26
Thu, Apr

විශේෂාංග

1917 රුසියානු විප්ලවය පිලිබඳ විශිෂ්ටතම වාර්තා චිත‍්‍රපටය Tsar to Lenin (සාර් ටු ලෙනින් ) ඩීවීඩී අනුසාරයෙන් මේරිං පොත් ප‍්‍රකාශකයින් විසින් නිකුත් කරයි

මෙහි පලකරන්නේ 2012 ජූලි මස 5 දා මේරිං පොත් ප‍්‍රකාශකයින් විසින් 20 වැනි සියවසේ විශිෂ්ටතම වාර්තා චිත‍්‍රපටයක් වන සාර් ටු ලෙනින් (Tsar to Lenin) ඩීවීඩී තැටිය නිකුත් කරනු ලැබීම නිමිත්තෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් තබන ලද සටහන යි.


***
සාර් ටු ලෙනින් Tsar to Lenin යනු 20 වැනි සියවසේ නිර්මානය කෙරුනු අතිශයින් ම වැදගත් චිත්‍රපටිවලින් එකකි. එහි විෂය වනනේ 1917 රුසියානු විප්ලවය යි. මානව ඉතිහාසයේ ගමන් මග වෙනස් කල සිදුවීම්වල සාක්ෂිකරුවකු වීම පිලිබඳ විස්මයජනක හැඟීම කිසි විටෙක නරඹන්නා හැර නොයයි. පැය 24 පුරා හැම තැන ම සිදු කෙරෙන සජීව විකාශය සහිත රූපවාහිනියේ යුගයට පෙර, ඉතිහාසය හසු කරගෙන සිනමා පටල මත සංරක්ෂනය කිරීමෙහි කිසියම් ඉන්ද්‍රජාලික යමක් පවැතියාක් බඳු ය.

Tsar to LeninTsar to Lenin FILM එක නරබන්න

tsar to lenin draft

මේ අසාමාන්‍ය වාර්තා චිත‍්‍රපටය වනාහි, සුප‍්‍රකට ඇමරිකානු රැඩිකල්වාදී හා සමාජවාදී මැක්ස් ඊස්ට්මන් (1883-1969) සහ ලෝක ඉතිහාසයෙහි යුග කාරක සිදුවීමක් පිලිබඳ ශ්‍රේෂ්ඨතම සිනමාත්මක වාර්තාව ගොනු කල රුසියාවෙහි උපන් සංක‍්‍රමනිකයකු වූ හර්මන් ඇක්සල්බෑන්ක් (1900-1979) අතර සිදු වූ සංකීර්න වූ ද මතභේදාත්මක වූ ද සහක්‍රියාකාරීත්වයක ප‍්‍රතිඵලයකි.

Love and Revolution: My Journey through an Epoch (ප්‍රේමය සහ විප්ලවය: යුගයක් හරහා මගේ ගමන) නමැති සිය මතක සටහන තුල ඊස්ට්මන්, චිත‍්‍රපටයෙහි මූලාරම්භය හා නිර්මානාත්මක ක්‍රියාවලිය පිලිබඳ සජීවී විස්තරයක් ඉදිරිපත් කලේ ය.

1928 ශරත් සෘතුව අග භාගයේ දී හර්මන් ඇක්සල්බෑන්ක් නමැති තරුනයෙක් - අනුන් ඒත්තු ගැන්වීමට සමත් තරුනයෙක් - මා හමු වීමට පැමිනියේ ය. ඔහු පුලුල් හා මිටි අයෙකි. මුහුන පුරා රැවුල වැවුනු හෙයින් නිතර ම ඔහුගේ නිකට [රැවුල බෑම නිසා හටගන්නා] නිල් පැහැයෙන් යුතු විය. හිසකෙස් කෙටි ව කපා තිබුනු හිස ඔහුට - ඔහුගේ දෙඇස්වලට හැර - බෙහෙවින් බැරෑරුම් පෙනුමක් ගෙන දුන්නේ ය. ඔහුගේ ඇස් තද නිල් පැහැ ද උනුසුම් ද වූ අතර ඔහුගේ අධ්‍යාත්මයෙහි උදාරත්වය පිලිබඳ ඒත්තුගන්වනසුලු විය. තව ද මනුෂ්‍ය වර්ගයාට අතිශයින් වටිනා යමක් ඔහු සන්තකයෙහි විය: රුසියානු විප්ලවයෙහි බරසාර සිද්ධීන් හා පුද්ගලයින් පිලිබඳ ගොනු කෙරුනු වැදගත් සිනමා පටල සියල්ල නැතහොත් ඒවායින් වැඩි කොටස ඔහු සතු විය. ඔහු තුල පරිකල්පනයේ ප‍්‍රභාවක් හා සිය අභිමතාර්ථ සම්බන්ධයෙන් නොදැමුනු මුරන්ඩුකමක් තිබූ අතර එය අන් අයගේ අභිමතාර්ථ සම්බන්ධයෙන් දක්වන පරිනත සැලකිල්ලක් සමග ඒකාබද්ධ විනි නම් සුධීමතකු පිලිිබඳ අදහසට ගැලපෙනු ඇත. 1920 පටන් නොනැමෙන ශක්තියකින්, උපාය ශූරත්වයකින් හා ඓතිහාසික අගයන් පිලිබඳ විචක්ෂන හැඟීමකින් සහ තමන් සතුව දැනටමත් තිබූ දෑ නැති කර නොගෙන ඔහුට ලබාගැනීමට අවශ්‍ය දේවල් අත්පත් කර ගැනීමෙහි අසමසම කෞශල්‍යයකින් යුතු ව ඔහු මෙම රූප එක්රැස් කිරීමෙහි නිරත ව තිබේ.

