Breaking News

බලංගොඩ මානවයාගෙන් අවුරුද්ද ට ගම හරහා දුවන්න පහසුවන රහස් ඖෂධයක්. – ඉෂූ බණ්ඩාර

අතීතාගමනය 6 (Retrospect)  

අතීතාගමනය ලිපි පෙළෙහි 06 වෙනි ලිපිය දිඟහැරෙන්නේ ‘අතීතාගමනය’ නමෙහි අර්ථය ට ද මුඛ්‍ය වටිනාකමක් දෙමින් ම කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේපුරාවිද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් සහ ශ්‍රී ලංකා පුරාවිද්‍යා කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් වන දොලගහවත්තගේ රාජ් කුමාර් සෝමදේවයන් එහෙම නැත්නම් අපි ට සුපුරුදු නමින් ම මහාචාර්ය රාජ සෝමදේවයන් හා සමඟ ය.

සශ්‍රීක ප්‍රෟඩ ඉතිහාසයක ට හිමිකම් පෑ ජාතියක් මෙලෙස කේඩෑරි වී යෑමට බලපෑ හේතු සාධක වගේ ම අතීතයේ හර පද්ධති වර්තමානයට ගලපා ගත යුතු ආකාරය පිළිබදවත් වටිනා කරුණු කාරණා රැසක් මේ ලිපිය තුළින් ඔබට ගෝචර වනු ඇත.

මහාචාර්යතුමා ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා සම්බන්ධ කාලවකවාණු කොයිතරම් දුරක ට හෙළිදරව් කරගෙන තියනව ?

“මෙහෙමයි අපේ පරම්පරාව ට කලින් පරම්පරාවේ මේ රටේ හිටපු පුරාවිද්‍යාඥයොත්, විශේෂයෙන් ම පී.ඊ.පී. දැරණියගල , ශිරාන් දැරණියගල වගේ විද්වත්තු සෑහෙන කාලයක් ගතකරලා ගවේෂණය කරලා පෙන්නලා දීලා තියෙනවා, මේ රටේ ඉතා පුරාණ කාලයක මිනිස්සු ජීවත් වුණා කියලා. ”

“අපි සාමාන්‍ය වශයෙන් ගල් යුගය කියලා කියන්නේ.”

“ඒ කියන්නේ ගල් මෙවලම් තමන්ගේ ප්‍රධාන තාක්ෂණික මෙවලම් බවට පත් කර ගත්ත, සංචාරක ජීවිතයක් ගත කරන, ස්ථිර වාසස්ථාන නැති,ආහාර එකතු කිරීමෙන් හා දඩයම් කිරීමෙන් ජීවත් වුන පිරිසක් තමයි ඒ යුගයේ හිටියෙ.”

” ඉතිං, ඒ ගොල්ලො  ලංකාවෙ හිටපු පැරණිම යුගය මීට අවුරුදු 125,000 විතර ඈතකට ගෙනිහිල්ලා තියනවා.”

ඒ හා සම්බන්ධ පුරුවිද්‍යා සාක්ෂි  හම්බවුන ස්ථාන මොනවද මහාචාර්යතුමා?

“ඔය හම්බන්තොට දිස්ත්‍රික්කයේ බූන්දල, පතිරාජවෙල වගේ තැන් වලින් හොයාගත්ත ගල් මෙවලම් තිබුණු ස්ථර වල කාල නිර්ණයන් ඒ ගානට ගිහින් තියෙනවා. ඊට පස්සේ අවුරුදු 70,000 ක බූන්දල කාල නිර්ණයක් තියෙනවා.

“මිනිහාගල්කන්ද, රතුපස්ගොඩැල්ල, ආදී වශයෙන් ඔහොම ඇවිල්ලා පාහියන්ගල ට එනකොට අවුරුදු 49,000කට කාල නිර්ණයක් තියෙනවා.”

“කුරුවිට බටදොඹලෙනින් අවුරුදු 12,000ක කාල නිර්ණයක් තියෙනවා.”

එතකොට මහාචාර්යතුමා ඔය කියන විජයාවතරණය සම්බන්ධ ඉතිහාසගත කරුණු පිළිබද ඔබ තුමාගේ අදහස මොකක් ද ?

“මෙහෙම යි මුලින් කියපු විදියට ලංකාවේ මුල් බැසගත් ආදී මානවයා ඔහොම මුළු ඉතිහාසය පුරාම සෑහෙන කාලයක් මේ රට ජනාවාස කරලා තියනව.”

“එහෙම වෙලා ඒ මිනිස්සු දිගින් දිගට ම දිගින් දිගට ම ආවා.”

” පස්සෙ ඒ මිනිස්සු මේ පරිසරට අනුවර්තණය වෙලා, අනුගත වෙලා ජීවත් වෙන්න ඕන කරන තර්කය නිර්මාණ කරා, ගස් කොලන් අදුර ගත්තා, කන්න ඕන මොන ගස් ද මොන ගෙඩි වර්ග ද කියලා හොයාගෙන ඒ මිනිස්සු තමයි ඥානය නිෂ්පාදනය කලේ.”

” එහෙම තියෙද්දි ,එතකොට එකපාරට ඒ සේරම ඇන හිටලා, මේ ඉන්දියාවෙන් විජය කෙනක් ආවා ය  කියන එක අරගෙන,  ඒකෙන් මේ  ඔක්කොම පටන් ගත්ත යි කියන එක නිවැරදි අදහසක් නෙමේ.”

එතකොට මහාචාර්යතුමා ලෝකයේ මුල් ම මානවයා බිහිවීම සහ ඊට අදාල කාළ නිර්ණය පිළිබදව කියවෙන්නෙ කොහොම ද?

“මෙහෙමයි, අපි දැනට දන්න දෙයක් තමයි ලෝකයේ පළවෙනි ම මිනිස් මානවයා නැත්නම් මිනිස්සු වර්ධනය වුනේ අප්‍රිකානු මහද්වීපයේ.”

“දැනට සොයාගෙන තියන පැරණිත ම අවශේෂ, ලෝකෙ කොහෙවත් නෙමේ අප්‍රිකාවෙ පමණ යි.”

“ඒ නිසා මනුස්සයා දියුණු වර්ධනය වීම පටන් ගත්තෙ අප්‍රිකාවෙ කියලා පිළිගැනෙනවා.”

“දැන් එතකොට ඔය අප්‍රිකාවෙ ස්ටර්ක්ෆොන්ටින් (Stekrkfontein) වගේ ගුහාවල ඔල්දුවායි ගෝජ්(Olduvai Gorge) වගේ තැන්වල තියනව, ඒවා හාරලා හොයාගත්ත මනුෂ්‍ය ඇට සැකිලි අවුරුදු මිලියන 2.5 කට කාල නිර්ණය වෙලා තියනවා.”

“ඔහොම ඇවිල්ලා, මීට අවුරුදු ලක්ෂ 3කට පමණ උඩදි ඒ අප්‍රිකාවේ හිටපු මිනිස්සු අප්‍රිකාවෙන් පිටත් වෙලා ලෝකෙ පුරා ම ඇවිදින්න පටන් ගත්තා.”

අප්‍රිකානු රටවල් ආශ්‍රිතව ම ආදී මානවයාගේ මූලාරම්භය ඇතිවෙන්න හේතුව මොකක් කියලා ද ඔබතුමා හිතන්නෙ.?

“මෙහෙමයි, අප්‍රිකාවේ ම චිම්පන්සින්ගෙන් මනුස්සයෙක් දියුණු වන්න බලපාපු ප්‍රධාන හේතුව විදිය ට සළකන්නෙ ඒ අප්‍රිකාවෙ සැවානා තෘණ භූමි වල තිබිච්ච දේශගුණික කාලගුණික වෙනස්වීම් වල තියන විචලන දෝලන තත්ව නිසා ඒකට අනුවර්තණය වීමේ ඒකට හැඩ ගැසීමේ ප්‍රතිචාරයක් ලෙස මේ සත්තු මෙහෙම වර්ධනය වෙමින් වර්ධනය වෙමින් යාම තමයි”

මහාචාර්යතුමා චාල්ස් ඩාවීන්ගෙ පරිනාමවාදය නිවැරදි යි කියලා ඔබ පිළිගන්නව කියල ද ඒ කියන්නෙ.?

“චාල්ස් ඩාවින් විසින් ඉදිරිපත් කරපු පරිනාමවාදය පිළිබද නොයෙකුත් ප්‍රශ්ණ තියනව.”

“නමුත් පරිනාමය කියන එක ලෝකය පිළිගත්ත අදහසක්.”

“ඒ කියන්නෙ 20  ශතවර්ෂය නිර්මාණය කරපු ප්‍රධාන අදහස් තුනක් තියනවා.”

“එකක් පරිනාමවාදය, දෙක මාක්ස්වාදය, තුන ව්‍යුහවාදය, (Structuralism)”

“ඔය චින්තන ධාරා තුන තමයි 20 වන ශතවර්ෂය නිර්මාණය කරලා පවත්වාගෙන ආවේ.”

“එතකොට දැන් නියොමාක්සිසම් (Niomoksisam) සෝෂල්ඩාවීනිසිසම් කියලා මාක්ස්වාදයේ තව විස්තීරණ තියනවා.”

