස ට ම බර වීය.
අත්තම්මා අත තවමත් අපි තුන් දෙනාට සාදාගෙන රැගෙන ආ තේ තුන සහ කිතුල් හකුරු පීරීසිය රැගත් බන්දේසි ය ය.
“අපේ නොනේ.., මේ ළමයා තරගෙක ට යනවා හෙට.., පළාත් තරගෙක ට තේරිලා..
දුවන තරගෙක ට..,”
” ඒක කියලා යන්න යි කියලා ආවේ ..,”
අත්තම්මා ගේ නොරිස්සුම් බැල්ම තවමත් එලෙසෙ ම ය.
“උඹලා ඔය දුවන දිවිලි කවදා.. නතර කරයි ද මන්දා.. ”
අත්තම්මා ගේ ඒ ඇනුම් පදය නම් ළමයා ගේ දිවීම සම්බන්ධ ව නොවන බවට සක්සුදක් සේ පැහැදිලි ය.
” මේන් මෙහෙන් වාඩි වෙලා… ඔය ළමය ත් එක්ක මේ තේක බිව්ව නම් ..”
අත්තම්මා සීයා තාත්තා හාන්සි වී සිටින ඇදි පුටුව ළඟ බංකුව නොපෙන්වා ඈත කොට බිත්තිය දෙසට අත පා පෙන්වීයේ හිතාමතා ම ඇය ඔහුගෙන් ඈත් කර තැබීමට යැයි මට සිතිණි.
තේ බන්දේසිය කොට බිත්තිය ළඟ කනප්පුව මත තැබූ අත්තම්මා, සීයාතාත්තා දෙසත් ඈ දෙසත් මාරුවෙන් මාරුව ට බලා සීයා තාත්තාගේ තේ කෝප්පය ගෙන ඔහු අත තැබුවේ කිසිත් නොකියා ම ය.
සීයාතාත්තා ද අත්තම්මා ගෙන් මුහුණ සැඟවීම ට අසීරු ප්‍රයත්නයකැ යි මට හැගිණ.
මට ඇතුල ට එන ලෙස ඇහැකින් ඉඟි කරමින් ම අත්තම්මා දෙපියන් දොරෙහි වසා තිබුණ පියන ද ” බරාස් ” හඩින් ඇර තිර රෙදි දෙක ද දෙපස ට කරවීය.
” මම කිව්වේ.., අර නියර දිගේ යන ගමන් එබිකමි කර කර ගියේ ඔය ඉන්නව ද බලන්න…”
අත්තම්මා කුස්සිය දෙස ට එන මා දැක හඬ බාල නමුත් නොරිස්සුම් ස්වරයෙන් ම පැවසී ය.
පෙර මා සීයාතාත්තා ,අත්තම්මා ගෙදර පැමිණි බොහෝමයක් වේලාවන් හි මේ හා සමාන සිදුවීම් පිළිබද ව අත්තම්මා මා හා කතා බස් කොට ඇති නමුත් මේ නම් ඒ අතර නොවූ අලුත් ම චරිතයකි.
” මම කිව්වේ කෙල්ලේ බොරුව ට ද , ඔය මිනිහ ට, මේ ගමේ හැම තැන ම ගෑනු කියලා.”
අත්තම්මා ඉස්සී කුස්සියේ උඩ රාක්කයක තබා තිබූ කොලපතක එතූ මුලක් ගන්නා ගමන් ම පැවසී ය.
කලු පාටට පැණි බේරෙන දොදොල් මුල දැක මට ඉබේට ම කටට කෙළ ඉනුවේ ගමේ ගෑනු දෙතුන් දෙනෙකු දමා පිළිකන්නේ පත්ගාන මේ දොදොලේ රස මම හොදාකාරව ම දන්නා නිසාවෙනි.
පීරිසියක ට කෑලි කීපයක් කපා තැබූ ඈ
” අනේ දුවේ.. , මෙන්න මේ පීරිසිය අන්න අර කොලුව ට ගිහින් දුන්න නම්..”