චිත‍්‍රපටිය සංස්කරනය කිරීම, දර්ශන පැහැදිලි කරන සිරස්තල රචනා කිරීම හා ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන එක්රැස් කිරීිම සඳහා සහාය වන මෙන් ඇක්සල්බෑන්ක් ඊස්ට්මන්ගෙන් ඉල්ලා සිටියේ ය. ඇක්සල්බෑන්ක් ඊස්ට්මන් තෝරාගැනීම වූ කලි බලගතු අභිප්‍රේරනයකින් සිදු වූවකි. බෝල්ශෙවික් විප්ලවයේ ඇමරිකානු ආධාරකරුවකු වූ ඊස්ට්මන් 1920 ගනන්වල සෝවියට් සංගමයට ගොස් සෝවියට් තන්ත‍්‍රයේ බොහෝ නායකයින් - විශේෂයෙන් ලියොන් ට්‍රොට්ස්කි - සමග සමීප දේශපාලන හා පෞද්ගලික සම්බන්ධතා ඇති කරගෙන තිබිනි. 1920 ගනන් මැද වන විට ඊස්ට්මන් The Young Trotsky (තරුන ට්‍රොට්ස්කි} පිලිබඳ චරිතාපදානයක් ලියා තිබුනා පමනක් නො ව වඩ වඩාත් බලය සියතට ගත් සෝවියට් නිලධරයට හා එහි නායකයා වූ ස්ටැලින්ට එරෙහි ව ට්‍රොට්ස්කි ගෙන ගිය දේශපාලන අරගලය පිලිබඳ ජාත්‍යන්තර ශ‍්‍රාවකත්වයක් වෙත ඉදිරිපත් කෙරුනු පලමු සවිස්තර වාර්තාව ද සම්පාදනය කර තිබුනේ ය.

යෝජනාවට එකඟ වූ ඊස්ට්මන් ව්‍යාපෘතියෙහි වැඩට අතගැසී ය. 1929 අග යුරෝපයට ගිය ගමනක දී ඔහු ඇක්සල්බෑන්ක්ගේ චිත‍්‍රපට එකතුවට අතිරේක චිත‍්‍රපට දර්ශන එකතු කරදුන්නේ ය. විප්ලවයට වසර කිහිපයකට පෙර සිය ඇමතියන් සමග නිරුවතින් පිහිනමින් සිටි සාර් රජු දැක්වෙන විස්මයජනක රූපරාමු පෙලක් ද මේ අතර විය. [නිම කෙරුනු වාර්තා චිත‍්‍රපටය තුල මේ දර්ශනය ඊස්ට්මන්ගේ උත්ප‍්‍රාසවත් නිරීක්ෂනයට මෙසේ ඉඩ ලබා දුනි: “ලෝකයා රජුකුගේ සැබෑ ස්වරූපය දැකගත් පලමු අවස්ථාව මෙය යි”]
බෝල්ශෙවිකයන් විසින් බලයෙන් පහ කෙරුනු තාවකාලික ආන්ඩුවේ නායකයා වූ, පිටුවාහලේ වාසය කල ඇලෙක්සැන්ඩර් කෙරෙන්ස්කි තත්පර කිහිපයක කොටසක් සඳහා පෙනී සිටීමට එකඟ කරවාගවැනීමට ඊස්ට්මන් සමත් විය. මෙය පටිගත කරනු ලැබුවේ ඇමරිකානු ඡායාරූපශිල්පී මෑන් රේ විසිනි. කෙසේ වතුදු 1917 හා 1921 අතර තීරනාත්මක විප්ලවීය කාලපරිච්ඡේදය තුල ස්ටැලින්ගේ සිනමාත්මක වාර්තාවක් සොයාගැනීමට ඊස්ට්මන් අසමත් විය. එවැනි වාර්තාවක් නොතිබීමට හේතුව වූයේ බොල්ශෙවිකයන් බලයට පවැමිනීමෙහි දී ස්ටැලින් ඉටු කල භූමිකාව, විප්ලවය ඡායාරූපගත කල අයගේ අවධානය යොමුකර ගැනීමට තරම් ප‍්‍රමානවත් වැදගත් කමක් නොදැරීම යි.

