21
Sat, Apr

වමේ කතා

පෙර නොවූ විරු ලෙස ඡන්දය භාවිතා කරන ලෙස ඉල්ලා ප්‍රචාරක ව්‍යාපෘති, තර්ජන ගර්ජන ආදිය මෙවර දියත් කිරීමට පාලකයන්ට සිදුවීමෙන් පෙනී යන්නේ ඔවුන් මුහුණ දී ඇති අර්බුදය බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා පවසයි.

ඡන්දය ඉතා වටිනා බව පවසමින් විශාල ප්‍රචාරයක් ගෙනයන අතර ඡන්දය එතරම් වටින්නේනම් නොවටිනා සහ තුට්ටු දෙකේ දේශපාලඥයන්ට එම වටිනා ඡන්දය නොදිය යුතු බවත් එය වටිනා කාර්යයකට හැර භාවිතා නොකළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. පුබුදු ජයගොඩ සහෝදරයා මේ බව පැවසුවේ පෙබරවාරි 7වැනිදා සවස කොලොන්නාව, සාලමුල්ලේ, ලක්සඳ සෙවන නිවාස සංකීර්ණයේ පැවති 'නොරැවටෙමු - නැගී සිටිමු' ජනහමුවේදීය. එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.

'අද රාත්‍රී මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වෙනවා. මේ ගෙවුණු කාලය පුරාම අනෙක් පක්ෂ ඇවිත් ඔබට කීවේ ඒ ඒ පක්ෂය දිනවන ලෙස. අපි, පෙරටුගාමී සමාජවාදී පක්ෂය පැවසුවේ මැතිවරණ ගුණ්ඩු වලට නොරැවටී ජනතාවගේ ඇත්ත ප්‍රශ්න පෙරට ගන්නා ලෙස. ඒ ගොල්ලෝ කිව්වේ ඔබේ ඡන්දය ඉතාම වටිනා බව. අපි කිව්වේ ඡන්දය එතරම් වටිනවානම්, එතරම් වටිනා දෙයක් දෙන්න තරම් පක්ෂයක්, අපේක්ෂකයෙක් මෙවර මැතිවරණයේ නෑ කියලා. ඒ ගොල්ලන්ට දෙනවා වෙනුවට ඒ වටිනා දේ පරෙස්සම් කරලා තියාගන්න. මුං ඔක්කොම එක වල්ලේ පොල්, කාටවත් දෙන්නේ නෑ කියලා ජනතාවගෙන් විශාල කොටසක් තීරණය කරලා. දැන් කට්ටියම බයවෙලා. තැපැල් ඡන්ද නොදැම්ම රජයේ සේවකයන්ට දඩ ගහනවා කියලා මැතිවරණ කොමිසම තර්ජනය කළා. මැතිවරණය අවසන් වනතුරු උද්ඝෝෂණ නවත්වන්න කියලා ඉල්ලීම් කළා. ඒ කියන්නේ මොකක්ද? දේශපාලනය කරන එක මේ ප්‍රභූ තන්ත්‍රයට භාර දීලා ජනතාව පැත්තකට වෙලා නරඹන්නන් වගේ ඉන්න කියලා කියන්නේ. දේශපාලනය මැතිවරණයේ කාට හරි කතිරය ගහන එකට සීමා කරලා ජනතාවගේ පුළුල් දේශපාලන ක්‍රියාකාරීත්වය නතර කරන්න කියලා කියන්නේ. නමුත් කවුරුත් ඒ අසාධාරණ ඉල්ලීමට යටත් වුනේ නෑ. ඒ කතා වලට පයින් ගහලා කම්කරුවෝ, ශිෂ්‍යයෝ උද්ඝෝෂණ කළා. අදත් විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් වැඩවර්ජනයක් කරනවා. අපි ඒ ක්‍රියාමාර්ග වලට සුභ පතනවා, ඒවා ආරක්ෂා කරනවා. ඔන්න දැන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉතිහාසයේ කවදාවත් නැති විදියට ඡන්දය දාන්න කියලා ප්‍රචාරක ව්‍යාපෘතියක් පටන් අරන්. අපිට ආරංචි විදියට රුපියල් මිලියන 200ක් වියදම් කරනවලු මේ මොළ සේදීමේ ව්‍යාපෘතියට. පහල පන්තියේ මිනිහෙකුට පිළිකාවක් හැදුනාම, ඒ ප්‍රතිකාර වලට අත්‍යවශ්‍ය පෙට් ස්කෑනර් එකක් අරන් දෙන්න කීවම ඒකට රුපියල් මිලියන 200ක් නෑ කිව්වා. අන්තිමට ජනතාවට රුපියලෙන් රුපියල එකතු කරන්න උනා. එකතු කරපු සල්ලි ආණ්ඩුවට භාර දීලත් මාස 23ක් ගියා, තවම ඒක වැඩකට ගන්න බෑ. ඒ අස්සේ මෙන්න නෑ කිව්ව සල්ලි තියෙනවා. අපිට ඡන්දය දාන්න කියන්න මේ දවස් දෙක තුනට ඒ ගැන වියදම් කරනවා. ඡන්දය වටින්නේ පහල පන්තියේ ජනතාවට නෙවෙයි මේ තක්කඩි දේශපාලන කල්ලියට කියලා දැන් තේරෙනවා නේද?

