Breaking News

රාමායන් ට්‍රේල්ස් – හින්දු ජාතිකවාදී ව්‍යාපෘතිය ලංකාවට

මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා බව පවසමින් ශ්‍රී රාමායන් ට්‍රේල්ස් (ශ්‍රී රාමායන මංපෙත) නම් ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම ඊයේ (21) පස්වරුවේ කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේ දී සිදු විය.

ඉන්දියාවේ අයෝධ්‍යයා හි ශ්‍රී රාම පූජා මන්දිරයේ ප්‍රධාන භාණ්ඩාගාරික ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ්ගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක එක් විය.

“ශ්‍රී රාමායන් මංපෙත” වන්දනා චාරිකා ව්‍යාපෘතිය මඟින් රාමායන වීර කාව්‍යයේ සඳහන් වන ශ්‍රී ලංකාව පුරා පිහිටි ප්‍රධාන ස්ථාන නවයක් හින්දු භක්තිකයින්ගේ වන්දනාව සහ සංචාරය සඳහා ප්‍රචලිත කිරීම සිදු කෙරෙන අතර අධ්‍යාත්මික හා සංස්කෘතික උරුමයන් පිළිබඳ උනන්දුවක් දක්වන මිලියන සංඛ්‍යාත ඉන්දියානු සහ ජාත්‍යන්තර සංචාරකයින් මෙරටට ආකර්ෂණය කර ගැනීම එහි අරමුණ බව පැවසේ.

මෙම ස්ථානවල සංචාරය කිරීමට අවස්ථාව ලබාදීමට අමතරව, මෙම ඓතිහාසික සිද්ධස්ථාන හා බැඳුණු පැරණි අධ්‍යාත්මික සිදුවීම් කෘත්‍රිම බුද්ධිය (AI), Augmented reality, සහ Virtual reality වැනි අති නවීන තාක්‍ෂණය ඔස්සේ සජීවීකරණයට ලක්කර පෙන්වීම හරහා මෙම සංචාරයෙහි නිරතවන්නන් හට නවමු අත්දැකීමක් ලබා දීමට සැලසුම් කර ඇත.

මෙම වන්දනා චාරිකා ව්‍යාපෘතිය සඳහා මන්නාරම් ද්‍රෝණියේ පිහිටි ආදම්ගේ පාලමේ සිට නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි සීතාඑළිය දක්වා රාමායන වීර කාව්‍යයේ සඳහන් සෑම ස්ථානයක්ම තෝරාගෙන ඇත.

ඉන්දියාව විසින් ලංකාවට ආර්ථික, දේශපාලනික ආධිපත්‍ය පැතිරවීමට අමතරව සංස්කෘතික ආධිපත්‍යක් හැරීම පිළිබඳ මෙය හොදම සංකේතයක් බව ලංකාවේ ඉතිහාඥයන්ගේ අදහස වී තිබේ.

මේ ආකාරයට ගියහොත් ලංකාවේ ඉතිහාසය රාමායන ඉතිහාසය වෙනු ඇතැයි ද ඔවුන් පවසයි.

අයෝධ්‍යයා හි ශ්‍රී රාම පූජා නම් කෝවිල ඉදිකිරිම මෝදී ආණ්ඩුව විසින් ඉන්දියාව විසින් දියත් කර ඇති හින්දු ජාතිකවාදී ව්‍යාපෘතියේ කොටසකි. එම කෝවිල ඉදිකර ඇත්තේ 1992 වසරේ හින්දු අන්තවාදීන් විසින් කඩා දැමූ මෝගල් යුගයට අයත් බව සැලකෙන බාබ්රි මස්ජිඩ් පල්ලිය තිබූ භූමියේයි. මෝදී විසින් ශ්‍රී රාම කෝවිල ඉදිකිරිම ඔහුගේ හින්දු ජාතිවාදී ව්‍යාපෘතියේ ප්‍රධාන සංධිස්ථානයක් ලෙස සැළකේ. කෙසේවෙතත් දැන් ඉන්දියාව ලංකාවද එම තම ජාතිකවාදී ව්‍යාපෘතිය සඳහා ඈදා ගනිමින් සිටියි.

එසේම මෙම සංස්කෘතික අධිපත්‍යයේ අරමුණද ඉන්දියාව ලංකාව මත මුදා හරිමින් සිටින ආර්ථික ආධිපත්‍යයේ කොටසක් බවට සැක නැත.

leave a reply