Breaking News

ආණ්ඩුව කොවිඩ් මර්දනයේදී තවදුරටත් ‘පුළුවන්නම් බේරියල්ලා ‘ ප්‍රතිපත්තියක

කොරෝනා වසංගතය මාර්තු මාසයේ ලංකාවේ ව්‍යාප්ත වීමෙන් පසුව ඒක් දිනකදී හමු වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ලෙස රෝගීන් 865ක් ඊයේ (23) හඳුනාගෙන ඇත. අද දින සවස් වනවිට තවත් රෝගීන් 201ක් වාර්තා වී තිබේ.

ඊයේ වාර්තාවූ රෝගීන් දෙස බැලීමේදී එය රෝගීන් දිස්ත්‍රික්ක 14න් වාර්තා වී ඇති ආකාරය දක්නට ලැබේ. හෙට වනවිට මෙය තවත් දිස්ත්‍රික්ක කරා පැතිර යනු ඇත.

මෙසේ කොරෝනා රෝගීන් හමුවීමෙන් මෙරට කොරෝනා වසංගතයේ බරපතළ උත්සන්නභාවයක් සටහන්කර ඇත. දැන් ආණ්ඩුව පවසන ආකාරයට මිනුවන්ගොඩ පොකුරට අමතරව පෑලියගොඩ පොකුර කියා එකක් ද නිර්මාණය වී ඇත. නමුත් තවමත් සමාජයට නම් ගොස් නැත.

ආණ්ඩුව මෙසේ බොරු ගොතමින් වසංගතය සම්බන්ධව ප්‍රමාණවත් වගකීම් සහගතභාවයෙන් මැදිහත්වන්නේ නැති බවට මහජන පරික්ෂකවරු, වෛද්‍ය නිලධාරින් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තික සංවිධාන චෝදනා කරමින් සිටියි.

සෞඛ්‍ය සේවකයන්ගේ ජිවිත අවදානමේ

ඊයේ පැවති මධ්‍ය හමුවකදී ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පැවසුවේ රෝහල්වල කාර්ය මණ්ඩලවලට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් කට්ටල ඉතාම අවම මට්ටමක පවතින බවයි. කොව්ඩ් රෝගීන් වාර්තාවෙන කුලියාපිටිය වැනි ප්‍රදේශයක ඇති රෝහල්වලත් මෙම තත්ත්වය දක්නට ලැබෙන බව ද එහිදී පැවසුණි. ඊට අමතරව එම රෝහල් කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කර ඇත්තේ කිසිදු පහසුකමක් ලබා නොදීමෙන් බව ද ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ පවසන ලදී. අමතරව නිරෝධායනය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සාමාජිකයන්ට තමන්ගේ වියදමින් නඩත්තු වීමට සිදුවී ඇති ආකාරය එහිදී හෙළිවිය. වසංගත තත්ත්වය තුළවත් සෞඛ්‍ය සේවකයින් කණ්ඩායම් වශයෙන් සේවයේ යෙදිය යුතු වුවත් පෙරේදා දින වන විටත් එවැන්නක් දක්නට නොලැබුණි. වෙන එකක් තබා සෞඛ්‍ය සේවයේ සිටින ගැබිණි කාන්තාවන්ට සහ කුඩා දරුවන් සිටින මව්වරුන්ට ජීවිත අවදානම නොතකා වැඩ කිරීමට සිදුවිය. නිවාඩු ලබාගත්තේ නම් එය ඔවුන්ගේ වාර්ෂික නිවාඩු දිනවලින් අඩු කරන ලදී. අවසානයේ සෞඛ්‍ය සේවක වෘත්තීය සමිතිවල බලවත් විරෝධතාවය මත යම් යම් සහන ලබාදෙමින් චක්‍ර ලේඛයක් නිකුත් කිරීමට ආණ්ඩුවට සිදුවිය. නමුත් තවමත් ආරක්‍ෂිත උපකරණ සම්බන්ධයෙන් ගැටලුවක් පවතියි. ආරක්‍ෂිත උපකරණ සපයා ගැනීමට සිදුව ඇත්තේ සෞඛ්‍ය සේවක සේවිකාවන්ගේ පෞද්ගලික වියදමිනි.

