රුවන් බන්දුජීව කාව්‍ය සංග්‍රහ තුනක් පළකර ඇති අතර ඉන් කාව්‍ය සංග්‍රහ දෙකක්ම කාව්ය රසිකයන් අතර සෑහෙන ජනප්‍රියත්වයක් අත්කර ගෙන ඇත .මීළඟ මීවිත කාව්‍ය සංග්‍රහයෙන් ඔහු අප අතරට රැගෙන ආ කවිය එතෙක් අප අතර තිබුණු අසවල් සිංහල කවියට ළඟ නෑකම් කියන්නේ යැයි කීම තරමක් අපහසුය . ඔහුගේ දෙවන සහ තෙවන කාව්‍ය සංග්‍රහයන් දෙක දෙස බලන විට පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ ඒ කවි සාමාන්‍ය කාව්‍ය රසිකයන් අතර ඉතා ශීඝ්‍ර්‍රයෙන් සංසරණය වීමේ ගුණයකින් යුක්ත වීමයි. මෙහිදී රුසියානු කවිය සම්බන්ධයෙන් සුනිල් විජේසිරිවර්ධන ලියූ නිරීක්ෂණයක් මතකයට නැගෙයි .
‘අද රසික සභාවක් මැද කියවෙන කවියක එන ප්‍රභල රසවත් යෙදුමක් හෙට සාමාන්‍ය වහරට එක්වෙයි.;ඔවුහු ඒවා ක්‍රිලාතයේ ස්ලවා හෙවත් පියාපත් ලත් වදන් නමින් හැඳින්වූහ. ‘
රුවන්ගේ කවි අතර එන යෙදුම් මේ අන්දමටම රසික සමාජයේ වේගයෙන් සංසරණය විය . මේ මට මතක කීපයකි. අන්දරේ නැවතෙයි තිගැස්සී කවියේ එන ‘ඇතැම් දවසක ශෝර්ට් ලිව් දා මාලිගාවෙන් පිටවෙයි’ රෑ බදුල්ලන්ගෙන් අවසරයි කවියේ ‘ මෙහි රැස්ව සිටිනා _ සියලුම රෑ බදුල්ලන්ගෙන් අවසරයි. _ මා මෙතනට පැමිණියේ වෙන මොහොකටවත් නෙවෙයිසිගරට්ටුවක් බීමටයි. මල් පිළිබඳ කවියෙ ‘ පෑහෙයින් සිය පරපුරට හරසරමිල්ටන් මල්ල්වාරච්චි කිව්වොත් _ පණ වුණත් දෙයි මධුමල ,
රුවන්ගේ කවියේ ඇත්තේ මෙසේ ක්ෂණිකව අපව ආකර්ෂණය කරන යෙදුම් පමණක්ද? මට නම් සිතෙන්නේ ඔහුගේ කවිය තුළ දේශපාලනික, දාර්ශනික සංදර්භවල තබා කතාබහ කළ හැකි කවි ඇති බවයි. පහතින් දැක්වෙන්නේ ධූම ලාවන්‍යා ගාරය කෘතියට ඇතුළත් කවියකි .
කුඩා කුඩා බැකෝ යන්ත්‍ර
කුඩා කුඩා බැකෝ යන්ත්‍ර මහ පාරක් කපනවා
දෙපා රෝද හරව හරව _පොළොවේ පස් ගලව ගලව
කුඩා කුඩා බැකෝ යන්ත්‍ර මහපාරක් කපනවා
දහය හමාරට වාගේ _ තේ ජෝගුව වටේ ඉඳන්
කුඩා කුඩා බැකෝ යන්ත්‍ර ගස් යට හති අරිනවා
දවල්ට එන බත්මුල් ටික_උඩින් උඩින් අනලා ගිලලා
කුඩා කුඩා බැකෝ යන්ත්‍ර ගස් යට විට හපනවා
ඇණ මුරිච්චි කකියන කොට
පපුවෙ මයිල් හිරවෙනකොට
කුඩා කුඩා බැකෝ යන්ත්‍ර ග්‍රීස් ගාලා නානවා
නාන ගමන් ගල්පොතු උඩ මලකඩ පිට උලනවා
කුඩා කුඩා බැකෝ යන්ත්‍ර
බූරු ඇඳන් උඩ නැගගෙන
රෑට ඕමි බලනවා
එහෙම ඕමි බලන ගමන්
පුංචි රේඩියෝ එකකින් සිංදු අරන් අහනවා
බැකෝ යන්ත්‍රයක අත රැඳි
ඉස්කෝප්ප කොළ රැජිනට
නැවිකට් දුම වදිනවා
රැජින විජිනි පත වන වන අතින් නහය වහනවා.