“එතකොට ඩාවීනියානුවාදයෙ ත් , නියෝ ඩාවිනිසිසම් කියලා ඒ වගෙ වර්ධනයන් තියනවා,”

“එතකොට ව්‍යුහවාදයත් Structural කියන එක , දැන් Structural marxiam (ස්ට්‍රක්චරල් මාක්සියම්) කියලා එකක් දැන් තියනව.”

“ඉතිං ඔහොම ඔහොම හිතෙන හැටි කාලෙන් කාලෙට වෙනස් වෙනවා.”

“නමුත් මූලික පරිනාමය කියන අදහස වෙනස් වෙලා නැහැ.”

“චාල්ස් ඩාවින් විවේචනය වුණේ, චාල්ස් ඩාර්වින් කිව්වා රේඛාවක් විදියට පරිනාමය වුණා කියලා.”

“ඇත්ත වශයෙන්ම රේඛාවක් විදියට නෙමේ පරිනාමය වෙලා තියෙන්නෙ රේඛාවක් නොවන ආකාරයකට.”

“පුරාණ ම මානවයෙක් ඉන්නවා, ඊට වඩා දියුණු මානවයකුත් සමකාලීනව ඉන්නවා”

“එතකොට ඒක රේඛීය වර්ධනයක් නෙමේනේ”

“එතකොට ලෝකයේ තියෙන විවිධ විදියේ දේශගුණික බලපෑම් නිසා මිනිස්සු විවිධ විදිහට විකරණය වෙලා වර්ධනය වුණා”

“පරිනාමය කියන එක ලෝකය අද පිළිගන්න එකක්.”

“එතකොට මානව පරිනාමයේ ඩාවීනියානු පරිනාමවාදය  සම්බන්ධව යම් යම් මතභේද තියෙනවා”

ඔබතුමා ප්‍රකාශ කරපු විදියට චිම්පන්සින්ගෙන් මානව පරිනාමය සිද්ධ වුන ආකාරය  තවදුරටත් පැහැදිලි කරන්න පුළුවන් ද?

ඔව්, දැන් අපි මානව පරිනාමයට ආවොත් එහෙම, මානව පරිනාමය පටන් ගත්තෙ අවුරුදු මිලියන 2.5 විතර තමයි අපිට දැනට පේන්නේ එහෙම දෙයක් සිද්ධ වුණා කියලා.”

“චිම්පන්සියෙකුට අනිත් චිම්පන්සියෙකුට නැති ගති ලක්ෂණ පහළ වෙලා ශාරීරිකව වෙනස් වෙන ආකාරය අපිට පේන්නේ මීට අවුරුදු මිලියන 2.5කට විතර කලින්”

“ඊට පස්සේ ඒ විකරණය ඇතිවෙච්ච ඔස්ට්‍රලෝපිතකස් (Australopithecus) කියන ප්‍රධාන වර්ගය,  ඒ වඳුරෙක්. “එයා ඇත්ත වශයෙන්ම චිම්පන්සියෙක්, වානරයෝ නෙමේ චිම්පන්සියෝ ඒගොල්ලෝ”

“අපි පටන් ගත්තෙ ඇෆ්රිකන් චිම්පන්සින්ගෙන් හරි ද.”

“එයාගේ දත්වල විකරණයක් ඇතිවෙලා එහෙම එහෙම ක්‍රමානුකූලව චර්යාවෙ වෙනස් වීමක් ඇතිවෙනවා”

“එ්ක වෙන්න හේතුව තමයි අවුරුදු මිලියන 2.5කට කලින් පෘතුවිය අධික ලෙස සීතල වුණා”

“සීතල බෝලයක් වෙලා, හිම යුගයක්  නිර්මාණය වුණා.”

“අපි අයිස් ඒජ් (Ice age) කියලා කිව්වේ”

” ඒ අයිස් ඒජ්  එකට මුහුණ දෙන්න බැරිවෙලා සමහර සත්තු වඳ වෙලත් ගියා.”

“ඉතින් මේ වානරයෝ අතරින් අලුත් සීතල කාලගුණයට හොඳ අනුවර්තනයක් දක්වපු අය තමයි මේ පරිනාමයට සහභාගි වුණේ.”

“එහෙම වෙන්න බැරි අය ගුලිවෙලා හිටියා, ඒගොල්ලෝ එකට අනුවර්තනය වුණේ නැහැ”

“ඉතින් ඒ දේශගුණික සාධක වලට අනුවර්තනය වෙන්න ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට අර චිම්පන්සි හිටපු කට්ටියගෙන් වෙනස් කට්ටියක් කැඩිල ගියා ජීව විද්‍යාත්මකව ම.”

“ඒ තමයි අනුවර්තනය වීම, ඊට පස්සේ එයා කකුල් දෙකෙන් යන්න පටන් ගත්තා, කකුල් දෙකෙන් යන්න පටන් ගත්ත නිසා විවිධ ශාරීරික වෙනස්කම් ඇතිවුණා.”

ඒ වගේ සංස්කෘතිය දියුණු වෙන්න ඉස්සරහට හුඟක් දේවල් වර්ධනය වේවි ආවා”

එතකොට චිම්පන්සින් ගේ මොළය හා මානවයාගේ මොළයේ ප්‍රමාණාත්මක ව වෙනසක් තියනව නේ ද?

“මෙහෙම යි, චිම්පන්සින්ගෙන් පළවෙනි ඔස්ලෝපතිකස් කියන්නේ මිනිස් වර්ගයා දිහාවට වර්ධනය වන මූලික ලක්ෂණ පෙන්නපු චිම්පන්සියගේ මොළයේ කපාට වල ධාරිතාව, මොළයේ ප්‍රමාණය කියුබික් සෙන්ටිමීටර් 450 යි”

” අද වැඩුණු මිනිසකුගේ මොළයේ පරිමාව කියුබික් සෙන්ටිමීටර් 1350යි.”

“එතකොට මානව පරිනාමය කියන්නේ මොලේ ලොකු වීම.”

“ලොකු වුනා කියන්නෙ නිකම් නෙමෙයි,කොල කකා හිටපු වානරයෙක් මස් කන්න පටන් ගත්තා, ඊට පස්සේ ඔහු ඔහුගේ චර්යාව වෙනස් කරන්න පටන් ගත්තා, විවිධ පාරිසරික සාධක නිසා ඒව මේව ඔක්කොම නිසා මොළයත් නියුරෝන බෙදි බෙදී මොළය විශාල වෙන්න පටන් ගත්තා.”

“අන්තිමට මිනිස් මොළය දැන් වෙනකොට ස්නායු සෛල ට්‍රිලියන 600කින් සමන්විත වෙච්ච දෙයක්, ස්නායු බෙදිලා බෙදිලා”

” ශ්‍රවණයට වෙනම කොටසක්, උච්චාරණයට වෙනම කොටසක්, දෘෂ්ටියට වෙනම කොටසක්, එතකොට මනස කියන්නේ වෙනම කොටසක්, මනස කියන්නේ මොළේ නෙමෙයිනේ.”

” ඔය විදියට කොටස් වෙලා මානව පරිනාමයේ තියෙන බුද්ධිමය පරිනාමය කියන තත්ත්වයට පත්වුණා”

” ඊට පස්සේ නාට්‍ය සංගීතය, ඔය වගේ දේවල්, ඊළඟට තමන්ට ජීවත් වීමට අවශ්‍ය නැති දේවල්, ඔය මාලකූරු, පබලු ,ඇඟේ ටැටූ අදින ඒවා, ඔය වගේ දේවලුත් දියුණු කරා විවිධ හේතු නිසා විවිධ කාලවල ඔහොම සංස්කෘතිය ඉදිරියට ගෙනාවා.”

“එතකොට විවිධ සංස්කෘතික චාරිත්‍ර පැවැත්තුවා.”

“දැන් මම ඔයාගෙන් ඇහුවොත් එහෙම, මම දන්නෙ නෑ ඔයා උත්තරයක් දෙයි ද කියලා. ඔයා  දන්නව ද ඇයි ඔයා ලිප්ස්ටික් ගාන්නේ කියලා. උත්තරයක් දෙන්න පුළුවන් ද?

මට හිතෙන විදියට මහාචාර්යතුමා සීතල මර්දනය කරන්න පාවිච්චි කලා කියලා අහලා තිබුණත්, වර්තමානයේ අපි නම් ගොඩක් දුරකට පෙනුම වැඩි වර්ධනය කරගන්න එහෙම නැත්නම් ලස්සන උලුප්පා පෙන්වීමට තමයි කියල යි මට හැඟෙන්නේ.

“ඔව්, අපි එහෙම තමයි හිතාගෙන ඉන්නේ.”

“නමුත් මීට අවුරුදු ලක්ෂ ගණනකට කලින් මානවයන්ගේ ගැහැණු සත්තු මේක කරන්න පටන් ගත්තෙ, ඒක හරිම ලස්සන ජීව විද්‍යාත්මක හේතුවක්”

පැරණි මානවයාගේ පිරිමියා, මෙයා ක්ෂීරපායි නේ මැමල්ස්ලනේ (Mammals), මැමර්ස්ලගේ පිරිමි සත්තු හරිම පාලනය කරන්න බැරි අය.”

