Breaking News

‘ෆොක්ස්හීල්‘ අනතුරට හේතුව ප්‍රමාණවත් ආරක්‍ෂිත ක්‍රමවේද නොතිබීමද?

දියතලාව, නරියා කන්ද හිදී පැවති “Fox Hill Supercross 2024” මෝටර් රථ ධාවන තරගය අතර වාරයේදී අද ( අප්‍රේල් මස 21 වෙනිදා) සිදුවූ අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලැබීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පැවසුවේ ධාවන තරගයක් අතර වාරයේදී මෝටර් රථයක් ධාවන මංතීරුවෙන් ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මේ අතර සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ වීඩියෝ කිහිපයක් ම පළ වී තිබේ.

එහි එක් වීඩියෝවක දැක්වෙන්නේ එක් මෝටර් රථයක් ධාවන තරගය අතරවාරයේදී ධාවන පථයේ දී අනතුරට ලක්වී තිබිය දී ධාවන තරගයේ සේවයට යොදවා සිටි නිලධාරින් පිරිසක් එහි රියැදුරු පිටතට ගැනීමට යුහුසුළුව සිටින ආකාරයයි.

එම අවස්ථාවේ දී පැවැත්වෙමින් තිබූ ධාවන තරගයට එක් වී සිටි මෝටර් රථ කිහිපයක් එම අනතුර සිදුවූ ස්ථානය පසුකර යනවාත් සමගම එක් මෝටර් රථයක් නරඹන්නන් අතරට කඩා වැදෙන අයුරු එම වීඩියෝවේ සටහන්ව ඇත.

මේ අතර ෆොක්ස් හිල් ධාවන තරගය නැරඹීමට පැමිණි නරඹන්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ධාවන පථය අවට ප්‍රමාණවත් ආරක්‍ෂිත වැටවල් සහ බාධක යොදා නොතිබීම පිළිබඳව ද සමාජ මාධ්‍ය පරිශීලකයින් විවිධ මත පළ කර තිබෙනු දැකිය හැකිවිය.

ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ක්‍රීඩා සංගමය විසින් සංවිධාන කරනු ලබන මෙම මෝටර් රථ ධාවන තරගය සෑම වසරකම අප්‍රේල් මාසයේදී පවත්වනු ලබන ප්‍රධාන පෙළේ ධාවන තරගාවලියක් වේ.

 

leave a reply