1931 ජනවාරියේ දී චිත‍්‍රපටිය සම්පූර්න කෙරිනි. සාර් ටු ලෙනින් විශාල ප්‍රේක්ෂක සමූහයක් ආකර්ෂනය කරගන්නා බව ඊස්ට්මන්ට නිසැක විය. ඔහු සිය මතක සටහනෙහි ආවර්ජනය කල පරිදි:

විප්ලවය පිලිබඳ උත්සුකය තියුනු හා තව මත් බොහෝ සෙයින් නිදහසේ මනසින් යුතු විය - එය තව ම ක්‍රෙම්ලිනය තුල ඉතිහාසය ප‍්‍රතිනිෂ්පාදනය කිරීමේ නිරත අය විසින් හසුරුවා පාලනය කෙරී නොතිබුනි. මා අදහස් කරන්නේ බුද්ධිමත් ඇමරිකානුවන්ට තව මත් ට්‍රොට්ස්කි ඔක්තෝබර් නැගිටීම සංවිධානය කල බව ද රතු හමුදාව විජයග‍්‍රහනය කරා ගෙන ගිය බව ද, ලෙනින්ට ස්ටැලින්ගේ උදව්වෙන් තොර ව වීදිය හරහා යාමට පුලුවන් වූ බව ද මතකයේ තබාගැනීමට අවසර තිබුනු බව යි.
ඊස්ට්මන්ගේ සැලැස්ම වූයේ චිත‍්‍රපටිය අලෙවි කොට වෘත්තීය මාර්ග ඔස්සේ පුලුල් ලෙස බෙදාහැරෙන බව සහතික කරගැනීම යි. ඔහු චිත‍්‍රපටිය පෙන්වූ අය අතර ඊට උද්‍යෝගයෙන් ප‍්‍රතිචාර දැක්වූ චාලි වැප්ලින් ද විය. කෙසේ වුව ද මේ අදියරේ දී ඊස්ට්මන් සහ ඇක්සල්බෑන්ක් අතර සබඳතා බිඳ වැටිනි. සිය සමස්ත වැඩිහිටි ජීවිතය ම සාර් ටු ලෙනින් නිර්මානය කිරීම සඳහා කැප කොට තිබූ හා චිත‍්‍රපටයෙහි දැවැන්ත ඓතිහාසික හා දේශපාලනික වැදගත්කම පිලිබඳ දැනුවත් ව සිටි ඇක්සල්බෑන්ක්, කොලොම්බියා පික්චර්ස් වැනි හොලිවුඩ් සමාගමකට චිත‍්‍රපටය විකිනීමෙන් අත් විය හැකි ප‍්‍රතිවිපාක ගැන බියපත් විය. ඉන් පසු හටගත් සිදුවීම් පෙන්නුම් කරන්නේ (ඊස්ට්මන්ගේ අභිප‍්‍රායන් පිලිබඳ ඔහුගේ සැකසංකා සාධාරනීකරනය නොවුනත්) ඇක්සල්බෑන්ක්ගේ බිය බොහෝකොටම සාධාරන වූ බව යි. චිත‍්‍රපටය සොරකම් කිරීමට තැත් කලේ යැයි ඔහු ඊස්ට්මන්ට චෝදනා කල අතර ඔවුන් දෙදෙනා අතර ගැටුමින් සාර් ටු ලෙනින් නිකුත් කිරීම අවුරුදු හයකින් පමා විය!

