26
Thu, Apr

සිනමාව

තිසර ඉඹුලාන විසින් නිර්මාණය කරන ලද ‘නිනෝ ලයිව්‘ චිත‍්‍රපටය එය නිමවා වසර දහයක පමණ කාලයක් ගෙවීමෙන් අනතුරුව ප‍්‍රදර්ශනය ආරම්භ කර ඇත. පොදු වශයෙන් ගත්කළ චිත‍්‍රපටය ප‍්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක.

පළමු කොටස ‘නිනෝ ලයිව්‘ නම් රියලිටි වැඩසටහනක නිෂ්පාදන කණ්ඩායමේ රූකඩයක් බවට පත් කොට සිටින නිනෝ නම් තරුණයා තමන් සිරකළ එම මායාමය අවකාශයෙන් මිදී සමාජයට පිවිසීමට දරණ උත්සාහයයි. දෙවැනි කොටස නිශාන්ත සහ රුචි නම් පහල පාන්තික තරුණයා සහ තරුණිය රූපවාහිනී රියලිටි උන්මාදයෙන් මෝහනය වී සමාජයෙන් සහ තත්‍ය ජිවිතයෙන් මිදී එම ව්‍යාජ අවකාශයට පිවිසීමට දරන උත්සාහයයි. මෙහි පළමු කොටස පීටර් වෙයර් විසින් නිර්මාණය කරන ලද ‘ද ටෘමන් ෂෝ‘ චිත‍්‍රපටයේ සෘජු ආභාෂය ලබා තිබෙන බව පෙනේ. එම චිත‍්‍රපටයේද තරුණයා තමන් ගෙවන්නේ සැබෑ ජීවිතයක් නොව සුවිසල් චිත‍්‍රාගාරයක් තුල සිරගතව, රියලිටි වැඩසටහනක චරිතයක් බවට පත්ව, සිය සමස්ත ජිවිතයම අනෙක් අයගේ නැරඹුම් වස්තුවක් බවට පත්වූ, වැඩසටහන් නිෂ්පාදන කණ්ඩායමක පිටපතකට අනුව මෙහෙයවෙන ජීවිතයක් බව වටහාගත් පසු එයින් මිදී පලා යාමට තැත් කරයි. එහිදී ‘නිනෝ ලයිව්‘ සහ ‘ද ටෘමන් ෂෝ‘ චිත‍්‍රපට දෙකම යන්නේ එකම මාවතේය. දෙවැනි කොටස තුල තරුණයා සහ තරුණියට දැනදැනම රඟපෑමක නිරත වීමට සිදුවන අතර ඔවුන් ව්‍යාජ ජීවිතයට පිවිසෙන්නේ කැමැත්තෙනි. පළමු කොටස පෙන්වන්නේ අර්බුදයට සංවේදී වන්නන් එයින් මිදීමට දරන උත්සාහය නම්, දෙවන කොටස පෙන්වන්නේ ප‍්‍රාග්ධනය විසින් එම සීමා ඉරි මකා දමා අර්බුදයට පැනීමට සිහින දකිමින් පොරකන්නන්ය. එය තව දුරටත් පෙරට ගියානම් අපට දැක ගන්නට ලැබෙන්නේ ඩෙරික් බෝර්ටේ විසින් නිර්මාණය කරන ලද ‘ද ජොන්සස්‘ චිත‍්‍රපටයේ දිග හැරෙන ඛේදවාචකයයි. එහි ඇත්තේ සමාගමක අලෙවි ප‍්‍රවර්ධනය වෙනුවෙන් පවුලක සාමාජිකයන් ලෙස රඟපාන, ව්‍යාජ ජීවිතයකට ඇතුළු වීමට සිදුව ඇති පිරිසක් මුහුණ දෙන අර්බුදයයි.

වත්මන් ධනවාදය පවත්වාගෙන යන්නේ එයට එරෙහි වන්නන් මර්දනය කිරීම හරහා මෙන්ම සාතිශය බහුතරය එයට අවනත කර ගැනීමේ ක‍්‍රමවේදයක් හරහා බවට අන්තෝනියෝ ග‍්‍රාම්ස්චි ඉදිරිපත් කළ මතයෙන් අපට මෙම චිත‍්‍රපටයේ තේමාව වන මාධ්‍ය සහ සමාජය අතර සම්බන්ධය පිලිබඳ මාතෘකාවට පිවිසිය හැක. මෙලෙස සමාජය ප‍්‍රාග්ධන උවමනාවන්ට අනුව හීලෑ කිරීමට සහ මෙම ජීවිතය පිලිබඳ ස්වේච්ඡුා කැමැත්තක් ගොඩ නැගීමට දෘෂ්ටිවාදය භාවිතා වන ආකාරය ග‍්‍රාම්ස්චිගේ අවධානයට යොමු විය. පසු කාලීනව ලූවී අල්තුසර් එම දෘෂ්ටිවාදයන් ගොඩ නැගෙන භෞතික යාන්ත‍්‍රණය පැහැදිලි කරමින් ‘රාජ්‍ය මර්දන උපකරණ‘ වලට අමතරව පවතින ‘රාජ්‍ය දෘෂ්ටිවාදී උපකරණ‘ විස්තර කළ අතර ඔහු ආගමික ආයතන, අධ්‍යාපන ආයතන, පවුල ආදියට අමතරව මාධ්‍යද රාජ්‍ය දෘෂ්ටිවාදී උපකරණ ගොන්නට ඇතුලත් කළේය. මාධ්‍ය විසින් ප‍්‍රාග්ධන අභිලාෂයන් මත පදනම්ව සමාජය සංවිධානය කිරීමට ගන්නා පියවර පිලිබඳ සංවාදය ඉන් අනතුරුව වඩාත් පොහොසත් විය.