යැයි පවසූයේ ආරූඪ කරගත් දයා සිතකින් නොව, එය එතරම් ම අව්‍යාජ යැයි මට ඇගේ මුහුණින් අපූරුවට ම දිස්වීය.
“පේන්නෙ නැද්ද , අර කොලුව ගේ මූණත් තහඩුව.,ඔය පිහිටලා තියෙන්නෙ යස අගේට ම..”
දොදොල් පීරිසිය දී පැමිණි මා හට අත්තම්මා නැවතත් පැවසූවේ පිටුවක් ව ත් නොකියවපු නවකතා පොතක අවසාන පරිච්ඡේදය කියවා තේරුම් බේරුම් කරගන්න ඉඬහරිනා පරිද්දෙනි.
මම ද දැන් ඒ පිරිමි ළමයා ගේ සහ සීයාතාත්තා ගේ රූප කොටස් සංසන්දනය ට නොනිම් උත්සාහයක ය. අවසන යම් යම් සමාන කම් මට ද පසක් කර ගත හැකි විය.
“දුවේ, ඔපදූප කියනව හෙම නෙමෙයි මේ ඕං..,
ඔය ගෑනු මනුස්සය ට ළමයි තුනයි”.
” තුන්දෙනා ..තුන් ආරක්”. ” ගම ම දන්නවා.. ඔය අල ගිය තැන් මුල ගිය තැන් ඔක්කොම”
“මට තියන දුක , මේ නවනිංගිරාවට, මේ මනුස්සයත් ගිහින් ගෑවුනා නේ….”
අත්තම්මා දුක්මුසු ව පවසයි.
“ඔය ගෑනි ට තියන දාංගලේ ට , එක අතකට මිනිස්සු මක් කරන්න ද? ,.”
ඇය නැවත සීයාතාත්තා ගේ සියලු ක්‍රියාකාරකම් සාධාරණීකරණය කරන්නේ ඇයගේ ම සිත සනසවා ගන්නා අටියෙන් යැයි මට සිතේ.
අත්තම්මා ගේ මේ උත්තුංග චරිත ලක්ෂණ සියුම් ව නිරීක්ෂණය කල මට සිත් වූයේ ඇගේ සිත ළඟ මගේ සිත කොයිතරම් නම් නොමේරු තත්වයක තිබේ ද යන්න යි.
නිතර අහන ගැඹුරු බුදු බණත් එය ප්‍රායෝගීකරණය කිරීමෙහි ලා ත් අප කොයිතරම් නම් දක්ෂයෝ ද?,
එතරම් ම ගැඹුර ට නොගිය අත්තම්මා සියල්ල තුල දනවන උපේක්ෂාව පුදුම සහගත ය.
ඇගේ චරිත ලක්ෂණ තුල මේ ප්‍රායෝගිකත්ව ය මම බොහෝ විට අත්දැක ඇත්තෙමි.
ධර්මය අපිට අවැසි වන්නේ ම අපි ප්‍රායෝගික ලෝකයේ මුහුණ දෙන ගැටළු දෙස යතාර්ථවාදී ඇහැකින් බැලීම ට මෙන් ම ඒවා කෙරෙහි ආගම මඟින් දී ඇති විසදුම් සසඳා බලා වැඩිමනත් කාලයක් නොගෙන හැකි ඉක්මනින් තේරුම් බේරුම් කරගැනිම ට ය.
ඕනෑම ප්‍රශ්ණයක් නොවිසදා කල්යත්ම එය ගැඹුර ට ම අනිසි අයුරින් කිදා බසින්නේ අප විසින් දිනෙන් දින ප්‍රශ්ණය වටා තනි හිත් මනාපෙට ඔතන මනඃකල්පිත ආලවට්ටම් නිසාය.
