Breaking News

“සරසවි සිසුන් සහ ජනතාවගේ අවධානයට..”

වසන්ත මුදලිගේ

පසුගිය 20 වන දින අන්තරේ නව කැඳවුම්කරු පත්කිරීම සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ සංවාදයක් මතු වූ නිසා ඒ සම්බන්ධව අදහසක් ඉදිරිපත් කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය යැයි හැඟේ.

අන්තරේ කැඳවුම්කරු පත්කිරීම සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව අ.වි.ශි.බ.ම නියෝජිත ආයතන වල අදහස අනුවයි. විශ්වවිද්‍යාලවලත් මහා ශිෂ්‍ය සංගම් වලත් දින ගණන් සංවාද, වාද විවාද මැද වඩාත් සුදුස්සෙක් පත් කිරීම තමයි මේ වන තෙක්ම අන්තරේ පැවති සම්ප්‍රදාය. එය අන්තරේ අභ්‍යන්තර සංවිධානමය කාරණයක් වන නිසා මාධ්‍යවලට හෝ සමාජ මාධ්‍ය වලට දැනුම්දීමේ සම්ප්‍රදායක් මීට පෙරද පැවතියේ නැත. මාධ්‍ය වලට දැනුම් නොදී සිටීම වැනි තීරණ ගැනීමට සිදුවන අත්දැකීම් ගොන්නක්ම ඉතිහාසය විසින් ශිෂ්‍ය ව්‍යාපාරය පසු කර ඇත. අන්තරේ කැඳවුම්කරුවන් දිගින් දිගට ඝාතනය කිරීම, ඉදිරි පෙළ ක්‍රියාකාරීන්ට සිදුවන මර්දනය, විශේෂයෙන්ම ඉදිරි පෙළ ක්‍රියාකාරීන් සැලසුම් කොට ඝාතනය කිරීම වැනි කාරණා 80 දශකයේදී ඕනෑ තරම් සිදු වී ඇත. මෑතකාලීන 2012 වර්ෂයේදී මාතලන් සහෝදරයා ඝාතනය කෙරුණේ අන්තරේ කැඳවුම්කරු වගකීමට පත් වීමට වැඩි ඉඩක් ඇති බවට වූ සැකය නිසා බවටද සාකච්ඡාවක් ඇත.

අන්තරය ආරම්භක මොහොතේ සිට මේ දක්වාම ලාංකීය දේශපාලනය තුළ ඓතිහාසික මැදිහත්වීම් විශාල ප්‍රමාණයකට සම්බන්ධ වී ආණ්ඩු දණගස්වා, පාලකයන් පුටුවලින් එළවා දමා, අධ්‍යාපනය – සෞඛ්‍ය ඇතුළු ජනතා අයිතීන් වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කොට ඇත. පසුගිය ජනතා අරගලය තුළ සංවිධානාත්මක දේශපාලන කාර්යභාරයකට උර දෙමින් අරගලය ජයග්‍රහණයට ගෙනයාමට අන්තරේ මැදිහත් වූ අතර එහි නායකයින් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා මාස ගණනක් සිර ගත කරන ලදී .එනිසාම ඕනෑම ආණ්ඩුවක් අන්තරේට පහර ගැසීමටත්, මර්දනය කිරීමටත්, අවශ්‍ය නම් ඝාතනය කිරීමටත් නොපසුබට වන්නේ නැති බව ඓතිහාසික අත්දැකීම් වලින් ඉතාම පැහැදිලිය.

මෙවැනි පසුබිමක අභ්‍යන්තර කාරණා අනවශ්‍ය මට්ටමින් සමාජ මාධ්‍ය වෙතත්, ආණ්ඩුවේ වෙබ් පිටු වලටත් සැලසුම් සහගතව පිරිසක් විසින් මුදාහැරීමට කටයුතු කිරීමම ගැටලුකාරී තත්ත්වයකි. එය අවශ්‍ය වූයේ කාටද?

සාමාන්‍යයෙන් සිදුවන්නේ නව කැඳවුම්කරු පත්කර මාධ්‍ය හමුවකින් ඔහු හඳුන්වා දීමයි. නමුත් මෙවර අන්තරේ කැඳවුම්කරු වගකීමට යෝජනා කැඳවීමේ පටන් ඇතැම් පිරිස් සංවිධානාත්මකව ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කිරීමට කටයුතු කර ඇත.
ඒ අතර,

????14 වන දින අන්තරේ කැදවුම්කරු පත් කරන බව දැනුම් දුන් සාකච්ඡා මාධ්‍ය හා සමාජමාධ්‍ය වෙත මුදා හැරීම.

