24
Wed, Jan

කවිය

ලියනගේ අමරකීර්ති ඇදුරුතුමාට අනූව තැන්නේ හාමුදුරුවන්ගේ කවි, ''මැදිහත්වීම්වාදි කවි''. වැඩිදුරටත් ඒ අදහස තහවුරු කරන ඔහු පෙන්වා දෙනවා ඒ කවිවල තියෙන විශේෂත්වය කවිය නොකියා කවිය පාඨකයාට ම කියවගන්න ඉඩ ඇරලා බලාගෙන ඉඳිම,

එහෙමත් නැත්තම් මෙන්න මෙතන කවියක් තියෙනවා, ඒක ඇතුලේ කතා කරන්න දෙයක් තියෙනවා කියලා පැත්තකට වීම. ප්‍රශ්නයක් ගැන කවි පේලියකින් කතා කරලා ඒක පාඨකයාට පෙන්නලා දීලා, කවිය හා පාඨකයා අතරට මැදිහත්වීමක් කරලා පැත්තකට වෙලා වෙන දේ මොකද්ද කියලා බලාගෙන ඉන්න එක..

''රස්තියාදු සාදු'' තැන්නේ හාමුදුරුවන්ගේ දෙවෙනි කවි පොතේ පෙරවදනේ අමරකීර්ති ඇදුරුතුමා, තැන්නේ හාමුදුරුවන්ගේ කවිය නම් කලේ එහෙම. ඉතින් මං හිතන්නේ මේ කවි පොත් දෙකෙත් ඇත්තේ ඒ වගේ කවි.
තැන්නේ හාමුදුරුවන්ට හුඟක් අය බැන්නා. බනිනවා. ඒ සිස්ටම් එක ප්‍රශ්න කරන නිසා. සිවුරේ ඉදගෙන සිවුරම ප්‍රශ්න කරනවා කියලා. මොන කුහකකමක්ද ඒක. ''සාසනෙන් කාල සාසනේට අරිනව කියල බැණුම් ගොඩයි. විඳ විඳ ප්‍රතික්ශේප කරනව කියලත් ඔය කියන්නේ''
(ඇමිණුම 1 බලන්න)
....................................
(පොඩි එකාගේ කවි)
සුනාමියට ගං වතුරට
නොසැලි හිටියට
බුදු සාදු
තඹ කූරක් ඇයි සිරසට
බයයි නේද අකුණුවලට
....................................
(උපන් දා සිට කරපු පව් නැත)
මොන රෙද්දක්ද?
පව් නොකර බෑ ජීවත්වෙන්ඩ
මං යනවා කැලණියේ
පදිංචිවෙන්ඩ
....................................
(පොඩි එකාගේ කවි)
බුදු ගේ වටේ
බලු පැටව්
බඩගින්නේ කෙඳිරි ගානවා
කෑම ගොඩ ගහගෙන
කන්නෙත් නෑ
දෙන්නෙත් නෑ
පිළිම බුදුසාදු
හොඳ නෑ
....................................
(පන්සලේ CCTV )
සීලේ
ආරක්ෂාවට
තුන්දොර
රැකුමට
....................................
(අපේ හාමුදුරුවනේ)
මණ්ඩපේ විසිතුරුයි
වේදිකාවත් උසයි
දේශනා තව උසයි
මිටි උන්ට නොම පෙනෙයි
බිමට වැඩියොත් හොඳයි
....................................
(යුද්දේ)
හන්දි හන්දි ගානේ
පන්සල්, පල්ලි, කෝවිල්වල
සද්දේ
ඒ වුනාට
තිස් වසරයි
යුද්දේ
....................................
(පෙරහැරේ අලියෙක්මි)
කරඬුව කර තියන්
පාවඩ මැද්දෙන්
විලමෙලා අස්සෙන්
පෙරහැරේ
හිරකළ කූඩුවේ
යදම් බැඳි දෙපයේ
වේදනා කෙඳිරියේ
හඬ නෑසෙන්නේ මිතුරේ
සද්දේ හින්දද බෙරේ
පින්වතුන් සාදු දී
වැන්දාට පව් ගොඩේ
ඉක්මන්ට නිවන් යන්