කියන්නේ අපේ ඡන්දයෙන් නියෝජිතයෝ යවන්න කියලා. ඔය යන අය නියෝජිතයෝද? ඒ ගොල්ලෝ පාර්ලිමේන්තුවට ගියත්, කොලොන්නාව නගර සභාවට ගියත් නියෝජනය කරන්නේ ඡන්දය දුන්න අපිද, නැතිනම් වෙන කවුරු හරිද? අපි එක උදාහරණයක් ගමු. දවස් කීපයකට කලින් අඟුලානේදී දුම්රියෙන් වැටිලා මගීන් සිව්දෙනෙක් මියගියා. ඔවුන් මියගියේ කාර්යාල දුම්රියේ පා පුවරුවේ එල්ලිලා යද්දී බෑග් එකක් පැටලිලා, වැටිලා. දුම්රියේ යන්න ඉන්න මගීන් සංඛ්‍යාවට ගැලපෙන තරම් දුම්රිය නෑ, පෙට්ටිත් නෑ. ඒවාට මුදල් වෙන් කරන්නෙත් නෑ. ඔය මැති ඇමති ගොල්ලන්ගේ බූදල් වලින් නෙවෙයි, අපෙන්ම එකතු කරන බදු සල්ලි වලින් ඒවාට වෙන් කරන්නේ නෑ. වෙන් කරන මුදල දවසින් දවස කපනවා. 2015දී පොදු ප්‍රවාහනයට වෙන් කළා රුපියල් බිලියන 78ක්. ඒක 2016දී බිලියන 58ට කපලා, 2017දී බිලියන 51ට තව දුරටත් කපුවා. 2018දී වෙන් කරලා තියෙන්නේ බිලියන 43යි. මෙහෙම කැපුවොත් 2020 වෙද්දී පොදු ප්‍රවාහනයට මුදල් දෙන එක නවත්වන්නත් ඉඩ තියෙනවා. අපේ බදු සල්ලි අපේ ප්‍රවාහනයට වෙන් නොකලට ඒ ගොල්ලන්ගේ ප්‍රවාහනයට අත දිග ඇරලා වියදම් කරනවා. මැති ඇමති වාහන වලට රුපියල් කෝටි දෙක තුන වෙන් කරනවා. අගමැතිගේ වාහනයට විතරක් කෝටි 4කට ආසන්න මුදලක් වෙන් කළා, ගිය අවුරුද්දේ. ඉතින් මේ ගොල්ලෝ නියෝජනය කරන්නේ කාවද? මේ කොලොන්නාවේ දුක් විඳින පහල පන්තියේ අපිව නෙවෙයි. ඒ ගොල්ලෝ ධනපතියන්ගේ නියෝජිතයෝ.

