Breaking News

ගෝඨා ගෝ හෝම් (Gota Go Home)අරගලයට දර්ශනයක් හා දිශාවක් තිබේ ද?

අරගලයට දර්ශනයක් හා දිශාවක් තිබේ ද? 1

අරගලයට පිටුවක්

මේ මොහොතේ ලංකාව තුල සිදුවන යුක්ති සහගත අරගලයට සිතින් හා ගතින් යුතුව දායකවන මිනිසුන් වෙනුවෙන් හා ඔවුන්ගේ වේදනාව හා අධිෂ්ඨානය වෙනුවෙන් ඉතා කෙටියෙන් යමක් කිව යුතුයි කියා හිතනවා

ඉතිහාසය විසින් සිදු වෙන සහ සිදු කරන දේවල් හේතුවෙන් අනාගතය තීරණය වෙනවා වගේම වපුරන හැටියට තමයි අස්වැන්න කියා කියමනක් ඇති බව ද මතක් කළ යුතුයි. ඉතිහාසයේ එක එක කාලවල එක එක අය එක එක විදිහට වැපුරුවත්, අස්වනු නෙලුවත්, අද රාජපක්ෂ පවුල වපුරපු දේවල් වල අස්වැන්න මේ විදිහට නෙලා ගන්න පුලුවන් වෙයි කියලා කවුරුවත් හිතුවේ නෑ. එහෙම හිතපු අය වුණත් මේ තරම් ඉක්මනට අඩු මාසෙන් නෙලා ගනියි කියලා හිතුවේ නෑ.

නමුත් මේ අය, මේ රාජපක්ෂ කඳපුණු කල්ලියට මරණින් මතුව අස්වනු නෙලා ගන්න ඉඩ නොදී, මෙලොවදීම, දිට්ඨ ධම්මවේදනීය ලෙස කරපු දේවල්වලට දඬුවම් ලැබිය යුතු බව තේරුම් ගැනීමට ඉඩකඩ සැලැස්සුවේ කවුද. ඒ ඔවුන් විසින්ම වීම මොන තරම් දෛවෝපගත ද, මොන තරම් සරදමක්ද. ඒ සරදම තමයි මේ රටේ අති බහුතරයක් ජනයාව පෙළිමට, වේදනාවට ලක් කරපු පාපය. මේ රට කැත කරපු එක. මේ රට කාලකන්නි තත්තවයට අදලා දාපු එක.

අද පක්ෂ පාට වර්ගභේදයකින් තොරව පාරට බැහැලා මේ අරගලයට ඇවිත් ඉන්න රට වැසියන් වන සැම කෙනෙකුටම මේ මොහොතේ සිට ඉතා බැරූරුම් වගකීම් ගණනාවක් තියෙනවා.

ඉදිරියේ දී යුක්ති සහගත සාධාරණ අපේක්ෂාවක් සහිත ජයග්‍රණයක් ලැබීමට නියමිතව ඇත්තේ අරගලයට ආත්මීයට සම්බන්ධ වුණොත් පමණයි. අරගලයට බුද්ධිමත්ව සම්බන්ධ උනොත් පමණයි.

ඒ ආත්මීය බවත් එක්ක ඔබට ඔබ විසින්ම ලබාදෙන වගකීම වන්නේ තමන්ගේ හෘද සාක්ෂයයි. ඒ හෘද සාක්ෂියට අනුව හැසිරෙන්න. නිර්භීත වන්න. හැම විටම නිවැරදි වන්න. ඒත් සමගම සාමූහික වන්න. ආදරණිය වන්න. අවිහිංසාව එකම ආයුදය කර ගන්න.

මේ රට කැත කරපු, හපකර දැමූ හොර තක්කඩියන්ට විතරක් නොව, දඬුවම් ලැබිය යුතු හා වගකිය යුත්තන්ට පැන යෑමට හෝ ඔබව නැවතත් රැවටවීමට මේ අරගලය මොනම විටකවක් ඉඩ නො තබන්න.