මෙම විග‍්‍රහයේදී ෆ්‍රෙඞ්රික් ජේම්සන්, ජින් බෞද්ඩ‍්‍රිලාද් ආදී දේශපාලන සහ දාර්ශනික විශ්ලේෂකයන් පුළුල් දායකත්වයක් ලබා දෙන ලදී. මේ වනවිට එම සාකච්ඡුාව පුළුල් වී ඇත්තේ සංස්කෘතික ක්ෂේත‍්‍රය තුලට ප‍්‍රාග්ධනය ගමන් කර සංස්කෘතික කර්මාන්තයක් බිහිවීම, සංස්කෘතිය ලාභ උපයන වෙළඳ භාණ්ඩයක් වීම සහ ඒ තුල සත්‍යය පවා වෙළඳ භාණ්ඩයක් වීම පිලිබඳ අත්දැකීමෙනි. මෙම තත්වය තුළ මාධ්‍ය මගින් සත්‍යය ඉදිරිපත් කළ කාලය අවසන් බවත් දැන් සිදු වන්නේ සත්‍යය කියා යමක් ගොඩනැංවීම බවත් ජින් ජින් බෞද්ඩ‍්‍රිලාද් පවසයි. ඒ අනුව පවතින්නේ සැබෑ යතාර්ථය නොව ගොඩනැංවූ ප‍්‍රබන්ධ යථාර්තය සත්‍ය බව පිළිගැනීමට බල කරන ලද තත්වයකි. මේ නිසා සිදුවන්නේ සමාජය සැබෑ යතාර්ථය මගහැර මාධ්‍ය මගින් ගොඩනගන ප‍්‍රබන්ධ යතාර්තයක ජීවත්වීම සහ මෙම ව්‍යාජය ජීවිතය ලෙස තේරුම් ගැනීමයි. (The hyper-real is more real than real) ඒ අනුව කලින් මාධ්‍ය පිලිබඳ තිබුණු ‘අපි වාර්තා කරමු – ඔබ තීරණය කරන්න‘ (We Report – You Decide) යන්න ‘අපි වාර්තා කරමු – අපිම තීරණයත් දෙමු‘ (We Report – We Decide) දක්වා වෙනස් වූ අතර දැන් එය ‘අපි තීරණය කරන ලෙස ඔබ ජීවත් වන්න‘ (We Decide – You Live) දක්වා වර්ධනය කරගෙන තිබේ. ඒ අනුව අපේ කෑමබීම, ඇඳුම්පැළඳුම්, බේත්හේත්, ගෘහ නිර්මාණය, පුද්ගලික උත්සව, කලා රසවින්දනය ආදී සියල්ල මාධ්‍ය මගින් තීරණය කෙරෙන, සමස්ත ජීවිතයම මේ මාධ්‍ය මගින් නිර්මිත ප‍්‍රබන්ධ යතාර්තයට අනුකූලව හැසිරවෙන තත්වයක් ගොඩ නැගී තිබේ. ‘නිනෝ ලයිව්‘ චිත‍්‍රපටයේ මුඛ්‍ය තේමාව එම ප‍්‍රශ්නයයි.