ඉතා සරල බසක් යොදා ගෙන තිබුණ ද රුවන් වැඩකරන ජනතාවගේ රිද්මය සියුම් ලෙස මෙහි දි ස්පර්ශ කරයි .කවිය අවසානයේ ඔහු දේශපාලනික ඉඟි කිරීමකුත් කරයි. ආරිය වංශ රණවීර තිත් නම් කවියේ දී
‘ විවර මහගිරි පාදපාමුල
තිත් නැමේ නැමි නැමි මැකේ’
යනුවෙන් ලියමින් තේ දළු නෙළන ළඳුන්ගේ රිද්මය ස්පර්ශ කළේය. සිරිගුණසිංහ දිවා භෝජනය නම් කවියේ මෙසේ ලිවීය.
‘ බට්ටෙක් මෙන් ඔරලෝසුවෙ
ගණ්න් බලා තුන් විඩයක්
උඩහට පහළට ගිය අත
හිස් පොල්කටුවේ
එක්වර නැවතින ‘
මෙහි දී ගුණස්සිංහ බත් ස්වල්පයක් ආහාර පිණිස ලද කුඩාදරුවකු සියුම් ලෙස අප හමුවට කැඳවයි. රුවන්ගේ කවිය ද රණවීර ,ගුණසිංහ වැනි විශිෂ්ට කවියන් වෙතින් පෙනෙන ආකාරයේ සියුම් ප්‍රතිභාවක් පෙන්නුම් කරන කවියක් යැයි කීම අතිශයෝක්තියක්ද?
ධූම ලාවන්‍යා ගාරය කාව්‍ය සංග්‍රහයේ එන තවත් කවියක් පහත දැක්වේ.
මුහුදු අශ්වයන්ගේ සිහින් හේෂාරවය
මං සුළඟෙ සිදුරක් තිබුණු තැනකින් ඇතුළට
සිහින් දිගු ගුලාවක් විද්දා
තව ටිකක් රැඳෙන්නැයි කියා වෙරළේ
සාගරය මගෙ අතින් ඇද්දා
දෙහිවල ප්‍රාග් ඓතිහාසික ලෙන තුළ
ලිහිණියන් විසින් පෙරන ලද මිදි යුෂ
ඔඩම තුළ සිතුවමක් ඇන්දා
මුහුදු අශ්වයන්ගේ සිහින් හේෂාරවය
සාගරේ සංගීත ප්‍රස්තාරෙ
ඒකාකාරි වූ ගති සොබා බින්දා
‘රළ කියා දෙයක් නැත_ රළ කියන්නෙ මුහුද’
ලිහිණියෙක් එසේ කියමින්ම අළුබඳුන මත වැහුවා
‘රැලි කියා දෙයක් නැත_ රැලි කියන්නෙ මුහුද’
ලිහිණියා යළිත් කියමින් මගේ අදහස ඇහුවා
‘වැලි කියා දෙයක් නැත
වැලි කියන්නෙ වෙරළ එහෙමද?’
මං ඒ ලිහිණියාගෙන් ඇහුවා
එවර ඌ සන්සුන්ව අළුබඳුන හැර වෙන්ව
රළ උරා තෙත බරිත මූදු වෙරළේ වැහුවා
ලිහිණියා පහත් වී වැල්ලේ නමක් ලිව්වා
රළ පෙළක් තුනී වී නමක් අරගෙන දිව්වා
‘එයා කැමති වුණේ මුහුදට නෙවෙයිගොඩ බිමට’
ලිහිණියා එසේ කියමින්ම
ක්ෂිතිජයේ දුර ඈත කොණකට
ලිහිණි ඇස් දෙක යැව්වා
මං _ලිහිණියා ලිව් නමේ බිඳී ගිය අකුරුවල සුන්බුන්
පෙනපිඩු ගොඩේ හෙව්වා ‘
සෑහෙන නාටකීය ස්වරූපයක් පෙන්නුම් කරන මේ කවිය තුළ හමු වන්නේ අවන්හලක මධුවිතක් ගන්නා පිරිසක්ද?ඔවුන් කිසියම් දාර්ශනික තලයේ සංවාදයක නිරත වන්නේ ද? රුවන් මේ කරන්නේ පන්සල්වල සිදු නොවන දාර්ශනික සංවාද අවන්හළක් තුළ ඇසෙන්නට සලස්වා අගතිගාමී දෘෂිටිවාදවල වාහක ආයතන බවට පත් වන පන්සල්වලට සිනා සීමද?