“මිනිස් වර්ගයත් එහෙමයි නෙ. මිනිස් වර්ගයේත් මිනිහා පාලනය කරන්න අමාරුයි”

“එතකොට පිරිමි, කාන්තාව හා සම්බන්ධ වෙනකොට ඒගොල්ලන්ට ආතක් පාතක් නෑ”

“හිතිච්ච හිතිච්ච වෙලාවට ඒ ගොල්ලනුත් එක්ක සම්බන්ධ වුණා.”

“එතකොට සමහර වෙලාවට කාන්තාවො හිටියෙ ඒගොල්ලන්ගේ මාසික ඔසප් වීම් කාලවල, එතකොට ඒගොල්ලන්ට ඕන වුනා මම එහෙම තත්වෙක ඉන්නේ කියලා අඟවන්න”

“ඒ නිසා රතු පාට නළලේ එහෙ මෙහෙ තවර ගත්තා,එතකොට පිරිමි සතාට පෙන්නුම් කරනවා මම ඉන්නේ මේ අවධිය කියලා, එතකොට එහෙම කරපුවාට සාක්ෂි හම්බවෙලා තියෙනවා.”

ඔය කියන්නේ මහාචාර්යතුමා පරිනාමයට පස්සෙ මුල් යුගයේ මානවයා ගැන ද?

“නෑ නෑ ,මම මේ කියන්නේ පරිනාමයට කලින්, පරිනාම මාවතේ මග එනකොට , අවුරුදු ලක්ෂ ගානකට කලින් මග එනකොට ඒව හැදුනේ”

“ඒ විදියට එතකොට අපි දැන් ඒවා පාවිච්චි කරනවා අපි දන්නෙ නැහැ ඒ වගේ ප්‍රභවය මොකක්ද කියලා”

“ඒක ඇත්තටම හරිම චමත්කාරජනක කතාවක්, රතුපාට භාවිතයෙන් පස්සේ මීට අවුරුදු 110,000කට වඩා උඩදී ඉතාම පුරාණ කාලවල හම්බවෙලා තියෙනවා සාක්කි මිනිස්සු පාවිච්චි කරලා තියෙන්නේ රතු පාට, කළු පාට, සුදු පාට, කහ පාට පාට හතරයි”.

“එතකොට ඔයා හිතන්නේ මොකක්ද එහෙම වෙන්න හේතුව”

මම හිතන්නෙ මහාචාර්යතුමා ගොඩක් වෙලාවට මිනිස්සු ස්වභාවධර්මයේ ඇහැ ගැටෙන පාටවල් නෙ පාටවල් විදියට හදුන ගත්තේ,

“එතකොට ඇයි ගස්වල පාට, කොළ පාට ගත්තේ නැත්තේ අහස බැලුවම තිබෙන නිල් පාට ගත්තේ නැත්තේ ඇයි?”

වර්ණ අන්ධභාවය, එහෙම නැත්නම් දෘෂ්ටිය සම්බන්ධ ගැටළුවක් තිබුණා වෙන්න පුළුවන් ද මහාචාර්යතුමා?

“නෑ නෑ ,රතු පාට වේදනාව ලේ, ඊළඟට පුරුෂයන්ගෙන් පිටවන ශ්‍රාවය සුදු පාට , මස් කාපු දවස් වලට අසූචි කළු පාටයි, එහෙම නැති කාලෙට අසූචි කහ පාටයි,  ඒ ගොල්ලන්ගේ පළවෙනි colour choice එක ආවේ මේව දැකීමෙන්”

“ඒවා තමයි ඒ ගොල්ලන් දැනගත්තු පාට, අදත් අප්‍රිකාවේ සහ ලෝකයේ නොයෙක් තැන්වල ඉන්න ගෝත්‍රිකයෝ පාට හැඳින්වීමට තියෙන්නේ වචන දෙකයි හෝ තුනයි”

“හැබැයි පාට වර්ග දන්නවා , නමුත් පාට හඳුන්වන්න තියෙන්නේ වචන දෙකයි හෝ තුනයි, ඒ කියන්නේ ඒ ගොල්ලන්ගේ vocabulary එකේ (ශබ්දකෝෂයේ) තියෙන්නේ එච්චරයි”

“ඒ කියන්නේ අර පරණ කාලේ ඉඳලා ආපු සීමිත බව තමයි පෙන්නුම් කරන්නේ ඒවා හරිම interesting (සිත්ගන්නා) සහ දිග කතන්දර”

හරි දැන් අපි ආයෙත් මුලට ගියොත් මහාචාර්යතුමා, එතකොට අප්‍රිකාවෙන් පටන් ගත්තු මානව පරිනාමය ලෝකය පුරාම ව්‍යාප්ත උනා එහෙම නේද?

“ඔව් අප්‍රිකාවෙන් පිටවෙච්ච මිනිස්සු ලෝකේම ජනාවාස කළා, ඒ කියන්නේ හෝමෝසේපියන්.”

“හෝමෝසේපියන් (Homosapian) බිහිවෙන්න කලින් නියන්ඩතාල් (Neanderthal) යන වර්ගය අප්‍රිකාවෙන් එළියේත් හිටියා, නමුත් ජනාවාස කරන්න තරම් මේ ප්‍රවණතාවය දියුණු කළේ හෝමෝසේපින් කියන මේ අපේ වර්ගයට අයිති අය.”

“මීට අවුරුදු ලක්ෂ 3කට කලින් ඒ ගොල්ලො විකරණය වුනා කියලා හිතෙනවා.”

“හෝමෝසේපියන් පිළිබද පැරණිම සාක්ෂිත් මේ වෙනකනුත්  හම්බවෙලා තියෙන්නේ අප්‍රිකාවෙන් විතර යි, බ්ලොම්බෝස් (Blombos Cave)කියන ගල් ගුහාවෙන්, වෙන කොහෙවත් නෑ හොමෝසේපියන් ගැන කරුණු සාධක.”

එතකොට මහාචාර්යතුමා මේ ලෝකය පුරා ව්‍යාප්ත වුන මිනිසුන්ගේ එකිනෙකට වෙනස් ශරීර වර්ණ වලට බලපෑ හේතු මොනව ද?

” මෙහෙමයි , අවුරුදු ලක්ෂ ගණනාවකට කලින් මිනිස්සු ගින්දර තේරුම් ගත්තා,ගින්දර තේරුම් ගත්තට පස්සේ ශරීරය හුඟක් වෙනස් වුනා.”

“ගින්දර තේරුම් ගත්ත නිසා ඒගොල්ලන්ට පුළුවන් වුණා මස් වර්ග පුළුස්ස ගන්න, ආහාර පුළුස්සා ගන්නකොට මොකද වුනේ, එය ආහාර වල තියෙන සංකීර්ණත්වය අඩුවෙලා,ඒවා ශරීරවලට අවශෝෂණය කරගන්න වේගය වැඩි වුණා,ප්‍රණීත වෙන්න පටන් ගත්තා.”

“එතකොට මොකද උනේ, ඊට පස්සේ මිනිස්සුන් ට ගින්දර තියෙනව, ඊට පස්සේ මිනිස්සුන් ට අවශ්‍ය වුණේ නැහැ ඇගේ රෝම, මොකද උණුසුම තියෙනවා එතකොට රෝම නෂ්ඨ වෙලා, නිලීන වෙලා ගියා, නමුත් රෝම උත්පාදනය කරන හෝමෝන තාම අපේ ඇඟේ තියෙනවා,නමුත් අර ගෝරිල්ලගේ වගේ රෝම එන්නේ නැහැ, මොකද ගින්දර නිසා තවදුරටත් අපිට උෂ්ණය රඳවා ගන්න අවශ්‍ය වුණේ නැහැ ස්වභාවික ක්‍රමයක්.”

“ඊට පස්සේ මිනිස්සු දේශගුණ විවිධ තත්ත්වයන් ට සංක්‍රමණය වුණාම, ඒවයෙ තියෙන සූර්යයා ලෝකයේ වදින එක උඩ, මෙලනින් හැදෙන එක හැටි එක උඩ, ශරීර වර්ණය වෙනස් වුණා.”

“සූර්යාලෝකය ගොඩක් අඩු නම් සම සුදුයි, සූර්යාලෝකය  වැඩියෙන් පතනය වන තැන්වල හම කළුයි, මොකද මෙලනින් වැඩිපුර තියන නිසා විටමින් A මගින් ඇතිකරන ප්‍රතික්‍රියාවක් ඒක”.

එතකොට ඔය කියන මානවයා  ලංකාවට ආවේ කොයි කාලෙක ද මහාචාර්යතුමා?

“දැන් අපිට තියෙනවා අවුරුදු 125,000ක සාක්ෂියක්, නමුත් වඩාත් ම සහතික සාක්ෂිය තමයි පාහියන්ගලින් හම්බෙලා තියෙන අවුරුදු 49,000 සාක්ෂිය, මොකද ඒ ගල්ගුහාවේ ඇටසැකිලි කොටස් හම්බවෙලා තියෙනවා”

” පාහියන්ගල බුලත්සිංහල කළුතර දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාත, එනිසා එක වඩාත්ම සහතිකව කියන්න පුළුවන් ඇටසැකිලි ලැබිලා තියෙන නිසා.”