නගර සභාව ගත්තත් එහෙමයි. දැන් මේ ලක්සඳ සෙවන මහල් නිවාස වල පදිංචි වෙලා ඉන්න ඔබ, මීට කලින් කොළඹ වෙන තැන්වල සිටි අය. ඔබගේ ඉඩම් බලහත්කාරයෙන් උදුරාගෙන, ගෙවල් බලෙන් කඩලා මෙතනට ගෙනත් දැම්මා. මෙතන ජීවත් වෙන්න පුලුවන්ද? ගෙදර සයිස් එක ආදී දහයයි, දහය. වර්ග ආදී සීයක හතර පස් දෙනෙකුට අතපය දිග අරගෙන නෙවෙයි, වකුටු වෙලාවත් ඉන්න පුලුවන්ද? මේ වේදිකාව ලඟට ආපු ඔබම කිව්වා, ඔබේ තත්වය. අපි අමුතුවෙන් කියන්න දෙයක් නෑ, ඔබ දන්නවා. වැසිකිලියේ ප්‍රමාණය ආදී තුනහමාරයි පහ. වැසිකිලියේ වාඩි උනොත් දොර වහන්න බෑ, කකුල් දොරේ වදිනවා. ඒ විතරක් නෙවෙයි, මේ ගොඩනැගිලි වල ප්‍රමිටිහ්යක් නෑ, ඉරි තලලා. ටික දවසකින් අපේ ඔලු උඩට කඩා වැටෙන්නත් ඉඩ තියෙනවා. ඔහොම තමයි ගෙවල් දුන්නේ. ඉන්න තැනින් එලෙව්වේ අනවසර පදිංචිකාරයෝ කියලා. දැන් ඒ ඉඩම් වලට මොකද උනේ? ඒවා සමාගම් වලට දුන්නා. මේ පාලකයන්ට වැදගත් පීඩිත ඔබව නෙවෙයි, සමාගම් තමයි වැදගත්. ධන කුවේරයෝ, සිටුවරු තමයි ඒ ගොල්ලෝ නියෝජනය කරන්නේ. කොළඹ විතරක් නෙවෙයි මොනරාගල ඇතිමලේ, මාලිගාවිල ගොවීන්ව පාරම්පරිකව වගා කරපු ඉඩම් වලින් එළවලා ඒ ඉඩම් සමාගම් වලට දෙනවා. ඔබට කියන්නේ අනවසර කියලා, ඔප්පු නෑ කියලා. ඒත් මේ කොළඹ දිස්ත්‍රික්කයේම මීපේ, හෝමාගම ප්‍රදේශයේ ඔප්පු තියෙන ඉඩම් උදුරාගන්නවා, අධි තාක්ෂණික කලාපයකට කියලා, සමාගම් වලට දෙන්න. ඕක තමයි ඉඩම් ප්‍රතිපත්තිය. මේ අය නියෝජනය කරන්නේ අපිව නෙවෙයි, ධනපතියන්ව, සමාගම් තමයි නියෝජනය කරන්නේ. මේ ලක්සඳ සෙවනේ ඉන්නවා මීතොටමුල්ලේ කුණු කන්දෙන් ආපදාවට පත් පවුල්. ඔබ දන්නවා මොන තරම් කාලයක් කුණු කන්දට එරෙහිව උද්ඝෝෂණය කලාද කියලා. එතකොට හැමදාම ගැහුවා. එක්සත් ජාතික පක්ෂයත් ගැහුවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ගැහුවා, ඔය පොහොට්ටු අරන් එන මහින්ද ආණ්ඩුවත් ගැහුවා. ජේ වී පී එක ගහන්න දීලා කට වහගෙන හිටියා. ඔබට ලේබල් අලවලා ගහන එක සාධාරණීකරණය කළා. අද ඡන්දේ ඉල්ලගෙන එන කවුරුත් එදා ඔබව නියෝජනය කළේ නෑ. හෙට නියෝජනය කරයි කියලා විශ්වාස කරනවද? අන්තිමේදී කුණු ගොඩට යටවෙලා මිනිස්සුන්ට මැරෙන්න උනා. එතකොටත් ඔය කවුරුත් හිටියේ නෑ. ඔබ දන්නවා කවුද හිටියේ කියලා. නගර සභාවට ගිය අය කරලා තියෙන්නේ ඔබව නියෝජනය කරන එක නෙවෙයි, කුණු ගොඩෙනුත් හම්බ කරන එක. කුණු කන්ද කඩා වැටීම සම්බන්ධ කොමිෂන් වාර්තාව අද නිකුත් උනා. ඒකේ කියනවා, මේ ප්‍රශ්නයට කොළඹ මහනගර සභාව වග කියන්න ඕන කියලා. කුණු ප්‍රතිචක්‍රීයකරණය කරන්න විදියක් නෑ, සල්ලි නෑ කිව්වා. ඔබ දන්නවද 2014 අවුරුද්දේ කුණු ටික එකතු කරලා ගෙනත් කොලොන්නාවේ ගොඩ ගහන එකට නගර සභාව වියදම් කරලා තියෙනවා රුපියල් දසලක්ෂ 64ක්. 2015 අවුරුද්දේ වියදම් කරලා රුපියල් දස ලක්ෂ 182ක්. 2016දී වියදම් කරලා දසලක්ෂ 232ක්. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 2320ක්. රුපියල් කෝටි 23ක් විතර. නගරසභාව අපේ බදු සල්ලි පුජා කරකර පොහොසත් කරලා තියෙන්නේ සමාගම්. අන්තිමට අපට උනේ කුණු ගොඩට යටවෙලා මැරෙන්න. එදා ජීවිතේ බේරුණු අයට සිදුවුනේ තමන්ගේ මුළු සේසතම අත හැරලා ඇවිත් මේ දහයයි දහයේ හුන්ඩුවේ හිර වෙන්න. මේ විනාශය කරපු අය, ඉදිරියේදී මීටත් වඩා විනාශයක් කරන්න යන අය අපේ නියෝජිතයෝද? නෑ, ඒ ගොල්ලෝ ධනපති නියෝජිතයෝ. කොම්පැනි නියෝජිතයෝ. අඩුම ගානේ මේ ප්‍රශ්න කතා කරනවද ඔය ඡන්ද හිඟාකන හාදයෝ? නෑ, ඒ ඇත්ත ප්‍රශ්න මතක් කරන්නේවත් නෑ. කියන්නේ හොරු අල්ලනම් වගේ පරණ, යල්පැනපු, අවුරුදු තුනකට කලින් පොරොන්දු වෙලා ඒ ගොල්ලොම නොකරපු දේවල්. ඒ ගොල්ලෝ ඔක්කොම මේ විනාශයේ වග උත්තර කරුවෝ. ඒ නිසා අලියටවත් බුලත් කොලේටවත් පොහොට්ටුවටවත් සීනුවටවත් කතිර ගහලා මේ විනාශය වලක්වන්න බෑ. මේ මැතිවරණ ගුණ්ඩු වලට රැවටෙන්නත් එපා.