වැදගත් ම දේ නම් ප්‍රශ්ණයන් ට හේතුභූත වූ අය සමඟම රැයක් ඉක්මනට මත්තෙන් කතාබස් කොට විමසා ඒවා නිය පහරකින් ම ඉවත් කිරීම ට හැකිලෙස විසදා ගැනීමට මඟ පාදා ගැනීම ය.
නමුත් අපි බොහෝ විට සියළු ම ප්‍රශ්ණ ගස් වෙනකම් බලා සිට ඵලදාව ලැබෙන තෙකුත් ඉදීමෙන් පොරොවෙන් වත් කපා හෙළිය නොහැකි තරමට ම ඒවා මෝරා වැඬෙන්න ට ඉඬ හරියි.
ඉගෙන ගත් සියළුම ධර්ම කොටස් මා හිස වටා කැරකෙමින් සරදම් කරණා සේ මට හැඟේ.
” අපේ මැණිකේ…” සීයාතාත්තා අසීරුවෙන් හඩ නඟනු කුස්සිය ට ම ඇසිණි.
” අපේ මහත්තයෝ.., ඇයි මහත්තයා”
කුස්සියේ වාඩි වී සිටි බංකුවෙන් විදුලියක් මෙන් නැගී සිටි අත්තම්මා ඉස්තෝප්පුව ට දිවගියේ දිඟ ඇදුන ඔසරි පට ඉන වටේ පටලවාවත් නොගෙන ය.
මේස කොණක එය පැටලවීයෙන් අත්තම්මා වැටෙන්නට ගියාය.
ඒ කිසිදු කාරණයකට නැවත්විය නොහැකි වූ සීයාතාත්තා ගේ බිඳුණු කටහඬ අත්තම්මාගේ විරසක සිතුවිලි සියල්ල සැණක පහ කරලීම ට සමත් විය.
මට මා ගැනම දැඩි ලැජ්ජාවක් ඇතිවිය.
උසස් ම යැයි සම්මත අධ්‍යාපනයක් ලැබ සම්බන්ධයක ඇතිවන වන සුලු අඬදබරයක් වත් විසදා නොගෙන නොදන්වා ම ගෙදරිනුත් එළියට බැස ගිහින් නියපොත්තෙන් ගලවන්න හැකි දේ පොරවෙන් කපන තත්වය ට පත්කර ගන්නේ අපි ම නොවේ ද?
අධ්‍යාපන ක්‍රමය කෙසේ වෙතත් අපිට අපේ සාරධර්ම වැඩිහිටියන් ගෙන් උකහා ගැනීම ට නොහැකි ලෙස අත්තම්මා ,සීයාතාත්තා ගෙන් අපිව වෙන් කොට “පුංචි පවුල රත්තරන් ” යන සංකල්පය තුළ උස් මහත් වීමට සිදුවීම ද වැඩිවන ආර්ථික ප්‍රශ්ණ හමුවේ දෙමව්පිය ආශ්‍රය ද ගිළිහී යාම ද පිළිබද ව මට මෙම සමාජ ක්‍රමය පිළිබද ව ඇත්තේ නොපහන් හැඟීමකි.
“ගොඩක් රිදෙනවද , අපේ මහත්තයෝ ”
සීයාතාත්තා ගේ පය පාමුල වාඩි වී කකුලක් තම ඔඩොක්කුවෙහි රුවා ගනිමන් බෙහෙත් තෙල් ගානා ගමන් අත්තම්මා සීයාතාත්තා ගේ මුහුණට ම එබී විමසයි.
වැඩියෙන් රිදී ඇත්තේ ඇයට ම යැයි ඇගේ මුහුණ දකින විට මට සිතිණි.
හිතේ ඇතුලේ කැකෑරෙන දුක අත්තම්මා ට කියා ඇගෙන් ගුරුහරුකමක් ලබා ගැනීම ට පැමිණියේ, අත්තම්මා පෙර දින හීනයෙන් දැකි බවත් ඇයව බලන්න ට යා යුතු බවත් තාත්තා ට පවසමිනි.