දැනට ආසියාව තුළ පැරණි ම මානවයා හම්බවෙලා තියෙන්නෙ මොන රටවල් වල කියල ද ඔබතුමාට සාක්ෂි සාධක තියෙන්නෙ?

“කොහොම හරි ආසියාවට මානවයෝ සම්ප්‍රාප්ත වීම මීට අවුරුදු 60,000ක් 70,000ක් අතර කාළෙදි සිද්ධ වුණා කියලා දැනට පිළිඅරන් තියෙනවා”.

“එතකොට ඇත්තටම, හෝමෝසේපියන් ගැන දැනට ලැබිලා තියෙන පැරණිම සාක්ෂි හම්බවෙලා තියෙන්නේ ලංකාවේ පාහියන්ගලින්.”

අමතර ප්‍රශ්නයක් ඇහුවොත් මහාචාර්යතුමා, ලංකාව වගේ සාපේක්ෂව ඉතාමත් කුඩා වර්ග අඩි ප්‍රමාණයක් සහිත රටක විෂම වූ භූවිෂමතා ලක්ෂණ පිහිටන්න හේතු වූ සාධක මොනව ද?

“මේ විවිධත්වය ඇතිවෙන්න තියෙන ප්‍රධාන හේතුව අපේ මධ්‍ය කඳුකරය පිහිටා තිබෙන ආකාරය, වැහි වළාකුළු ආවට පස්සේ මධ්‍ය කඳුකරයේ දෙපැත්තෙ කඳු එක පැත්තකට දැඩි ලෙස වර්ෂාව ලැබෙනවා, ඒ කියන්නේ, ඊසාන දිග මෝසම් සුළං තදට ලැබෙනවා වියළි කලාපයට”

“එතකොට අනිත් පැත්තෙන් එන දුර්වල හුළං පාරවල් වලින් ඒ කියන්නෙ නිරිත දිග මෝසම් සුළං කඳුවල මේ පැත්තෙ වැදුනම අනුරාධපුර පැත්තට වැස්ස නෑ වැඩි කාලයක්”

“එතකොට මේ මධ්‍ය කඳුකරේ පිහිටීම නිසා දේශගුණික ලොකු විවිධත්වයක් ඇතිවෙලා තියෙනවා, එතකොට කඳුකරේ උඩට ගියාම අධික සීතල, නුවරඑළිය වැලිමඩ පැතිවල සීතල කාලගුණයක් තියෙනවා”

එතකොට මාලදිවයින ඇතුළු අනෙකුත් දූපත් ආශ්‍රිත ව එහෙම විවිධත්වය ක් නැති වෙන්න හේතුව මොකක් ද?

“මෙහෙම යි, ලංකාව ඉන්දියාවෙන් ගැලවිලා වෙන් වුනේ මීට අවුරුදු ලක්ෂ 7කට උඩදී, එතකොට අපි ඉන්දියාවේ කොටසක් නෙ ලංකාව අවුරුදු ලක්ෂ 7කට කලින්, එතන දි අපිට කියන්න බෑ ලංකාව සුවිශේෂීයි මෙහෙම වුණා කියලා.”

“නමුත් ඒ කැඩිලා වෙන් වුන එක තල්ලු වෙලා, අර මහද්වීප ප්ලාවන කල්පිතය අනුව, එතකොට ඉන්දියාවෙ ත් මේ වගේ ම තියෙනවනේ එක පැත්තකින් බටහිර ගාර්ඩ්ස් ඊට පස්සෙ නැගෙනහිර ගාර්ඩ්ස් වින්ද්‍යා කඳුකරය (Vindhya Hills) , සිවලික් කඳුකරය (Sivalik Hills), ඒ වගේ හැදිලා තියෙනවනේ හිමාලයට යනකන්, ඒ කඳු නැම්ම තමයි අපෙත් මේ පේන්න තියෙන්නෙ මධ්‍ය  කඳුකරයෙ.

“ඒ නැමි ෆෝල්ඩර්ස් පේනව හොඳට ඒක ඉතිං පෘතුවිය නිර්මාණය වෙනකොටම ඇතිවෙච්ච දේවල්.”

“එතකොට ඉන්දියාවේ අර කොනේ එල්ලිලා තිබිච්ච ලංකාවේ භූවිෂමතා ව ඊට වඩා වෙනස් වුනා.”

“මුහුද අයිනෙ මයොසින් හුණුගල් වගේ තිබුණා, කඳු මැද්දෙ ආග්නේය පාෂාණ, ඔය සීගිරි වගේ ලොකු පර්වත, පිදුරංගල වගේ පර්වත, ඒ එක්කම නැමී ඇති වෙලා මධ්‍ය කඳුකරය, එහෙම භූ විෂමතාව නිසා මේ දේශගුණික වෙනස් වීම් බොහොම ළඟ ළඟ වෙනස් වුණා.”

“විජයාවතරණය සම්බන්ධ මහාචාර්යතුමා තුමාගෙ අදහස මොකක් ද? ඇයි විජයගෙන් පැවතගෙන එනවා කියන මතය ගොඩනැගුනේ?

“ලංකාවේ ඉතිහාසයේ එහෙම දෙයක් වුණේ,ඉතිහාසය රචනා කළේ බෞද්ධ භික්ෂූන් වහන්සේලානේ, එතකොට බෞද්ධ භික්ෂූන් වහන්සේලා ට වුවමනාවක් තිබුණා උන්වහන්සේලා බුදුහාමුදුරුවන් ට සම්බන්ධයි කියලා කියන්න.”

“එතකොට ගත්තොත් එහෙම ඔය විජයගෙ කතාවෙ හරියට බැලුවොත් එහෙම ක්‍රි.පූ. 600 තමයි ආව කියල සඳහන් වෙන්නේ? බුද්ධ පරිනිර්වාණය සිද්ධ වුනේ ක්‍රිස්තු පූර්ව 543 දි.”

“එතකොට එතන ඉඳලා මේ වංශ කථාව ලියලා තියෙනවා ඒ ඥාති සම්බන්ධතා ඔහොම ඔහොම ගොඩක් ඒවා ලියල තියෙනවා”

“එතකොට ඔය භද්ධකච්චායනා කුමාරි ලංකාවට ආවා, එතකොට එයාගෙ තාත්තා මෙහෙමයි,  අමිතෝදන, දෝතෝධන එහෙම ගිහිල්ලා සුද්ධෝදන ට සම්බන්ධ වෙනවා” එතකොට ඒ ගොල්ලෝ ඒ genealogy එක හැදුවා මේ රටේ”

“අපි හරි පාරිශුද්ධයි, බුදුන්ගෙ ත් නෑදෑයෝ කියලා කියන්න”.

එතකොට මීට කලින් ලංකා ඉතිහාසය යම් යටපත් කිරීමකට භාජනය වෙලා තියනව නේද?

“ඒගොල්ලෝ එක යටපත් කරා හිතාමතා ම”

“අනිත් ආන්දෝලනාත්මක කතාව තමයි, රාවණා සම්බන්ධ කතාව, ඒ ගැන අදහස මොකක්ද ඔබතුමාගේ?”

“රාවණාගේ කතාව එන්නේ රාමායණයනේ.”

“රාමායණයෙ ලංකාදීපයට සීතාව අරගෙන ආවා කියලා කතාවක් තියෙනවනේ, ඉතින් ඒ ලංකාව කියන්නේ අපේ ලංකාව කියල ඔය 9 ශතවර්ෂ විතර ඉදලා තමයි විශ්වාස කරන්න පටන් ගත්තේ.”

“ඒ නැතුව ඒවයේ කිසිම තැනක එහෙම කියලා නැහැ, රාවණාට කැමති අය රාවණා ගැන කියනවා, විජයට කැමති අය විජය ගැන කියනවා, අපි ගල් යුගයේ ඉඳලා පරිණාමය උනා කියලා කියන්න අකමැති අය ඒක ප්‍රතික්ෂේප කරනවා.”

එතකොට මහාචාර්යතුමා ඒ කියන්නෙ රාවණා සංකල්පය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනව ද?

” නෑ මම එහෙම එකක් නෙමෙයි කිව්වේ, වැඩි හරියක් තියෙන්නෙ මිනිස්සු පට බැඳපුවා.”

“මම කියන්නේ අද වර්තමානයේ ජනකතා මට්ටමින් පවතින ඕනෑම කතාවකට යථාර්ථයේ බීජයක් තියෙනවා”

“ඒ යථාර්ථයේ බීජය අපි ඉතා පරිස්සම් සහගතව හොයාගත යුතුයි”

එතකොට මහාචාර්යතුමා  කියන්නේ මෙච්චර කල් කරපු කිසිම කැණීමකින් රාවණා සම්බන්ධව කිසිම සාක්ෂියක් හම්බවෙලා නෑ කියල ද?

“නෑ එහෙම නැත්තෙත් නැහැ”

“අපිට ඔය අවුරුදු තුන් හාරදාහක් පරණ තැන් හොයා බැලුව ම යකඩ භාවිතා කිරීම් පිළිබඳ සාක්ෂි  හම්බවෙලා තියනවා.”