එහෙනම් මොකද කරන්නේ? පහල පන්තියේ ජනතාව වන අපට අලුත් අයිතීන් දිනා ගැනීම කොහොම උනත් තියෙන සොච්චම රැක ගන්න වෙන්නෙත් ජනතාවගේම හයියෙන්. ජනතාව සංවිධානය වෙලා. ජනතාව සටන් කරලා. වෙන ක්‍රමයක් නෑ. නියෝජිතයෝ ගැන විශ්වාස කරලා වැඩක් නෑ. ඡන්දෙන් යන අය මේ ඇත්ත ප්‍රශ්න නියෝජනය කරන්නේ නෑ. පස්සේ කාලෙක හරි ඇත්තම නියෝජිතයෝ හොයා ගන්න වෙන්නෙත් දැන් අපි සංවිධානය වෙලා, අරගල කරලා, ඒ ක්‍රියාවලිය ඇතුලේ. අපි ඡන්ද ගුණ්ඩු වලට නොරැවටෙනවා වගේම අයිතීන් උදෙසා නැගී සිටිමු. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආවේ අනේ අපිට ඡන්දයක් දෙන්න කියකිය හිඟා කන්න නෙවෙයි. අන්න ඒ කතාව ඔබට කියන්න. අපි අලුතින් අඳුනා ගන්න දෙයක් නෑ. අපි එකිනෙකා දන්නවා. මීතොටමුල්ලේ කුණු කන්දට එරෙහිව අප එකට වැඩ කරලා තියෙනවා. ඔබේ ඉඩම් ගෙවල් උදුරා ගෙන ඔබව ගහලා එලවදී අපි එකට වැඩ කරලා තියෙනවා. මේ තියෙන ප්‍රශ්න වලදීත් අපි එකට වැඩ කරමු. මැතිවරණ උගුලේ අහුවෙලා බෙදෙන්නේ, අසමගි වෙන්නේ නැතිව ශක්තිමත් මහජන ව්‍යාපාරයක් ගොඩ නගමු.'

 

Add comment


Security code
Refresh