Breaking News

කපිතාන් රෝහිතගේ ගිලෙන නැවෙන් මීයෝ පනී.

රෝහිත අබේගුණවර්ධන ගේ සභාපතිත්වයෙන් ආරම්භ කරනු ලැබූ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් ගිලෙන්නට යන නැව අත්හැර මීයන් යන්නා සේ එහි සාමාජිකයන් ඉල්ලා අස්වෙමින් පවතී. මාර්තු 20 වනදා වන විට කෝප් කමිටුවේ සාමාජිකයන්ගෙන් දහ දෙනෙකු ඉල්ලා අස්වී තිබේ.

මෙසේ කෝප් කපිටුවෙන් සාමාජිකයන් ඉල්ලා අස්වන්නේ ආණ්ඩුවට සහ එහි සභාපති ධුරයට පත්වූ රොහිත අබේගුණ වර්ධනට විරෝධය පෑම සඳහාය.

කුමක් සඳහාද මේ විරෝධය

කෝප් කමිටුවේ නව සභාපතිවරයාට සහ මෙතෙක් පැවතී සම්ප්‍රදාය වෙනස් කරමින් ආණ්ඩු පක්ෂයේ කෙනෙක් කෝප් කමිටු සභාපති ධුරයට පත් කිරීමට එරෙහිව එහි සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වූ පළමු පුද්ගලයා වන්නේ සමග ජන බලවේගයේ ඉරාන් වික්‍රමරත්නයි.

ඉන් අනතුරුව විටින් විට දවස් තුනක් ඇතුළත සාමාජිකයින් දහදෙනෙකු ඉල්ලා අස්වී තිබේ.මෙසේ ඉල්ලා අස්වු සියලු සාමාජිකයන් විපක්ෂය නියෝජනය කරන සාමාජිකයන් වීම විශේෂත්වයකි.

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ අරමුණ වන්නේ රාජ්‍ය සහ අර්ධ රාජ්‍යය ආයතන වල මූල්‍ය විනය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය පියවර ගැනීමයි.

රෝහිත අබේගුණවර්ධන කෝප් කමිටු සභාපති ධුරයට වත්කිරීමට විරෝධය එල්ල වන්නේ ඔහුට එරෙහිව මූල්‍ය වංචා දූෂණ චෝදනා එල්ල වී තිබීමයි. මේ පිළිබඳව චෝදනා එල්ල කරන බොහෝ පිරිසක් ප්‍රකාශ කර සිටින්නේ එවන් චෝදනා ඇති පුද්ගලයකු සභාපති ධුරය දරන කෝප් කමිටුව වැනි තැනකට රාජ්‍ය ආයතනවල නිලධාරීන්ව කැඳවා සදාචාරාත්මකව ප්‍රශ්න කරන්නේ කොහොමද කියන එකයි.

2016 අල්ලස් හෝ දූෂණ කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කළ නඩුවට අදාළ දූෂණ චෝදනාව රුපියල් මිලියන 40කට වැඩිය.ඊට අමතරව තවත් නීති විරෝධී මූල්‍ය ගනුදෙනු ගනුදෙනු 60කට වැඩි ප්‍රමාණයකටද මොහු චෝදනා ලැබ තිබේ.කිසිදු විමර්ශන කටයුත්තක් නිසියාකාරයෙන් අවසන් කර නොමැති අතර විවිධ හේතු මත මේවා අතරමග නවතා දමා තිබේ. එක් අවස්ථාවකදී අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව සිටි රෝහිත අබේගුණවර්ධන නයෙක් දෂ්ට කලා එයයි පවසා අධිකරණයේ පෙනී නොසිටි අතර ඒ හා සම්බන්ධ අධිකරණ කටයුත්ත තාම අවසාන වී නොමැත.

ඉතින් මෙවැනි වටපිටාවක් යටතේ තමයි අබේගුණවර්ධනගේ සභාපතිත්වයෙන් යුතු කොප් කමිටුවේ සාමාජිකයන් සමාජිකත්වය අතහරිමින් ඉවතට යන්නේ.

 

leave a reply