“යකඩ උණු කරන්න ලොකු තාක්ෂණයක් ඕන, සෙල්සියස් අංශක 1,500ට රත් කරන්න ඕනේ, ඒවා කොහොමද කවුද දැනගත්තේ? “

“කවුද ඒවා කරේ?

“ඒ විශාල තාක්ෂණික පරිවර්තනය, යකඩ සොයා ගැනීම ඒක වෙන්න බැරි ද මේ රාවණා කතාවේ උත්පත්තිය එතකොට”

“මොකද යකඩ තියෙනව නම් පස් පෙරලන්න පුළුවන්, ගස් කපන්න පුළුවන්,ගොවිතැන් දියුණු කරන්න පුළුවන්, එතකොට ගල් වලින් ප්‍රතිමා හදන්න පුළුවන් ”

රාවණා හිටිය කියලා ජන සම්ප්‍රදායේ මිනිස්සු කියන්නෙ කොච්චර කාලෙක ට එපිට ද මහාචාර්යතුමා?

“ජන සම්ප්‍රදායේ මිනිස්සු කියන්නේ අවුරුදු 4,000ක්  5,000ක් එපිට හිටියා කියලා තමයි. ”

එතකොට ඔය රාවණා ලියපු හෙළ වෙදකම, ශාස්ත්‍රීය සංගීතය හා තව බොහොමයක් පුස්කොළ පොත් ඉන්දියාවට අරගෙන ගිහින් තියනවා කියන මතය සම්බන්ධව අදහස මොකක්ද ඔබතුමාගේ?

“කවුද දැකලා තියෙන්නෙ හෝ මොන මූලාශ්‍ර පදනම් කරගෙන ද කියන්නෙ.”

“අපිට ඉතාම විශිෂ්ට වෙදකමක් තිබිච්ච බව මම අත්දැකීමෙන් දන්නවා, එතකොට ඒ විශිෂ්ට වෙදකම රාවණා දෙන්න ඕන කියලා එහෙම හිතීමක් අවශ්‍ය වෙන්නේ නැහැනේ”

“මොන දේ ජනගත වුණත් ජනගතවීමක් කියන එක, එක පැත්තක්, ශාස්ත්‍රීය පැත්ත කියන එක වෙනම පැත්තක්.”

ඒ කියන්නේ මහාචාර්යතුමා ඔබතුමා කියන්න හදන්නෙ මේ හැම ක්ෂෙත්‍රයක් සදහාම පුරාණ ලාංකිකයන් ට තිබුණ ඥානය එක් නමකට කේන්ද්‍රීය නොකර ස්වභාවධර්මයත් එක්ක කරපු දීර්ඝ කාලීන ගනුදෙනුව හරහා ජනනය වුන ඥානනයක් විදියට ගොනු කල යුතුයි කියලයි, එහෙම නේද?   

“ඔව් ඇත්තවශයෙන්ම, අපිට සම්ප්‍රදායික ඥානයක් තිබුණා.

“අපි ස්වභාධර්මය අවනත කරගන්න හැටි , ස්වභාවධර්මය සමඟ ජීවත් වෙනකොට මේ  ස්වභාවධර්මයේ තියන අපිට පෙනෙන ඒවත් සහ නොපෙනෙන දේවල් සමඟ ගනුදෙනු කරන්න උවමනා කරන දැනුම නිර්මාණය කරලා තිබුණා”

“ඒක අපි එහෙමයි කියන්න ඕනේ හිතන්න ඕන.”

“ඔය සුද්දන්ගෙ කාලෙ ඒවා primitive (ප්‍රාථමික )කියලා කුණු කූඩෙට දැම්මා.”

“අපි ඉහළ ශ්‍රාස්ත්‍රීය ඥානයක් සම්ප්‍රදායිකව අරන් ආපු ජාතියක්.”

“හැබැයි , දැන් ඒ සම්ප්‍රදායික ඥානය ගොඩක් දුරකට හොයා ගන්නත් නැහැ.”

ඔබතුමාගේ මේ තාක් ජීවිත අත්දැකීම් අතර ,ඔය කියන සම්ප්‍රදායික ඥානය යොදාගත්ත, එහෙම නැත්තම් එවැනි දේවල් පාවිච්චි කරන්න ලැබුණ ඉඩ ප්‍රස්ථා තියනව ද.?

“ඔව් බොහොමයක් තියනවා, ඔය හෙළ වෙදකමට අයිති භූත විද්‍යාව, එතකොට අපි දන්නවනෙ සර්පයෙක් කාලා සර්ප වෙදෙක් ලඟට ගියාම, එයා නිමිති වලින් තමයි සර්පයා කවුද කියලා කියන්නෙ සහ ලෙඩා සුවකරන්න පුළුවන් ද කියලා කියන්නෙ.”

” ඔය වගේ ,මගෙ කුරුණෑගල තියන ඉඩමක මම වතුර ළිඳක් කපන්න යනවා, එහේ ඉන්නවා වෙඳ මහත්තයෙක්, එයා ඉරටුව කරකවලා හරියට ම කියනවා , වතුර තියෙන්නෙ මෙතන කියලා.”

“අපි ඔය වියළි කලාපයේ වැඩ කරනකොට, සමහර මිනිස්සු ඇවිල්ලා අහනවා ,

‘මහත්තයා තව කොච්චර කල් වැඩ කරනව ද?’

ඇයි අහන්නේ කියලා අපි අහනවා,

‘නෑ මහත්තයා , දැන් වළාකුළු එක්කහු වෙන විදිය එතරම් ම හොඳ නැහැ, මේ වැහි ලිහිණිත් හැසිරෙන ආකාරය, තව සුමාන එක හමාරකින් වහින්න පටන් ගන්නවා තදට”

“එතකොට ඒ ගොල්ලන් එහෙම කියන්නේ,කාලගුණ දෙපාර්තමේන්තුවෙ තොරතුරු වලින් නෙමෙයි නේ හේන් කොටන ඒවා එහෙම කළේ”

” තව අත්දැකීමක් තියනව ඔය වගේ , මම මෙහෙම කියන්නම්කෝ, මම එක්තරා හෙළ වෙඳ මහත්තයෙක් හමුවුනා මොණරාගල, ඒ වෙද මහත්තයා හම්බුනාම මම ගිහිල්ලා ඇහුවා වෙද මහත්තයගෙන්, කාටද ප්‍රතිකාර කරන්නේ කියලා, එතකොට කිව්වා,’ මම මහත්තයා මේ කැඩුම් බිදුම් වලට තමයි වෙදකම් කරන්නේ’ කියලා,

“ඊට පස්සේ මම ඇහුවා මට කියන්නකෝ කොහොමද කැඩුම් බිදුම් වලට වෙදකම් කරන්නේ කියලා, ‘නැහැ මහත්තයෝ අපි ඉතින් බෙහෙත් බඳිනවා ඔය අතපය කැඩිච්ච අය එනවා ඒ අයට ‘ කියලා කිව්වා.

මම ඇහුවා ‘අතපය කැඩිලා තියා ඇඟිල්ලක් කැඩිලා ආවත් ඒ අය අතවත් තියන්න දෙන්නේ නෑ නේ,  අල්ලන්නවත් දෙන්නේ නැහැනේ ඒක අතිශය වේදනාකාරීනේ’ කියලා.

එතකොට ඒ වෙද මහත්තයා කිව්වා,

” අයියෝ මහත්තයෝ ඕක එච්චර මහ ලොකු දෙයක් නෙමේ”

“ඒක කරන හැටි මම දන්නවා” කියලා නැගිටලා ගිහිල්ලා ඉස්තෝප්පුවෙන් එළියට ගහක කොළයක් කඩාගෙන මට ගෙනත් දුන්නා මහත්තයෝ ඕකෙ කොන පොඩ්ඩක් හපන්න කියලා.”

“මම ඉතිං කොන හපන්න කිව්ව ට ඒක ගනණ් ගන්නෙ එහෙම නැතිව ,මම ඉතින් කොලේ භාගයක් කටේ දාගෙන හැපුවා”.

“හපල විනාඩි දහයක් විතර යන කොට මගේ කටක් දිවක් නැහැ කියලා , තේරෙනවා. Anesthesia වෙලා”

“ඊට පස්සේ එයාගේ නෝනා මට කහට කෝප්පයක් ගෙනත් දුන්නා, මම බොන්නෙ නැතුව ඉන්නකොට, වෙද මහත්තයා හිනා වීගෙන කියනවා ‘ මහත්තයා ඕක බොන්න කියලා’

“මං කිව්වා,තව ටිකකින් බොන්නන් කියලා, ඊට පස්සේ වෙද මහත්තයා කියනවා, ‘මම දන්නවා බොන්නැති හේතුව, දැන් කට, දිව නෑ වගේ නේද? ‘ කියලා.

” ඊට පස්සේ කිව්වා, ‘මහත්තයා ඔය කොලේ නම ‘අක්මැල්ල’, ඔය කොල ටිකක් කොටල බැන්ද ම, විනාඩි පහළොවක් යනකොට මට මගේ වැඩේ කරගන්න පුළුවන්’ ලෙඩාට තේරෙන්නෙත් නැහැ කියලා,.