????20 වන දින නව පත්කිරීම සිදු කිරීමට අදාළ ක්‍රියාවලිය මාධ්‍ය වෙත මුදාහැරීම

????නව කැඳවුම්කරුවන් ලෙස අන්තරේ ඉදිරිපෙළ ක්‍රියාකාරීන් උපකල්පිත මත පින්තූර සමග සමාජ මාධ්‍ය වෙත මුදාහරිමින් ඔවුන්ට අනවශ්‍ය තර්ජනයක් හා අවදානමක් ඇති කිරීම.

????හිතලුවක් ලෙස ගෙන නව පත්කිරීම කැලණියේ සිදුකරන බව සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම.
ඇතැම් සිදුවීම් විකෘති ලෙස නිර්මාණය කර අන්තරේ අවදානමකට ඇද දැමීමට අවශ්‍ය වුණේ කාටද? ඒ සඳහා කූඨ දේශපාලන සැලසුම් පැවතියේ කාටද ? ඒ තුළින් ආණ්ඩුවේ මර්දනීය ඇස අන්තරේ දෙසට හැරවීමට අවශ්‍ය වුණේ කාටද ? මේ හරහා ආණ්ඩුවට, ආණ්ඩුවේ ඔත්තු සේවා වලට හා සතුරාට තොරතුරු ලබා දීමේ අවශ්‍යතාවය පැවතියේ කාටද? යැයි අවබෝධයෙන් විමසිය යුතුය.
මේ හරහා අන්තරේ කැදවුම්කරු පත් කිරීමේ සංවිධානමය ක්‍රියාවලිය රාජ්‍ය ඔත්තුසේවා වලට මුදා හැර එය අවුල් කිරීමේ සූදානමක් පැවතුණි. එය හොදින්ම තහවුරු වූයේ 18 දින කැළනිය සරසවිය ඉදිරිපිට විරෝධතාවයේදී මා අත්අඩංගුවට ගෙන රාගම පොලිසියේදී ASP නිළධාරියා “නිළවරණය නේද? දැන් මොකද වෙන්නේ? ලෙස අසා මාස ගණනක් සිර කිරීමට අදාළව B වාර්තා පොදු දේපළ පණතින් සකස් කිරීමෙනි.

තවද කැළණිය විශ්වවිද්‍යාලයට පොලීසිය සිය ගණනක් පැමිණ වට කෙරූ බව පසුගිය දිනවල අප අත්දැකීමෙන් දුටුවෙමු. තවත් විශ්ව විශ්වවිද්‍යාල කීපයකටත් පොලිස් මැදිහත්වීම් කළ යුතු බව ටිරාන් අලස් පවසා ඇත. දැන් දැන් සරසවි අවට අනවශ්‍ය පොලිස් මැදිහත්වීම් සිදුවන නිසා පෙරේදා දිනයේදී බොහෝ විශ්ව විද්‍යාලවල විරෝධතා දැක්වීමට පවා සිදුවුණි. මෙලෙස ටිරාන් අලස් හා ඒකාබද්ධව මෙම ගැටලු ඇති කිරීමේ අවශ්‍යතාවය පවතින්නේ කාටදැයි විමසීමෙන් බැලිය යුතුය . ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු කුමක්දැයි අවබෝධයෙන් වටහා ගත යුතුව ඇත. එමෙන්ම මෙවැනි පටු දේශපාලන ව්‍යාපෘති වලට ශිෂ්‍ය ව්‍යාපාරය ගොදුරු වීමට ඉඩ නොදීමට සියලු සරසවි සිසුන් වගබලා ගත යුතුය.

කොතෙකුත් බාධක මැද වුව අන්තරේ ලේ දහඩිය කඳුළු මතින්, අතිශය දුෂ්කර කොන්දේසි තුළත් ජනතාවගේ පැත්තේ සිට ගනිමින් සෑම මොහොතකදීම සටන් කර ඇත. ඉදිරියට ද එය එසේම බව අන්තරේ වඩ වඩාත් සපථ කරනු බව අවිවාදිතය.

  • ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට ජය –

leave a reply