නැත්තම් මළ වදේ
....................................
මං හිතන්නේ ගෙදර ප්‍රශ්න ගැන හරියටම දන්නේ ගෙදර මිනිස්සු. රට්ටුන්ට කියන්න පුලුවන් තමන් දකින, අහන දේ විතරයි. ඒ නිසා සිස්ටම් එක ප්‍රශ්න කරන්න පුලුවන් ඒකේ ඇතුලේ ජිවත් වෙන කෙනාට. සිස්ටම් එක ඇතුලේ ජිවත් වෙන නිකම්ම කෙනෙක්ටත් වඩා ඒකේ ජීවත්වෙන කලාකරුවෙක්ට තියෙන වගකීම වැඩියි.
මේ කවි ඇතුලේ තියෙන්නේ ඒ අමරකීර්ති ඇදුරුතුමා කීව විදියට මැදිහත්වීම්වාදි ලක්ෂණය නෙමෙයිද?
හාමුදුරුවෝ සමාජය ගැන, පාලන ක්‍රමය ගැන කියන්නේ මෙහෙමයි.
''ආණ්ඩු නෙමෙයි රට පෙරලලාහරි මිනිස්සු ඉල්ලීම් දිනාගන්න ඕන.... ජාති ආගම් මුල්කරගෙන ජාතිවාදය අවුස්සන්න එන ජාති ආගම් අතුගාලා දාන්න ඕන.. ''
හාමුදුරුවන්ගේ අරගලය හැමදාම තිබුණේ මිනිස්සුන්ගේ ප්‍රශ්න එක්ක. හැම කවියකම වගේ ප්‍රශ්නයක් ගැට ගැහුණු අකුරු තිබුණේ ඒ නිසා කියලයි මං දකින්නේ.
....................................
(සරුංගල් ජීවිත)
නූලෙන් පාලනය
වාතෙන් දෝලනය
....................................
(බබෙක් ඕන් නෑ අනේ)
....
....
...
ගෙවල් ජොබ් කාර් හීන
කන්දක් දරන්
ආදරේ කරන උන් විකාරයි
මටනම්
මගුල් පෝරුවත්
පෝරකය වෙලා දැන්
බබෙක් ඕනිමනම්
මං බබා වෙන්නම්
....................................
(උන්ගේ නීතිය)
ධනපතියෝ ළඟ අන්ධයි
දුප්පත් උන්ව අන්දයි
....................................
(නිදහස් අධ්‍යාපනය)
සාමා අමර !
ඉක්මනට එන්න අර බලන්න
සල්ගහ කපන්න
කට්ටියක් ඇවිත්
....................................
(කුණු ජීවිත)
කුණු කන්ද ඉවත් කරන ලෙස ඉල්ලුවාම, කුණු කන්ද අවට ඇති නිවාස ඉවත් කිරීමට යයි. - පුවතක්
උඹලට ලොකු කුණු කන්ද
අපට ලොකු පණ කෙන්ද
....................................
(විප්ලවය)
එක එකා ඇවිත් ඔබනවා
අපිත් ඔහේ බලා ඉන්නවා
ගනින් රිමෝට් එක
දාගනින් උඹට ඕන එක
....................................
(හීලෑ සහ කැලෑ)
විදුලි වැටවල් අතර
නිර්වින්දනය වී
බඩගින්නේ
කැලෑවේ උන්
හීලෑ කරපු උන්
පාවඩ උඩින්
සටහන නිමාකරන්නට මං උන්වහන්සේගේ ම කවියක් ලියා තියන්නම්. අපි දෙසැම්බර් 02 වෙනිදා උන්වහන්සේගේ කවිය වෙනුවෙන් පුංචි ඉඩක් වෙන්කරමුද?
(පොඩි ඉඩක් දෙනවද)
අසංවර වුනාට
මං නිවන් දකින
ඔය හිත් ඇසතු රුක මුල
වාඩිවෙන්නද?
පොඩි ඉඩක් දෙනවද?

- චතුරංග දිසානායක -

Add comment


Security code
Refresh