“එතකොට මේ දැනුම අපි ගිහින් anesthesiologist කෙනෙක්ගෙන් අහලා කරපු දෙයක් නෙමේනෙ.”

එතකොට පෘථිවියෙන් ඔබ්බට ගියොත්, ආකාශය, ඉර, හඳ, තරු ගැන යම් දැනුවත් වීමක් පෙර මානවායා තුළ තිබුණ ද?

“ඒක මෙහෙමයි,දැන් අපි අවුරුදු 6,000ක් කාළනිර්ණ තියන ගල් ගුහාවක අපි සොයා ගත්තා එක්තරා ගලක්, ඒ ගලේ තිත් වගයක් සටහන් කරලා තිබුණා, ‘අවසානයේ අපේ විශ්ලේෂණ වලින් අපි තේරුම් ගත්තා, ඒ ගලේ කොටලා තියෙන්නෙ මේ  ‘දඩයක්කාරයා’ තරු වළල්ල අවුරුදු 6,000කට උඩදී, එතකොට ඒක අහඹු සිදු වීමක් කියලා කවුරු හරි තර්ක කරොත් , එතකොට අපි තවත් ගල් ගුහාවක ඒ වගේම ගලක් හම්බුනා’ , ඒ සටහන්මයි යොදල තියෙන්නේ,  එතකොට මේ ඔරායන් කියන තරු වලල්ල නිරීක්ෂණය කරලා තියෙනවා මීට අවුරුදු 6,000කට උඩදි.”

“එතකොට ඒක නිරීක්ෂණය කරලා සටහන් කරලා තියන, ඔරායන් තරු වලල්ල තමයි, ‘වර්ෂා කාලය හා ග්‍රීෂ්ම කාලය’ අතර වෙනස පෙන්වන තරු වළල්ල.”

“ග්‍රිෂ්ම කාළයේදී උත්තර අර්ධගෝලයේ ක්ෂිතිජයේ  පැහැදිලිව පේන්නේ ඔරායන් තරු වළල්ල, වැහි  කාලයේ ළං වෙනවත් එක්කම මේ තරු වළල්ලේ එක එක තරු මැකිලා යනවා, නොපෙනී යනවා”

“එතකොට වැස්ස කාළය හා උණුසුම් කාළය තේරුම් ගන්න ඒ ගොල්ලන් අහස නිරීක්ෂණය කළා,  ඉතින් මේ වගේ දේවල් ඒ පුරාණ මිනිස්සු කරා”.

” එතකොට, නම් දැමීමට වුනත් ඔය නැකත් ශාස්ත්‍රය භාවිතා කරලා තියනවා පුරාණයේ ඉදලා.”

“දැං ඔය නම් දානකොට අර පුස්ස දේව කියල නමක් තියෙනවනේ අර යෝධයෙක්ගෙ ,ඒක අට්ඨකථාවේ කියනවා.”

පුස්ස නක්කත්තේන

ජාත භාවේන

පුස්ස දේවෝති නාමඃ අකංසො

“පුස නැකතින් ජාතක වූ හෙයින් හෙතෙම පුස්සදේව නම් විය.”

“ඒ වගේම තිෂ්‍ය නැකත අනුව තමයි දේවානම්පියතිස්ස රජතුමාට නම් තිබ්බේ.”

මේ සියල්ලන්ගෙම ඔබතුමා තහවුරු කරන්න උත්සාහ කරන්නෙ, අතීත මානවයා හා ස්වභාවධර්මය තුල තිබුණ විශිෂ්ඨ ගනුදෙනුවක ප්‍රතිඵල මත තමයි අපිට මේ හෙළ වෙදකම ඇතුළු බොහොමයක් ශාස්ත්‍ර ඥානනය වෙලා තියෙන්නෙ, නැතුව රාවණා කියලා එක් පුද්ගයෙක් මත ඇතිවුණ දෙයක් නෙමෙයි කියලා, එහෙම නේද මහාචාර්යතුමා ?

“ඔව්, ඉතිං ඒක අපි අත්දැකලා තියෙන දෙයක්. අපි බලංගොඩ ගල් ගුහාවල කැණීම් කරණ කොට අපිට හම්බවෙනවා ගස් ගොළුබෙල්ලන්ගේ කටු.”

“මහා පරිමාණයෙන් ගස් ගොළුබෙල්ලෝ ආහාරයට අරන් තියෙනවා”

“ඊට පස්සේ අපි බලංගොඩ කූරගල, කල්තොට පැත්තේ ඇවිදින කොට අපිට මිනිස්සු කියනවා,

” මහත්තයෝ, මේ ඔය අපේ කොල්ලො ඉන්නවනේ, අවුරුදු කාලයට ගම හරහා දුවන්න එහෙම ඔය ලෑස්ති වෙනකොට සමහර කොල්ලන්ට ඔය පපුවේ හතිය එහෙම හැදෙනවා”

“ඉතිං උන් දුවන්න කලින් කරන්නේ ,ගස් ගොළු බෙල්ලෙක් කඩලා ඕකට ලුණු කැටයක් දැම්ම ම සාරු පෙරනවා, ඒක එහෙම ම කටට හලා ගන්නවා කියලා,”

“ඒක හරි හොඳයි කියලා මේ පපුවේ අමාරුවට ඒ කියන්නේ ඇස්ම වගේ ඇතිවන ශ්වසන පද්ධතියෙ දේවල් වලට.”

“එතකොට ඊළඟට මේ ගොල්ලන් කියනවා ඔය ඇහැක් එහෙම හීරුනොත් ඔය ඉලුක් කොළ වලට අපි දාන්නේ ගස් ගොළුබෙල්ලගේ සාරු කියල.”

“ඔය ගොළුබෙල්ලගේ සාරු බැලුව ම ඒවා අතිශය මිනරල් වැඩි liquid(දියරයක්) එකක්.”

“එතකොට මේ ඥානය එන්නේ පරම්පරාවලින්, මම මේ අහන ප්‍රශ්නේ, ඔය වෙදකම් ඖෂධ ඔක්කොම තියෙද්දි , මේවා අපිට ඔක්කොම දුන්නේ රාවණා රජ්ජුරුවෝ කියලා කියන එකේ සතුට ඇරෙන්න, මොකක්ද එකේ තියෙන ප්‍රායෝගිකත්වය.”

රටක දියුණුවට බලපාන එක් සාධකයක් විදියට එම රටෙහි ජාතක දරුවන්ට තම රට පිළිබද ඉතිහාසය නිවරිදව අධ්‍යනයට අවස්ථාවක් තිබීම වැදගත් නේද? එතකොට මහාචාර්යතුමා අපේ අධ්‍යාපනික පොත්පත්වල තවමත් ඉතිහාසය නිවැරදිව යාවත්කාලීන වෙලා නැහැ නේද?

“ඔව් ඒක හරි , හැබැයි ඔය දේ කරන්න ඕන නම් අපි කළ යුත්තේ ඒ මතය දරාගෙන ඉස්සරහට යන සම්ප්‍රදායක් ගුරුකුලයක් ඉන්න ඕන, ඒක හදන එකයි කළයුත්තෙ”

“මේකෙ ඔක්කොම කට්ටිය පරණ ඉතිහාසය බදාගෙන විශ්වවිද්‍යාල වල ඉදලා ඉන්නවා ඒවා පොලිෂ් කර කර, අපි විතරක් එළියට බැහැලා ඇත්ත කියන්න ගියාට වැඩක් වෙන්නෙ නැහැ, තනි එක්කෙනෙක් නෙමෙයි ඒක කරන්න ඕන.”

“එහෙම හොයලා බලලා කරන්න කෙනෙකුත් නැහැ, එහෙම රට ගැන හැඟීමකුත් නැහැ. හැමෝම එකතු වෙලා කළයුතු වැඩක් තමයි මේක.”

ඔබතුමා මෙතෙක් ගවේෂණයන් කර ලබාගත් සුවිශාල දැණුමෙන් වගේම ,ගෝචර බුද්ධියෙන් විමසා බැලුවම , ඔබතුමාට හිතෙන්නේ ලංකාවේ අධ්‍යාපනය වෙනස් වියයුතු දිශානතිය මොන වගේ කියල ද?

“මෙහෙම යි, රටක ට විධිමත් අධ්‍යාපනයක් විධිමත් වැඩ මාලාවක් තියෙන්න ඕනේ.”

“ඔය තියෙන විෂයන් ප්‍රමාණය විෂයන් හතරකට හෝ පහකට අඩු කරලා, ගණිතය, විද්‍යාව,සිංහල සාහිත්‍ය රසාස්වාදනය ,ඉතිහාසය වගේ දේවල් අනිවාර්ය විෂයන් කරන්න ඕන ”

” මම නම් අදාළ තැන්වලට යෝජනා කරලා තියෙනවා පාසල් විෂය නිර්දේශයෙන් ආගම අයින් කරන්න කියලා, ඒක අනිවාර්ය විෂයක් කරලා, ආගම උගන්වන දෙන්න කියලා දහම් පාසල් වලට.

” රජයෙන් දහම් පාසල් වලට උදව් කරලා පුටු මේස බංකු  දීලා ගුරුවරු ස්ථිර කරලා , වැටුපක්  ගෙවලා, ඒ වගේ වැඩපිළිවෙළක් ඇති කළයුතුයි.”