මේ තාක් මගේ ජීවිතයේ බොහෝ සිදුවීම් දන්නේ අත්තම්මා ය. ඇය හොද ඇහුම්කන් දෙන්නියක වීම ඊට ප්‍රධාන හේතුව විය.
හිතට දරන්න ට බැරි ප්‍රශ්ණයක දී බොහෝ විට මම අත්තම්මා ලඟට යන බව තාත්තා මට නොඇඟුවත් ඔහුත් එය දන්නා බව නොරහසකි. එ නිසාවෙන්ම එයට මට කිසිඳු බාධාවක් නොවී ය.
අනිත් කාරණය නම් උසස් අධ්‍යාපනය හදාරන තුන්වන වසරේ ශිෂ්‍යාවක ට දැනමුතුකම් දීම නොකළමනායැයි ඔහු සිතා සිටින නිසාවෙන් ද වන්නට පුළුවන.
” මොකද මහත්තයෝ වුණේ” යැයි විමසමින් තවමත් අත්තම්මා සීයාතාත්තා ගේ පය පාමුල ය.
ආපු ගැහැණිය පිටත් ව ගියපසු හාන්සි පුටුවෙන් නැගිටින්න උත්සාහ ගනිද්දී ඔහුගේ කකුල පෙරළී ඇත.
” ඇයි අපේ මහත්තයෝ ,කතා නොකළේ ,”
මොකෝ වෙන ද තනියම ඔතනින් නැගිටිනවයැ.” ඇය පවසයි.
” ඇයි අපේ මැණිකෙ., ගස්සාගෙන ගියේ..”
” මම හිතුවා ආයේ ඉතින් හැරිලා බලන්නෙ වත් නැතිවෙයි කියලා”.
ඇගේ අතේ වාරුවෙන් අඩිය තබමින් ඔහු කට කොනකට නගා ගත් හිනාවෙන් යුතුව පවසයි.
ගිය දේ සියල්ල පසෙක ලා ඔවුන් අලුත් පරිච්ඡේදයක් ඇරඹුවේ එසේ ය.
පෙරදිනක අරවින්ද ත් මාත් අතර ඇතිවුන නෝක්කාඩු ව අතර මැද ඔහුත් ඔය හා සමානව ම මා විමසීය.
” විදූ ට දැන් මගෙත් එක්ක රංඩු කලා ඇති ද?”
ඔහු දයාබරිත ව සුපුරුදු නිවුන හඬින් මා විමසයි.
ඒ මම සති ගණනක අවසන මගේ සුපුරුදු හඬින් කතා කල එක ම දවස එදින නිසා වෙන්නට ඇත.
විදර්ශනා වන මා “විදූ ” නමින් අමතන්නේ ඔහු පමණි ය.
පහුගිය සති තුන හතරක් පුරාව ට ම මගේ නොසන්සුන් හිත මට වගේ ම අරවින්ද ට ත් නොසෑහෙන කරදර කළා ය.
හිතෙන හිතෙන සැරේට මා විසින් එල්ල කරණ වාග් ප්‍රහාරයන් ට කතා කර හෝ මැසේජ් කර උත්තර බදින්න ට ඔහු ට සිදුවිය.
විටක ඔහුගේ කාර්යබහුලත්වය පවා නොසළකා හරිමින් දවසකට තුන් හතර පාරටක ට වඩා එක දිඟට ඇමතුම් ගෙන එකිනෙක ට එකක් වෙනස් හිතට එන එන දේ කියමින් මගේ තරහ පිටකර ගැනීම පුරුද්දක් කරගෙන තිබිණ.
” විදූ , මම ඔයාට කිව්වනෙ දැන් පොඩ්ඩක් ඉවසලා ඉන්න කියලා.. මම ඉන්නෙ lecture එකක, ඉවර වුනාම ගන්නම්”
ඔහු මගේ හිතෙහි සියුමැලි කම හොඳින් හඳුනයි. උස් හඬින් දෝෂාරෝපණය කලයුතු එවැනි අවස්ථාවන් හි දී වුව ද ඔහු සංයමයෙන් ම කතා කරයි.