පෞද්ගලික අංශයේ සහ අනෙකුත් රාජ්‍ය සේවකයන්

පෞද්ගලික අංශයේ සහ අනෙකුත් රාජ්‍ය සේවකයන්ගේ තත්ත්වය මේ හා සමාන වේ. වසංගතය නැවත ව්‍යාප්තිය ආරම්භ වූ කටුනායක වෙළඳ කලාපය තුළ කර්මාන්තශාලා මේ වනවිටත් වැඩ කරමින් පවතියි. ඒවායෙහි වැඩකරන සේවක සේවිකාවන්ට ඇඳිරි නීතිය මධ්‍යයේ වුවද වැඩ කිරීමට සිදුව තිබේ. ඔවුන් කිසිදු විරෝධයක් නොදැක්වීමට හේතුව වී ඇත්තේ නිෂ්පාදන කටයුතු ඇන හිටියහොත් තම රැකියා අහිමි වෙතැයි ඔවුන් තුළ පවතින බියයි. පසුගිය කොරෝනා සමයේ රැකියාවලින් වැඩිපුරම දොට්ට දමනු ලැබුවේ මෙම වෙළඳ කලාපය තුළ සේවයේ යෙදෙන පිරිසයි. මේ නිසා තම ජීවිතයද රැකියාවද යන දෙකෙන් එකක් තෝරා ගැනීමට ඔවුන්ට සිදුව ඇත. මෙහිදී ස්ථිර සේවකයන් නොවන කිසිදු ආයතනයකට බැඳීමක් නොමැති මෑන් පවර් සේවකයන්ගේ තත්ත්වය ඉතා ඛේදජනක වේ. නිදහස් වෙළඳ කලාප වෘත්තීය සමිති පවසන ආකාරයට මේ සේවකයන්ට කෑමට බීමට පවා දෙයක් නොමැති වී තිබේ.

අනෙකුත් පෞද්ගලික සේවකයන්ගේ සහ රාජ්‍ය සේවකයන්ගේ තත්ත්වයද මීට නොදෙවෙනිය. මෙතෙක් ආණ්ඩුව විසින් කොරෝනා සමයේ වැඩ කළයුතු ආකාරය සම්බන්ධයෙන් මීට පෙර පැවති වසංගත තත්ත්වය හමුවේ ලබාදුන් ආකාරයේ උපදෙස් ලබා දී නොමැත. අඩුම වශයෙන් රාජ්‍ය සේවකයන් කණ්ඩායම් ලෙස වැඩකළ යුතු ආකාරය හෝ ගර්භනී මව්වරුන් වැනි විශේෂිත තත්ත්වයන්හිදී අනුගමනය කළ යුතු දේ ගැන කිසිදු උපදෙසක් නැත. ඒ අනුව ආයතන ප්‍රධානින් කැමති කැමති ආකාරයට තමන්ගේ පහසු ආකාරයට කාර්යාල වැඩ කටයුතු පවත්වා ගනිමින් සිටියි. ගර්භනී මව්වරුන්, කුඩා දරුවන් සිටින මව්වරුන්, විශේෂිත රෝග තිබෙන සේවක සේවිකාවන්ට වැඩට නොයා සිටීමේ හැකියාවක් ද නොමැතිව ඇත්තේ එය තමන්ගේ නිවාඩු දිනවලින් අඩුවීමට නියමිත බැවිනි.

කණ්ඩායම් වශයෙන් වැඩ කිරීම වැනි දේ ක්‍රියාත්මක කරන්නේ නම් පෞද්ගලික ප්‍රවාහනය පාවිච්චි කරන පිරිසද යම් තරමකට අඩුවීම හරහා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට පහසු වෙනු ඇත. නමුත් දැනටත් කිසිදු සමාජ දුරස්ථභාවය රැකීමකින් තොරව ජනතාවට බස්වල කෝච්චිවල එල්ලී වැඩට යාමට සිදුවී ඇත.

මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවට කොරෝනා වසංගතය මැඩලීම සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් නැති බව පමණක් නොවේ. රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් ඇති වගකීම් විරහිත භාවයයි. මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ රෝගීන් වාර්තා වෙමින් පවතිද්දී ආණ්ඩුව පැවසුවේ ආර්ථික කටයුතු අඩාලවෙන හෙයින් ඇඳිරි නීතිය දැමිය නොහැකි බවයි. කටුනායක කර්මාන්ත ශාලාවලට වැඩකිරීමට අවස්ථාව ලබා දී ඇත්තේ ද එළෙස පවසමිනි. ඒ හරහා කර්මාන්ශාලා බොහොමයක රෝගය පැතිර යන ලදී. දැන් වසංගත තත්ත්වය රට පුරා පැතිරෙමින් පවතියි.

වසංගතය පැතිරුණු පසුගිය කාලයේ ආර්ථික ගැන නහයෙන් ඇඩීම පසෙක දමා යම් ආකාරයකින් හෝ සහන සැළසීමට ආණ්ඩුව කටයුතු කරනු ලැබුවේ ඡන්දයක් ළඟ ළඟම තිබූ නිසා විය යුතුය. දැන් 20ත් සම්මත කරගෙන තම බලය ශක්තිමත් කරගෙන ඇති මොහොතක ජනතාවට කොරෝනා නොව හෙනගැහිලා ගියත් කම් නැතැයි ආණ්ඩුව සිතනවා විය යුතුයි. එසේ නොමැතිනම් මේ ආකාරයෙන් පුළුවන්නම් බේරියල්ලා, නැති බැරි අය ලෙඩ වෙයල්ලා වර්ගයේ වගකීම් විරහිතව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් නැත.

 

leave a reply