ඒ කියන්නෙ මහාචාර්යතුමා සියළුම අතිශෝක්ති ආගමික ඉගැන්වීම් වලින් බැහැර වෙලා සියළුම ආගම් වල හර පද්ධතීන් එක පංති කාමරයක් තුළ ඉගැන්වීමට හැකි වන පරිදි අධ්‍යාපන ක්‍රමයක් සැකසීම වැදගත් , එහෙම නේද?

“ඒක ඉතාම පැහැදිලියි, ඒක තමයි ඕන කියන්නේ. මෙහෙම නේ සිද්ධාර්ථ කුමාරයා ඉපදිලා නෙළුම් මල් හතක් උඩ කියයි කියන එක තාම වෙනස් කරන්න බැරි වෙලා තියනවනේ.”

“මේවා සළකා බලා ඒ වෙනස් කම් ඇතිකළ යුතුයි.”

මහාචාර්යතුමා, සංක්ෂිප්තව කියන්න මේ ඉතිහාසය කොහොමද ලංකාවේ දියුණුවට යොදා ගත යුත්තේ?

“ඒක ඉතාම සරලයි, මට ඒක එක වාක්‍යයකින් කියන්න පුළුවන්,

“ඉතිහාසය කියන්නේ සමාජ ප්‍රාග්ධනයක්, ප්‍රාග්ධනය කියන්නේ ඉතිහාසය ආයෝජනය කරන්න පුළුවන් වර්තමාන සමාජයේ, එතකොට ඉතිහාසය ආයෝජනය කරන ක්‍රම ගණනාවක් ම තියෙනවා, ඒක දේශපාලනය වෙන්න පුළුවන්, සම්ප්‍රදායික ඥානය වෙන්න පුළුවන්, විදේශ ප්‍රතිපත්ති වෙන්න පුළුවන්,ඉතිහාසය කියන ඒ කොටසින් ඉතිහාසය සිදුවෙච්ච පරාජයන් අපි අධ්‍යයනය කරන්න ඕනේ, විශ්ලේෂණය කරන්න ඕනේ ,ආයෙත් එවැනි පරාජයන්ට මුණ නොදෙන තත්ත්වයට අපිට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ  කියන්නේ ආයෙත් කරත්තේ යන්න කියන එක නෙමෙයි.”

” මොකද ඉතිහාසය තුළ පිළිගැනීම් , ඇගැයීම්, දෘෂ්ටිවාද ඒවා තියෙනවා. ‘ අපිට පුළුවන් ඒවායින් කොපමණ දුරට සමාජයට හිතකර දෙයක් වුණා ද කියලා අධ්‍යයනය කරලා ඒවා වර්තමානයට ගැලපෙන විදිහට නවීකරණය කරන්න”

“ඉතිහාසයෙන් ආභාෂය නොගත් කිසිම සමාජයක් ඉදිරියට ගිහින් නැහැ.”

මහාචාර්යතුමා, සීගිරිය සහ එවැනි ගොඩනැංවීම් හා තිබිච්ච තාක්ෂණික දැනුම බලද්දී කොහොමද එච්චරම දැනුමක් ලැබුණේ?  ඒ දැනුම වර්තමානය හා සසදන්නෙ කොහොම ද?

“මෙහෙමයි, හේතුව මගින්නෙ ඵලය බිහි කරන්නේ, ඉතිං  සීගිරියේ තාක්ෂණය ,අනුරාධපුරේ වාරිමාර්ග තාක්ෂණය බලද්දි, අපි නිෂ්පාදන ආර්ථිකය හොඳට දියුණු වෙලා, විදේශ සම්බන්ධතා හොඳට පවත්වාගෙන ස්ථාවර රාජ්‍යයක් හැටියට කෘෂිකර්මයෙන් දියුණු වෙලා එහෙම හිටපු කාලෙක, අපිට විවේකය තිබුණා ඒ අපේ අවශ්‍යතා සඳහා තාක්ෂණය දියුණු කරන්න, කල්පනා කරන්න,  ඒවට අවශ්‍ය රාජ්‍ය මුදල් ආයෝජනය කරන්න.”

“අවුරුදු හැත්තෑ පහක් තිස්සේ තක්කඩි රැලක්, කතිරේ ගහලා පාර්ලිමේන්තු යවලා අපි මොනවද තව බලාපොරොත්තු වෙන්නේ? අපිට පුළුවන් ද ඒ ශිෂ්ටාචාරයත් එක්ක සංසන්දනයවත් කරන්න පුළුවන් ද මේ කාලකන්නි වර්තමාන දේශපාලනය.

“දැන් මොන වගේ අයද මේ රාජ්‍ය පිළිබද තීරණ ගන්නෙ.?

ඒ කියන්නෙ, මහාචාර්යතුමා ඕනෑම නිර්මාණයක බීජය බිහිවන්නෙ මුලින් ම මනුස්සයාගේ මනස තුළනේ, මහාචාර්යතුමා කියන්නෙ, මනස විකෘති කරපු ජාතියකට නිදහසේ හිතන්න බැරි කරපු ජාතියකට, ස්වභාවධර්මයත් එක්ක ගැටිලා ඒ ස්වභාවධර්මයේ තියෙන රහස් ටික අඳුර ගන්න බැරිවුන ජාතියකට ඔය කිසිම නිර්මාණ ශක්තියක්වත් දියුණු මනසක්වත් ඇතිවෙන්නේ නෑ කියලා , එහෙම නේද?

“ඒක එහෙම ම තමයි. එහෙම වෙන්නෙ නෑ,”

“මනස දියුණු කියන එකයි වගේම මනස සැහැල්ලු කිරීම කියන එකයි දෙක ම පැත්තකින් තියලා මනස නිශ්චල මිනිස්සු වෙන්න ඕන.”

මහාචාර්යතුමා හිතන විදියට ඇත්තටම මේ ලංකාව වගේ රටවල් වල මිනිස්සුන්ගේ තිබිච්ච ඒ දියුණු මානසික තත්ත්වය අඩු කරන්න මොනවා හරි කුමන්ත්‍රණකාරී දෙයක් ක්‍රියාත්මක වුණා ද ?

ඒක එහෙම නෙමෙයි, මෙහෙම බලන්නකෝ, දැන් ඔයා ජීවත් වෙන්නේ ඔයාට ඕන විදියට ද?

මට ඒකට සරල උත්තරයක් ඔයාට තේරෙන විදියට දෙන්න.

මට නම් හිතෙන විදියට අපිව කවුරුන් හෝ විසින් කරන පාලනයකට යටත් වෙලා ඉවරයි. හරියට රොබෝවරු වගේ.

“මෙහෙම හිතන්නකො ඔයා Supermarket එකට shopping  කරන්න ගිහිල්ලා ඔයා cashier එකට ගෙවන්න යනකොට ඔයාගේ ට්‍රොලිය දිහා ඔයාම බලනකොට පේනව ද ඔයාට ඕන දේවල් ද ඔයා අරන් තියෙන්නේ කියලා ”

 “දැන් අපේ සිත සන්සුන් නැත්තේ ඇයි?

“අපිව තල්ලු කරලා තියෙනවා අධි පාරිභෝගිකවාදී ,අපේක්ෂා සහිත සමාජයකට, බහුභාණ්ඩික සමාජයකට, බහුභාණ්ඩික සමාජයේ බහුභාණ්ඩික චින්තනය නඩත්තු කරන්න කොහොම හරි අපි මුදල් හොයන්න ඕනේ, අපි හැල්මේ දුවනවා, අපි දුවලා දුවලා දුවලා මරණ මංචකයේදීත් ජීවත්වීම ට සූදානම් වෙමින් මිය යනවා හරිද.”

“එතකොට මේ තාක්ෂණය, සන්නිවේදනය, පාලනය නොකළ මේ සියලුම දේවල් වලින් මනුෂ්‍යයාගේ ජීවිතයේ තිබුණු සරල භාවය අතිශයම සංකීර්ණතාවයකට තල්ලු කරලා තියෙනවා,”

” තල්ලු කරන කොට ඒවා පාලනය කරන්න තියන රජයක් කියලා එකක් තියෙන්න ඕන., එතකොට ආගම් තියෙන්න ඕන සදාචාරය, ආචාර ධර්ම පාලනය කරන්න.  දැන් එහෙම එකක් නැහැ, ”

“මට කියන්න කොහේ හරි තුන්කාලෙ ගල් ගොඩක් මිදුලක නැති පන්සලක් තියෙනව ද කියලා”, ‘ හැමදාම පන්සල් හදනවා, සමාජයට අල්පේච්ඡතාවය කියලා දෙන්න ඉන්න අය මොනවද කරන්නේ?, “ටයිල් අල්ලනවා, ලයිට් දානවා.

“මේ වගේ නොයෙකුත් හේතු නිසා දැන් මේ සමාජය විකෘතිකරණය වීම නවත්තන්න අපිට බැරිවෙලා තියෙනවා,”

” මේකට අපිට සමාජ ප්‍රති සංශෝධන වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා, social reformation. ඒකට කියනවා social engineering කියලා , සමාජය ඉංජිනේරුකරණය කරන්න ඕන. කවුද මේවා කරන්නෙ ?