ප‍්‍රමාදය මුලුමනින් ම නිෂ්ප‍්‍රයෝජන නො වී ය. ඊස්ට්මන් හා ඇක්සල්බෑන්ක් අතර නීතිමය ආරාවුල පාර්ශ්වීය වසයෙන් විසඳුනු කාලය වෙද්දී ශබ්ද තාක්ෂනය බෙහෙවින් දියුනු වී තිබුනු අතර වාර්තා චිත‍්‍රපටය සඳහා මුලින් රචනා කෙරුනු සිරස්තල ප‍්‍රමානවත් වූයේ නැත. මේ නිසා, ඊස්ට්මන් සාර් ටු ලෙනින් සඳහා නිර්ව්‍යාජ ලාලසාවෙන් හා නලුවකු සතු කාලය පිලිබඳ තක්සේරුවක් සහිත හැඟීමෙන් යුතු ශූර කථනයක් ඉදිරිපත් කලේ ය.

ඉදින් 1937 මාර්තු 6 වැනි දා නිව්යෝක් නුවර පනස් අටවැනි වීදියේ පිහිටි Filmarte Theatre (ෆිල්මාට තියටර්) හි දී චිත‍්‍රපටයේ මංගල දර්ශනය පවත්වනු ලැබී ය. චිත‍්‍රපටය මහජන දැක්ම සඳහා ඉදිරිපත් කිරීමට අවුරුදු නවයක් ගත ව තිබූ අතර විචාරක හා මහජන ප‍්‍රතිචාරය අති බලගතු විය. “රුසියානු විප්ලවයේ ඉතිහාසය පිලිබඳ වැදගත් කෘතියක්... පරිපූර්න, අපක්ෂපාතී හා බුද්ධිමත් ඉතිහාසයක්” ලෙස නිව්යෝක් ටයිම්ස් පුවත්පත සාර් ටු ලෙනින් අභිනන්දනය කලේ ය. නිව්යෝක් පෝස්ට් විචාරකයා චිත‍්‍රපටය විස්තර කලේ “මගේ ජීවිතයේ මා දැක ඇති වඩාත් ම වැදගත් චලන චිත‍්‍රය .... මගේ හැඟීම අනුව සිනමා ඉතිහාසයෙහි වඩාත් ම සජීව හා චිත්තාකර්ෂනීය චිත‍්‍රපටිය” වසයෙනි.

චිත‍්‍රපටිය නැරඹීම සඳහා විශාල සෙනඟක් ඇදී ආහ. එහෙත් චිත‍්‍රපටිය අපකීර්තියට පත් කිරීම හා එහි දර්ශන අවහිර කිරීම අරමුනු කරගෙන සෝවියට් ආන්ඩුව හා මුලුමනින් ම ස්ටැලින්කරනය වූ ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂය විසින් සංවිධානය කෙරුනු දැවැන්ත උද්ඝෝෂනයක් දියත් වීමට වැඩි කලක් ගත වූයේ නැත. මොස්කව් නඩු විභාග හා පැරනි බෝල්ශෙවිකයන් මරා දැමීම මධ්‍යයේ එලිදුටු චිත‍්‍රපටිය, ස්ටැලින්වාදී තන්ත‍්‍රය විසින් දැකගනු ලැබුනේ ඉතිහාසය මුසාකරනය සඳහා තමන් දරන ප‍්‍රයත්නයට එරෙහි අන්තරායකර බාධකයක් හැටියට ය. ඊස්ට්මන් ආවර්ජනය කල පරිදි:

ට්‍රොට්ස්කි ඔක්තෝබර් නැගිටීමට නායකත්වය දී තිබූ අතර රතු හමුදාව සංවිධානය කල ද - චිත‍්‍රපටිය එසේ කීවේ ය - දැන් සමස්ත බලය ස්ටැලින් අත විය. සාර් ටු ලෙනින් ෆිල්මාට තියටරයෙන් එහා ඩොලර් දෙකතුනක දුරක් පවා කිසිදා ගමන් නොකලේ ය. [නිව් යෝක් ජනමාධ්‍ය වෙතින්] දින පහක් පුරා ලැබුනු ප‍්‍රශංසා වරුසාවකට පසු, ඩේලි වර්කර්හි [කොමියුනිස්ට් පක්ෂයේ පුවත් පත] දැවැන්ත සිරස්තල සහිත ලිපියක් පල විය:

