Breaking News

උස් තැන් වල සිට පුස්සන් සමරන නිදහස

සමන්සිරි හේරත්

අද  දින දර්ශනයට තවත් දිනකි .පාලකයන්ට සැමරුම් දිනකි . ජනතාවට සුපුරුදු අර්බුදයන් වලට මුහුණ දෙන තවත් දවසකි .පෙබරවාරි 4  තවත් හිස් පුස්  දිනකි.  පුළුල් අර්ථයක් ඇති නිදහස නම් වචනය සැහැල්ලුවට ලක් කරන  නිදහස් දින නම් මහ බොරුව නැවත නැවත සිහිපත් කරන  ජනතා ධනය නාස්ති කරන දිනය අදයි.

සෘජුවම අපේ රට සූරා කෑමට ලක් කරමින් පෝෂණය වූ එංගලන්ත පාලනය අපව අත්හැරදමා යන විට ඔවුන් වෙනුවෙන් සූරාකෑමේ කාර්යය කිරීමට පවරා ගිය දේශීය ඒජන්තයන්ට, ශ්‍රී ලංකාව නැමැති සෞභාග්‍යමත් රට ගොදුරු වී 74 වසරක් ගෙවී ගොස් තිබේ .එම සූරාකෑමේ ක්‍රම හුවමාරුව සිදු වූ දින නිදහස ලැබූ දින ලෙස වංචනික අර්ථ කථනයකට නතු කර තිබේ .උදම් අනන්නට පාලකයෝ නිදහස පිළිබඳව හැඟීමක් නැති, රටවැසියාට නිදහස සමරන්නට, බලහත්කාරකම් කරන්නට පටන්ගෙන  පෙබරවාරි 4 වනදා ට 74 වසරක් සම්පූර්ණ වී තිබේ .වර්තමාන අද දවස වන විට රට වැසියා තුළ නිදහස පිළිබඳව අබමල් රේණුවක තරම්වත් හැඟීමක් ඉතුරු විය යුතු නොවෙයි .

පාලකයා චාම් යැයි පැවසුවද හෙට ජනතාවගේ බදු මුදල් වියදම් කරමින් ඔහු නිදහස පිළිබඳ සැමරුමක් රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වනු ලැබේ. ගැඹුරු මූල්‍ය අර්බුදයක ගිලී ඉන්න  මේ මොහොතේ මෙවන් නිදහස් සැමරුම් කාට නම් අවැසි වේ ද ? දින දෙකක් එක දිගට නොකඩවා විසන්ධි කිරීමකින් තොරව විදුලි බලය ලබා දෙන්නට නොහැකි, ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ටික ලබාදීමට නොහැකි . ගෘහණියකට විශ්වාසයෙන් යුතුව මුළුතැන්ගෙයි  ආහාර පිසීමට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කර දීමට නොහැකි, රටේ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාරපාන ටික පවා ලබා දීමට අපොහොසත් .ගෝඨාභය මහින්ද ඇතුළු මොවුන්ට සදාචාරාත්මක අයිතියක් තිබේද මේ දුෂ්කර අවස්ථාවේ ජනතා මුදල් නාස්ති කරමින් පුහු සැමරුම් කිරීමට .  පසුගිය සති කීපය පුරාවට  මේ ඊනියා නිදහස් දින සැමරීම වෙනුවෙන් පුරුදු පුහුණුවීම් කරන්නටත්  නාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු මේ රට සකලවිධ ව්‍යසනයන්ට ඇද දැමූ විනාශ කාරයින් ඉදිරියේ පෙබරවාරි 4 වැනිදා ගිනි කෙළි-සැණකෙළි පවත්වන්නට වියදම් කළ අති දැවැන්ත මුදල  වැය කළ යුතුව තිබුණේ මතු වී තිබෙන අර්බුදයන්ගෙන් ගොඩ ඒම සඳහා පිළියම් යෙදීම ටයි.

74 වසරක ඊනියා නිදහස් කාල පරාසය තුළ රට පාලනය කළ සියලු දෙනාම අද රට පත්ව ඇති තත්වයට වගකිව යුතුය .එමෙන්ම ගැලවුම් කාරයන් පිළිබඳ  මිත්‍යා විස්වාස දරමින් රට මේ තැනට පත් කරන්නට දිගින් දිගටම දූෂිත පාලකයන් ම තෝරා පත් කර ගත් ජනතාව ද මෙම විනාශයේ  වග උත්තරකරුවන් විය යුතුය. එනමුත් මේ සියළු දුෂ්ට ක්‍රියාවන් ආපසු හැරවීමේ බලය ඇත්තේ ද ජනතාව අත බව ජනතාව සිහිපත් කරගත යුතුය .

අද දවස තුළ නිදහස යනු හුදු වචනයකි .වචනයෙන් ඔබට එහි අර්ථය පරිසමාප්ත කළ හැකි වන්නේ පීඩිත ජනතාව නිදහස යනු කුමක්ද යන්න තේරුම් ගත් දිනට පමණි .එතෙක් පෙබරවාරි 4 පාලකයන්ගේ සැමරුම් දිනක් පමණක්  බවට පත්වේ. මහජන මුදල් නාස්ති වෙන දිනයක් බවට පත් වී පවතිනු ඇත.

leave a reply