මෙම ප‍්‍රබන්ධ යථාර්තය ගොඩ නැංවීමේදී පරිකල්පනාත්මක රූප වැඩි කාර්ය කොටසක් ඉටු කරන බව බොහෝ දෙනෙක් සිතන්නට ඉඩ ඇතත් සිදු වන්නේ එහි අනෙක් පැත්තය. එනම් ප‍්‍රබන්ධ යථාර්ථයකට සමාජය ඇතුළු කළ හැක්කේ එය ප‍්‍රබන්ධයක් ලෙස ඉදිරිපත් කිරීමෙන් නොව එය සත්‍ය යථාර්තය ලෙස ඉදිරිපත් කිරීමෙන්ය. එනිසා වෙනදා ටෙලි නාට්‍යය හෝ වෙනත් එවැනි ප‍්‍රබන්ධයක් ඉටු කළ කාර්ය කොටස දැන් වැඩිපුර පවරාගෙන ඇත්තේ ප‍්‍රවෘත්ති විකාශන, වාර්තා වැඩසටහන් සහ ‘රියලිටි වැඩසටහන්‘ය. මේ රියලිටි වැඩසටහන් සිදුවන සත්‍ය සිදුවීම් ලෙස කලින් පිටපතකට අනුව සැලසුම් කරන ලද ප‍්‍රබන්ධයක් ඉදිරිපත් කරන අතර එය පේ‍්‍රක්ෂකයා ප‍්‍රබන්ධ යථාර්ථයකට ඇතුළු කිරීමේදී ප‍්‍රබන්ධයක් ලෙසම ඉදිරිපත් කරන්නකට වඩා සාර්ථකය. මෑත කාලයේදී සමාජයේ ජීවන විලාසයන් නිර්මාණය කිරීමේදී ඊනියා රියලිටි වැඩසටහන් කළ දායකත්වය හරහාද, ප‍්‍රබන්ධය ප‍්‍රබන්ධ ලෙස ඉදිරිපත් කළ සිනමාව අබිබවා, ප‍්‍රබන්ධය සැබෑ යථාර්තය ලෙස වෙස් ගන්වා ඉදිරිපත් කරන රූපවාහිනිය ජනප‍්‍රිය වීම හරහාද මෙම තත්වය තවත් තේරුම් ගත හැක. මෙම ගැටලූව පැහැදිලි කිරීම සඳහා ‘නිනෝ ලයිව්‘ නිර්මාණකරුවාට රූපවාහිනිය සිනමාව තුලට ගෙන ඒමට සිදුවන හේතුව එයයි. ‘නිනෝ ලයිව්‘ වනාහි රූපවාහිනී වැඩසටහනක් පිළිබඳව කෙරුණු සිනමා කෘතියකි.

‘නිනෝ ලයිව්‘ යනු යුද්ධයෙන් පසු නැගෙනහිර පළාතේ ඉදිවෙන යෝධ රූපවාහිනී චිත‍්‍රාගාරයක් හිමි රූපවාහිනි ආයතනයක් නිර්මාණය කරන ලද දැවැන්ත රියලිටි වැඩසටහනකි. මෙම වැඩසටහනෙහි නිෂ්පාදකවරයා වන නෝනිස් නැමැත්තා, එහි ප‍්‍රධාන චරිතය නොදැනුවත්ව රඟපාන නිනෝ නමැති තරුණයාගේ පියාය. නිනෝගේ මව වන නිම්මි වෘත්තීය නිළියක බැවින් ඇයද මේ වැඩසටහනේම පංගුකාරියක් වන්නේ පහසුවෙනි. නෝනිස් විශාල වැටුප සහ ජනප‍්‍රියත්වය වෙනුවෙන් සිය පවුලෙන් වෙන්ව ජීවත් වන අතර ඔහු ලාභාපේක්ෂාව වෙනුවෙන් සිය පුත‍්‍රයා කෘත‍්‍රිම අවකාශයක සිර කරවීමටද පසුබට නොවේ. නිනෝගේ ජීවිතයේ බොහෝ සිදුවීම් ඔහුගේ පියාගේ නිෂ්පාදන සැලසුමේ කොටස්ය. චිත‍්‍රපටය තුල නෝනිස් කරන්නේ පියාගේ භූමිකාව මුදලාලි කෙනෙකුගේ භූමිකාවෙන් ආදේශ කිරීමයි. ඊඩිපස් පවුල තුළ පියා පවුලේ සහ දරුවන්ගේ පාලනය අතට ගන්නේ සැලකිය යුතු වන්දියක් ගෙවමිනි. ඒ සමහර විට පවුලේ ආර්ථික පැවැත්ම වෙනුවෙන් සිය ජීවිතයේ බොහෝ දෙර් අත හරින්නට සිදු වීමද ඇතුළු වන්දියකි.

එහෙත් මේ ප‍්‍රබන්ධ යථාර්ථයේ පියවරුන් එම වන්දිය නොගෙවනවා පමණක් නොව, එම ක‍්‍රියාවලිය විනෝද මාර්ගයක් කර ගැනීමෙන් නොනැවතී ඒ හරහා අතිරික්තයක්ද උපයයි. නිනෝ සලකන විට ඔහුද ඇතුළු මේ මාධ්‍ය යථාර්ථයේ ගොදුරක් බවට පත්වූ සමාජය සංවිධානය වන්නේ ආචාරධර්ම, ශික්ෂනවේද, සමාජමය වගකීම හෝ පවුල් සම්බන්ධතා- සමාජ සම්බන්ධතා විසින් නොව වීඩියෝ සංස්කරණ හරහාය. ඔවුන්ගේ ජීවිත තීරණය කරනුයේ මේ මාධ්‍ය ආයතන හිමි ප‍්‍රාග්ධන හිමිකාරීත්වය විසිනි. නොනිස් වැනි මෙම ක‍්‍රියාවලියේ ‘මහමොළකරුවන්ද‘ තරමක් ඉහල වැටුපකට හිම්කම් කියන වැටුප් ශ‍්‍රමිකයන් පමණි. ඔවුන්ගේ වහල් බව ආයතන හිමිකරුවා සහ නෝනිස් අතර සම්බන්ධයෙ ස්වභාවය සහ සිය රැුකියාව වෙනුවෙන් නෝනිස් දන නැමීම හරහා චිත‍්‍රපටයේ නිරූපණය වේ.

Add comment


Security code
Refresh