සෝවියට් සමාජවාදී දේශය පාවාදෙන්නවුන්ගේ ට්‍රොට්ස්කි කල්ලියෙහි ප‍්‍රධාන ක්ෂමාලාපකයා වන මැක්ස් ඊස්ට්මන්, පුවත් පට හා වාර්තා දර්ශන එකලස් කර තිබේ. මේ මිනිහා විකෘතකරනය, රැවටිල්ල, වංචාව, දෙපිට කාට්ටුව හා අමු බේගල් පිලිබඳ විශේෂඥයෙකි... සාර් ටු ලෙනින් වර්ජනය කල යුතු ම ය... ෆිල්මාට තියටර් කලමනාකාරීත්වයට විරෝධය පල කරනු... සාර් ටු ලෙනින් යනු තනිකර ම ට්‍රොට්ස්කිවාදී ප‍්‍රචාරනයක් බවත් එහෙයින් නිදහසේ මිතුරන්ට එය ඉවසිය නොහැකි බවත් සෙසු සිනමාහල්වලට පැහැදිලි කරනු... සාර් ටු ලෙනින් වර්ජනය කරනු!

ඩේලි වර්කර් පුවත්පත් ට්‍රොට්ස්කි විරෝධී වර්ගීකරනයන්ට වඩා, සාර් ටු ලෙනින් චිත‍්‍රපටය සිනමාහල්වලට බෙදාහැරිය හොත්, ජනප්‍රිය සර්ජි අයිසන්ස්ටයින්ගේ කෘති බඳු - සෝවියට් චිත‍්‍රපට බෙදා හැරීමට ඉඩ නොදෙන බවට බෙදාහරින්නන්ට තර්ජනය කරමින් සෝවියට් තන්ත‍්‍රය විසින් තිරය පිටුපස ව්‍යාපාරයක් රහසිගතව සංවිධානය කරන ලදී. මේ ව්‍යාපාරය අතිශයින් ප‍්‍රතිඵල දායක විය. සාර් ටු ලෙනින් ඉන් පසුව “කිසි දා පෙන්නුවේ නැත. ෆිල්මාට සිනමාහලේ දී එය ලද විජයග‍්‍රහනය වූ කලි, සෑම ප‍්‍රායෝගික අරුතකින් ම ගත් කල, එහි අවසානය වී” යයි ඊස්ට්මන් ආවර්ජනය කලේ ය.

පොත්වලට තමන්ගේ ම ඉරනමක් ඇතැයි කියමනක් තිබේ. චිත‍්‍රපට සම්බන්ධයෙන් ද මෙය සත්‍යයකි. සාර් ටු ලෙනින් තමන්ගේ ම කලාත්මක හා දේශපාලනික අවංක භාවයේ ගොදුරක් විය. එය පලමු ව විප්ලවය හා එතුල ට්‍රොට්ස්කිගේ භූමිකාව පිලිබඳ කරුනුමය නිරවද්‍යතාවෙන් යුතු නිරූපනය දරා ගත නොහැකි වූ ස්ටැලින්වාදීන්ගේ හා ලිබරල් වාමාංශයේ දෝෂදර්ශනයට ලක් විය.