එතකොට මහාචාර්යතුමා මේකට හේතු සහ විසදුම් මොනවද?

“හැම ව්‍යසනයකට ම තියෙන එක හේතුවයි, රටකට තමන්ගේ ස්වාධිපත්‍යය ,ආර්ථික ස්වාධිපත්‍යයය පවත්වාගෙන යෑමට නොහැකි වීම”

“අපි ගවේෂණය කරන්න ඕන  ඉතිහාසය, ඉතිහාසයේ ශිෂ්ටාචාර පවත්වාගෙන ආර්ථික සමතුලිතතාව පවත්වා ගත්තේ කොහොමද කියලා?

“මේ රට වෙනුවෙන් වැඩ කරපු ඥානාන්විත රජවරු හිටියා, ඒ ගොල්ලන්ට දර්ශනයක් තිබුණා, සමහර තැන්වල ඒගොල්ලන් කියනවා,

රාජ ධම්මා පජා රක්ඛා

“රාජ ධර්මය නම් ප්‍රජාව ආරක්ෂා කිරීමයි.”

“ඒක ඒගොල්ලන්ගේ Philosophy (දර්ශණය) එක වෙලා තිබුණා ”

මහාචාර්යතුමා හිතෙන විදිහට ඉතිහාසයෙන් ගත යුතු හොඳම පාඩම මොකක් ද?

“ඉතිහාසයෙන් ගත යුතු හොඳම පාඩම නම්, අපි අවුරුදු 2,500ක් තිස්සේ ලෝකයේ අනගිභවනීය ශිෂ්ටාචාරයක් වෙලා ඉඳලා පවත්වාගෙන ගියපු ආකාරය, ස්වයංපෝෂිත පවත්වාගෙන ගියපු ආකාරය ,අපි ඒ ඉර ඒ හඳ ඒ පොළොවෙ ම යි තාම ඉන්නේ”

“ඉතින් ඒක එදා එහෙම කරන්න පුළුවන් උනා නම්, අද අපට ඒක බැරිවෙන්න හේතුව මොකද්ද කියන එක අපි විග්‍රහාත්මකව තේරුම් ගන්න ඕනේ, කසිකබල් අධ්‍යාපනයක් එක්ක කරගෙන යන්න බැහැ, කසිකබල් දේශපාලනයක් එක්ක මේක කරගෙන යන්න බැහැ”

කෙටියෙන්ම කිව්වොත් මහාචාර්යතුමා ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේත් වෙනස් වීම් අවශ්‍යයි , මිනිසුන්ගෙ ආකල්පමය වෙනසකුත් අවශ්‍යයි, එහෙම නේද?

මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න යන්න ඕන නැහැ ආකල්ප ඉබේම වෙනස් වෙනවා අධ්‍යාපනය වෙනස් වුනාම.

“ප්‍රායෝගික මනුෂ්‍යයෙක් තැනීම සඳහා තමයි අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනේ”

“දැන් ඇත්තටම අපේ දරුවන්ට අපි උගන්වනවාද ප්‍රායෝගිකව කොමඩ් එකක් පාවිච්චි කරන විදිය විශ්ව විද්‍යාලයෙන් එළියට එනකම් ”

“මේ තියෙන 21වන ශතවර්ශයේ දේශීය කලාපීය සහ ගෝලීය අවශ්‍යතා දිහා බලලා, ඒ හැම එකටම මුහුණ දෙන්න පුළුවන් පුරවැසියෙක් තනන අධ්‍යාපනයක් නිර්මාණය කරන්න ඕනේ”

“තමන් වෙනුවෙන් නිවැරදි තීරණ ගන්න පුළුවන් කම තියෙන පුරවැසියෙක් හදන අධ්‍යාපන ක්‍රමයක්, ඊළඟට රසාස්වාදනය, සාහිත්‍ය රසයක් විඳින්න පුළුවන් ජීවමාන, සාමයක් තියෙන මිනිස්සු බිහි කරන්න ඕන. කවියක් රස විඳින්න පුළුවන් මිනිස්සු බිහි කරන්න ඕන. මිනිස්සුන්ට පුළුවන්ද සාහිත්‍ය රසාඥ්ඥ තාවයක් නැතුව ජීවත් වෙන්න.”

“දැන් මේ මොකක ද වෙලා තියෙන්නේ මේ සමාජයේ? කසාද බැඳලා සුමාන දෙකකින් දික්කසාද වෙන ,කතා කරන්න භාෂාව දන්නෙ නැහැ, සන්නිවේදනය දන්නේ නැහැ, මිනිහ ගෑනිට කතා කරන්න දන්නෑ , ගෑනි මිනිහට කතා කරන්න දන්නෑ.”

” මිනිස්සුන්ට කන්න බොන්න ටික හරියට දීලා මිනිස්සුන්ට ස්වාධීනව ජීවත් වෙන්න පුළුවන් පරිසරය රාමුව ගොඩ  නැඟුන ම මිනිසුන්ගේ මනස නිකම්ම හීලෑ වෙනවා”

මහාචාර්යතුමා ඉංග්‍රීසි දැනුම භාෂා ඥානය සදහා අවශ්‍ය වුනත් සිංහල භාෂාව භාවිතය වර්තමාන පරපුර තුල සංසන්දනාත්මකව අඩුවීම යම්කිසි බලපෑමක් කරනවද රටක දියුණුවට යහ පැවැත්මට?

“හැම අම්මයි තාත්තයිම ළමයින්ට ඉංග්‍රීසි උගන්නන්න හදනවා ,ඒක හොඳ වැඩක් නමුත් අන්තිමට වෙන්නේ තමන්ගේ හැඟීම් ප්‍රකාශ කර ගන්න බැරි පිරිසක් හදන එක, තමන්ගේ මව් භාෂාව mother tongue  එකෙන් ඇරෙන්න කිසිම කෙනෙකුට තමන්ගේ හැඟීම් ප්‍රකාශ කර ගන්න බැහැ, එහෙම වුනාම කිසිම සංවේදීතාවයක් නැති මිනිසුන් පිරිසක් හැදෙන එක තමයි වෙන්නේ.”

එතකොට තව අවුරුදු දහයක් පහළොවක් යනකොට ලංකාව තුළ බිහිවෙන මිනිසුන්ගේ සිංහල භාෂා ඥානය අඩුවෙලා, රසඥතාවය අඩුවෙලා සන්නිවේදනය අඩුවෙලා දෙමාපිය සහ සම්බන්ධකම් අඩුවෙලා මෙහෙම යනකොට මේක ලොකු ඛේදවාචකයක් වෙන්න ඉඩ තියෙනවා නේද මහාචාර්යතුමා?

“දැන් ඉතින් මම කිවුවනේ යකඩ මල්ලට ගුල්ලො ගැහුව නම් හාල් මල්ල නොබලම විසි කරපන් කියලා කියනවනෙ.  දැන් යකඩ මල්ලට ගුල්ලො ගහලා තියෙන්නේ, දැන් ඉතින් හාල් මලු ගැන කතා කිරීම තේරුමක් නැහැ”

අවසානයට කියන්න මහාචාර්යතුමා , දැන් මේකට විසදුමක් විදියට මොකක්ද කරන්න සිද්ධ වෙලා  තියෙන්නේ ?

“අවුරුදු ගනණක් රට මේ තත්වයට පත් කරන්න කතිරය ගහපු අපිට ම තමයි දැන් මේ ක්‍රමය කොහොම හරි වෙනසකට ලක් කරලා  ස්වාධීනව, නිදහස් මනසකින් මිනිසුන් ට ජීවත් වෙන්න පුළුවන් වෙන රටක් හදන්න දායක වෙන්න සිද්ධ වෙලා තියෙන්නෙ, මේ සියළු ප්‍රශ්ණ වලට සාධනීය පිළිතුරු එතකොට ලැබේවි”

ගිනිගත් හිසින්, හිස ලූ ලූ අත දුවයන ජාතියක් තුලින් මාහැඟි නිර්මාණ බිහිවීම හෝ විශිෂ්ඨ සොයාගැනීම් කරළියට එනතෙක් බලාසිටීම ඉබ්බාගෙන් පිහාටු එනතෙක් බලාසිටීමක් වැන්න. රටක ජනයාගේ මානසික සුබසිද්ධිය වඩා වර්ධනය කලයුත්තේ ම ඉන් ඕබ්බෙහි නිශ්චල මනසක හටගන්නා නැව්ම් බීජ පොහොනි කොට අස්වද්දා ජාතියකට සරුඵලදාව ලබා දියහැකි නිසාවෙනි. රටක තම ප්‍රජාව ආරක්ෂා කරගත නොහැකි රජෙක් , රජ යන නාමමාත්‍රයට ද නින්දාවක් ම ය.

ස්වභාවධර්මය නිරවුල් මනසක් හෙබි සිංහලයාගේ දහදිය සුවඳට ඉව අල්ලමින් අහස් උසට බැදි ජේතවනාරමායට මුවාව, මහා වැව් බැදි රාජ්‍යයේ සොරොව් බිතට මුවාව, නොසැළී හිදින ගම්භීර සිහිගිරියට මුවාව උන් එතැයි පෙරමඟ බලමින් ය.

 

 

 

 

leave a reply