එයින් ඔහු නිවුන මනුස්සයෙක් යැයි කීමට මම කිසිසේත් උත්සාහ නොකරමි. ඔහු ට මේ ලෙස මා අමතන්න කොයිතරම් නම් ඉවසීමක් ආරූඪ කරගන්න ට සිදුවන්න ට ඇත්දැයි කල්පනා කරන විට සංතාපයක් දැනේ.
මෙම ප්‍රශ්ණ ය නිසාම අප අතර දැඩි ව වචන හුවමාරු වන අතර අවස්ථාවන්හි දී වුව ද හදිසියෙන් මතුවූ යමක් කීමට උත්සාහ කරණා පරිද්දෙනි.
” එකක් මතක තියා ගන්න, මම ඔයාට ආදරෙයි”
කියා කීමට පහුගිය සතියේ දිනක ඔහු උත්සුක වුවද, වෙන අවස්ථාවක එය මගේ මහත් අහ්ලාදයට හේතු වන නමුත් ඒ අවස්ථාවේ නම් එය මගේ කෝපය තීව්‍ර කිරීමට සමත් වූවක් විය.
” මොකක් ද අරවින්ද ඔයාගෙ ආදරේ, මෙහෙම ද ඔයා මට ආදරේ කරන්නේ”
යැයි පෙරළා විමසමින් නැවතත් සුපුරුදු සටනට ම අවතීර්ණ වීමට එම කාලය තුල මම ඇබ්බැහි වී සිටියෙමි.
හිස ද හිත ද මහා බරකින් පෙළේ. මෙහි ආ විට අත්තම්මා හා මා නිදියන්නේ එකම ඇදක ය. මගේ හිස හෙමින් පිරිමදිමින් උකුණු බිඳින ලෙස විටින් විට මහපට ඇඟිල්ලෙන් හිස තදකරන අත්තම්මා බොහෝ රෑ බෝවන තෙක් ම මගේ හෑලී වලට නිහඬව ම සවන් දීම පුරුද්දක් කොට ගෙන තිබිණි. රෑ බෝ වෙන්නත් නිදියන්නත් තව හෝරා කීපයක් පසුකර යුතුය.
අවසානය ට අරවින්ද හා මම කතා කළේ මීට සතියක ට පමණ පෙරය. එදින මම ඔහු හා රංඩුවට නොගිය මුත් ඔහු පවසන ඕනෑම දේකට බැඳීමට මට හරස් පදයක් වීය.
” විදූ, ඔයා මේ කරන්නෙ ඉතාම නරක දෙයක්, ඔයා ට මම මෙච්චර පැහැදිලි කරලා දෙද්දිත් වුන දේ මොකක් ද කියලා , ඔයාගේ මේ වැරදි වැටහීම අතැර ගන්නෙ ම නැහැ නේද?
” ඕක එක්තරා මිත්‍යාදෘෂ්ටියක් ම තමයි විදූ ”
අරවින්ද එදින එසේ කියුවේත් සුපුරුදු හිතාමතා ඇති කරගත් සංයමයෙන් ම ය.
ඒත් දින දින හිත හිතා හිතට කුණු කන්දල් එකතු කරගනිමින් මම මෙම ප්‍රශ්ණය ඔඬු දුවන්නට සලස්වා ඇත. එනිසා ම ඇතිවන අසහනකාරීත්ව ය හේතුවෙන් අදවන තෙක් මම අරවින්ද සමඟ කතා නොකළෙමි. ඔහුගෙන් ලද ඇමතුම් වලට ද පිළිතුරු නොදුනි.
මළමිනී ගොඩ නොගෙන මේ මොහොතෙහි ජීවත් විය යුතු බව ධර්ම පොතක තිබූ බව පමණක් මට මතකයට නැඟිණි.
ඉෂූ බණ්ඩාරගේ කොටස් වශයෙන් පළවෙන “විදර්ශනා” පළමු කොටස