සීතල යුද්ධයේ ආරම්භයත් සමග හර්මන් ඇක්සල්බෑන්ක්ට හා ඔහුගේ වාර්තා චිත‍්‍රපටියට අලුත් ප‍්‍රශ්න පැන නැගිනි. ඔක්තෝබර් විප්ලවය හා බොල්ශෙවිකයන් හිතකර අන්දමින් පෙන්නුම් කරන චිත‍්‍රපටියක් සීමා සහිත මට්ටමින් පවා ප‍්‍රදර්ශනය කිරීම කල නොහැක්කක් බවට පත් විය. ඊස්ට්මන් පවා බොහෝ දුර දකුනට ගමන් කර සිටියේ, තමන් බොහෝ කලකට පෙර අතහැර දැමූ රැඩිකල් දෘෂ්ටිකෝනයක් රැගත් තම කථනය රැගත් චිත‍්‍රපටියේ දර්ශන වැලැක්වීමට ක්‍රියා කරමින් සිටියේ ය. වෙනත් කථනයක හඬ මුසු කිරීම මගින් සිය චිත‍්‍රපටිය බේරාගැනීමට ඇක්සල්බෑන්ක් වෑයම් කල අතර චිත‍්‍රපටය මේ ස්වරූපයෙන් කුඩා සිනමාහල්වල හා විශ්වවිද්‍යාලවල තිරගත කෙරිනි. එහෙත් මේ කථනය ඊස්ට්මන්ගේ මුල් කථනයෙහි ප‍්‍රතිකොමියුනිස්ට්වාදී විකෘතියක් වූ අතර ඇක්සල්බෑන්ක් විසින් එකලස් කෙරුනු රූපරාමුවලට කල අවමානයක් විය.
86 හැවිරිදි වියේ පසුවූ ඊස්ට්මන් 1969 දී මිය ගියේ ය. ඒ වන විට ඇක්සල්බෑන්ක්ගේ චිත‍්‍රපටය බොහෝ සෙයින් අමතක ව ගොස් තිබිනි. සමාජවාදී සමානතා පක්ෂයේ පෙරගමන්කරු වූ වර්කර්ස් ලීගය හර්මන් ඇක්සල්බෑන්ක් සමග සබඳතා ඇති කරගත්තේ 1970 දසකයේ මැද භාගයේය. වයස හැත්තැ ගනන්වල මැද සිටි ඇක්සල්බෑන්ක් තව මත් පෙර පරිදි ම සටන්කාමී විය.
චිත‍්‍රපටිය කිසි දිනක මැකී යා නොදී රැක ගැනීමේ අරමුන පමනක් පෙරදැරි ව වර්කර්ස් ලීගය චිත‍්‍රපටය මිල දී ගැනීමේ උත්සුකයෙන් පසු වන බව මම හර්මන්ට දන්වා සිටියෙමි. ඇක්සල්බෑන්ක්ගේ මුල් ඉල්ලීම් ඉටු කල නොහැකි විය. වඩා මුදු මොලොක් කොන්දේසි වෙනුවෙන් මා මුලින් කල ආයාචනයන්ට ඔහුගේ පිලිතුර වූයේ “හිඟා කනු, නයට ගනු, නැතහොත් සොරකම් කරනු” යන්න යි. එහෙත් දීර්ඝ සාකච්ඡාවලට පසු එකඟතාවක් ඇති කර ගැනුනු අතර 1978 ජනවාරියේ දී ඇක්සල්බෑන්ක් සාර් ටු ලෙනින් හි අයිතිය වර්කර්ස් ලීගය අතට පත් කලේ ය. අවසානය දක්වා ම ශක්ති සම්පන්න ව විසූ ඇක්සල්බෑන්ක් ඉන් වසර එකහමාරකට පසු 1979 ජූලියේ දී හදිසියේ අභාවප‍්‍රාප්ත විය.

ඉන් පසු ගත වූ කාලය තුල වර්කර්ස් ලීගය හා එහි අනුප‍්‍රාප්තික සංවිධානය වන සමාජවාදී සමානතා පක්ෂය චිත‍්‍රපටය තිරගත කිරීම් ගනනාවක් සංවිධානය කලේ ය. ලොව පුරා සාර් ටු ලෙනින් තිරගත කිරීම් සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි සසප දේශපාලන සමචින්තකයින්ගේ අනුග‍්‍රහය ලැබී තිබේ. එහෙත් ඔක්තෝබර් විප්ලවයේ ශත සංවත්සරය එලඹෙද්දී මේ අසාමාන්‍ය චිත‍්‍රපටයෙහි ඩීවීඩී පිටපත් නිපදවා ඔක්තෝබර් විප්ලවය අවබෝධ කර ගැනීමට රිසි සියලු දෙනා අතට ඒවා පත් කිරීමට කාලය එලඹ තිබේ.

එහි මංගල දර්ශනයෙන් හැත්තෑ පස් වසකට පසු, සාර් ටු ලෙනින් චිත‍්‍රපටයේ වැදගත්කම ක්ෂය නො වී පවතී. සත්තකින් ම, 1991 සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු අවුලුවනු ලැබූ අලුත් ඓතිහාසික මුසාකරන රැල්ල, මේ චිත‍්‍රපටයට සුවිශේෂ අදාලත්වයක් ලබා දෙයි. ගෝලීය ධනවාදී අර්බුදයෙහි නව කාලපරිච්ඡේදයක් තුල - ආර්ථික කඩා වැටීම, ඉහවහා ගිය සමාජ අසමානතාව හා ව්‍යාප්ත වන මිලිටරිවාදය මධ්‍යයේ - සාර් ටු ලෙනින් චිත‍්‍රපටය ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම විප්ලවවාදී ව්‍යාපාරයට සමාජවාදී පරමාදර්ශ අනුප‍්‍රානය සැපයූ අන්දම පිලිබඳව සාක්ෂි දරයි.

- ඩේවිඩ් නෝර්ත්
ජුලි 5, 2012

උපුටාගැනීම - http://www.wsws.org/sinhala/2017/2017aug/ttol-31a.html

Add comment


Security code
Refresh