මේ අවස්ථාව වන විට වචන වලට වඩා ක්‍රියාකාරිත්වය වැදගත් බව ඇත්ත. ඒත් ඒ ක්‍රියාකාරීත්වයට යොහාරී ජනේලයක් අවශ්‍යව ඇත. දුර දක්නා නුවණක් මෙන්ම මානවවාදී හෘද සාක්ෂියක් අවශ්‍ය මොහොතකි. එය අරගලයේ පදනම විය යුතුය. එය නොපෙනේ එහෙත් එහි ගුණය හා තිරසාරත්වය එහි ක්‍රියාකාරිත්වය තුලට එකතු කළ යුතුය.

විවිධ අදහස් දිරි ගැන්වීම්, යෝජනා හා බලාපොරොත්තු ඇතුලත් විවිධ ජන හඬක් එක් දිශාවකට යොමු වී ඇති බව පෙනෙන්න තිබුණත්, අපට තවමත් විසඳුමක් නැති ප්‍රශ්නයක් ඉතිරි කර ඇත. ඒ තමයි. රාජපක්ෂලා එලවා දමා කරන්නේ කුමක් ද යන්න ගැන.

කුමක්ද කරන්නේ යන්නට වගකීම ඇත්තේ ද මේ ජනයා සතුව වුවත් එය ඔබට මට අපිට නියෝජනය කළ හැකි ද යන කාරණය ප්‍රශ්නාර්ථයක් නේ ද

එම නිසා මේ අරගලය නිර්පාක්ෂික වුවත්, මෙහි ඇති ජීවයට හා ගුණයට දේශපාලනයක් ඇත. එම දේශපානය නැවතත් පරණ ආකෘතිය තුලට ගමන් කරන ආකාරයක් වගේම අරගයේ සටන් පාට සමස්ථයේ අවසානයෙන් ද පෙනෙනවා නේද

මේ නිසා මේ මහා ජන නැගීටීමට මේ මොහොතේ මෙන්ම ඉස්සරහට දායකවන්නන්ට විශාල වගකීමක් ඇත. මෙය හුදු රංගනයක් නො වන්නටත්, සූත්තියක් නො වන්නටත්, වගබලා ගතයුතු වේ. මෙය නිර්පක්ෂික වුවත් මෙය එක් මහා පොදු සාධකයකට පාක්ෂික විය යුතු ය. එය අද දවසේ ඇති නව දේශපානයයි. නව වෙනසයි. නව විපරිවර්තනයයි. නව විප්ලවය යි.

එම දේශපාලනයට දැක්මක්, දර්ශනයක්, සැලැස්මක් හා විනයක් සහිත විශ්වාසයක් අවශ්‍ය වන්නාක් මෙන්ම සාකල්‍යවාදී නායකත්වයක් අවශ්‍යයි.

දැනට එවැන්නක් තිබේද.

මේ තුල ඉතාමත් කුමන්ත්‍රණකාරී විෂබීජ ලංකාව තුල මෙන්ම රටින් පිටත් ක්‍රියාත්මක වන බව හොඳට කල්පනා කළ යුතු වේ. ඒ කුමන්ත්‍රණ රාජපක්ෂලා එලවා දැමීමට උදව් දෙමින් ක්‍රියාත්මක වුවත්, ඔවුන්ට උවමනා වී ඇත්තේ අප රටේ ජනයාගේ අභිලාසය නො වන බව සිහි තබා ගත යුතු ය.

මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වීමට බලාපොරොත්තුවෙන් මගේ මේ කුඩා දායකත්වය මෙසේ තනි මිනිසෙකු ලෙස ඔබ හමුවේ තබමි.

අරගලය අයිතියක්. යුක්තිය උදෙසා අරගලයක්. අරගලය සාමූහිකයක්.

පෙරටම යන්න. වඩ වඩාත් නැවරදි වන්න

රටට, ඔබට අපට ජය

යුක්තිය ලබාගන්නා තුරු අරගලට ජවය රැගෙන තවත් කෙටි අදහසකින් ඔබ හා රැඳෙමි.

උදය ආර් තෙන්නකෝන්

leave a reply