27
Fri, Apr

එක්සත් කාන්තා පෙරමුණ ලෙසත් ඩයනා ගමගේ  පදනම  ලෙසත්  මෙකී ආණ්ඩුව  නිර්මාණය  කිරීමටත්, මහින්ද  රාජපක්ෂ රෙජීමය ප්‍රමුක ඒකාධිපති  පාලනය  පරාජය කිරීමටත්,  සුවහසක් මිනිසුන්  එකී  වියරුවෙන්  නිදහස්  කර  ගැනීමට  දායක  වූ  අරගල කල කෙනෙක්  ලෙසත් මෙකී සටහන මා  නියෝජනය  කරන ලාංකීය  ගැහැණිය  ප්‍රමුක  සියලු  ජනතාව  අතරට  පත්  කිරීමට  සිතුවෙමි..

 

 

ඒ  මන්ද  යත් ?

 

 

අප  ජාතිවාදී  ආගම්වාදී  නරුම  සමාජ  සංවර්ධනයේ  ප්‍රගමනයට  දායක  නොවන  වහල්  වැඩවසම්  සිතුවිලි, සහිත  ක්‍රියා කාරීන් පරාජය  කොට  එලවා  දමනු  ලැබිණි. දැන්  අප  නිදහසේ  සිතන්නට  කතා  කරන්නට වෙර  දරන සමාජ   සංවර්ධනයේ  ප්‍රගමනයට දායක  වන මිනිසුන්ය.

 

 

එනිසාවෙන්ම පියාට  එච්  අයි  වී  වයිරසය  වැළදුණු  නිසා  දරුවෙක්ට  ඉගෙනීමට  පාසලක්  අහිමි බව මාධ්‍ය  ඔස්සේ  වාර්තා  වන  විට  ගැහැණියක් ලෙස  ඒ  මවගේ  වේදනාවත්  ඕනෑම  දරුවෙක්ට  පළමුවත්  දෙවනුවත්  තෙවනුවත්  අධ්‍යාපනයට  ඇති  අයිතිය  මා  හිස්  මුදුනින්  පිළිගන්නා නිසාත් ඒ දරුවාත්  මවත්  සොයා  කුලියාපිටියේ  ඔවුන්  වෙසෙන  කුඩා  නිවහන  වෙත  ගමන්  කරනු  ලැබිණි.

 

 

පාර සොයා  ගැනීමට  පාර  අසන  විට  නිවෙස්  ලග  පාත  තවත්  කාන්තාවක්  අපට පාර  කීවේද  කැමැත්තකින්  නොවේ.

' ඔන්න  ඔය  ප්‍රජා  ශාලාව හරියේ  මිස් ගෙවල් ඇත්තේ'

ඒ  වචන  සුහද  ශීලි  නැත.

 

 

ඔවුන්ගේ  එම  හැගීමම දරුවාට  පාසල  අහිමි  කිරීමේ  විරෝධය පළකිරීමේ ඛේදනීය තත්වය  නිර්මාණය  කරන්නට  ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

 

 

නතරකල  නොහැකි  කටුක  යතාර්ථය  එය  වන්න්නේමය. එය  පුද්ගලිකව  ඒ  මිනිසුන්ගේ  වරදක්ද  ? නරුම  කමක්ද ?

 

 

අන්තර්ජාලයේ  මුහුණු  පොතේ  ප්‍රොෆයිල්  පික්චර්  වෙනස්  කර  ගත් පසු  එම හුදු  සටන්  පාඨ කීමෙන්  එම  ප්‍රශ්නය විසදෙන්නේද?

 

 

අප  මුහුණ  දෙන  අභියෝගයත්  විචාරයට  ලක්  කර  ගත  යුතු  ප්‍රශ්තුතයත්  තිබෙන්නේ  අන් තැනක්  නොව  එතනය.

 

 

එකී  තත්වය  වස්තු  විෂය  කර  ගනිමින්  මම  මෙම  ප්‍රශ්නයට  එළබෙන්නෙමි..

 

 

පසුගියදා කුලියාපිටියේ දරුවාගේ සිද්ධියේදී ප්‍රදේශවාසීන්ගේ හැසිරීමෙන් ඒත්තු යන්නේ මෙම රෝගය සම්බන්ධයෙන් ඔවුන්ගේ නිසි දැනුවත් වීමක් නැති බවද ඔවුන්ව දැනුවත් කර නොමැති බවද එසේත් නොමැති නම් ඔවුන් කරුණු වැරදි ලෙස ග්‍රහණය කර ගෙන ඇද්ද පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ඊයේ දිනයේ  පවසා  තිබු  අයුරු  මම  දුටුවෙමි.

 

 

එය  ඉතාමත්  හොඳ  අදහසක්  වන  අතරම  එකසත් කාන්තා  සංවිධානය ලෙස  අපද  ඒ  සමගාමිව වැඩසටහනක්  පැවැත්වීමට  තීරණය  කර  ඇත.

එසේම  නිශ්චිත  සිද්ධියට  අදාලව  මා  නියෝජනය  කරන  පදනමින්  එම  දරුවාගේ  හෙට  දවසේ  අධ්‍යාපනය  වෙනුවෙන්  කල  හැකි  සිදු කිරීමටද  අප  සංවිධානය  තීරණය  කර  ඇත.

 

 

එහෙත්  එතනින් එම ප්‍රශ්නය  විසදෙන්නක්  නොවන  බව  මම  විශ්වාස  කරන්නෙමි. ඇත්තටම  ප්‍රශ්නය  නිර්මාණය  වන්නේ  කුලියාපිටියේ ප්‍රදේශවාසීන්ගේ නොදැනුවත්  කම පමණමද?

 

 

නැත  එය  එසේ  නොවේ. මා  එය  දකින්නේ   එය  ඉඳි  කටුවක පැටලුණු නූල් බෝලයක්  මෙන්  සිතුම්  පැතුම්  වලට  සීමා  නොවූ මුළු මහත්  ක්‍රමවේදයක  අර්බුදයකි. එය  ශ්‍රීලංකාවට පමණක්  සීමා  නොවන  මෙවැනි  රෝගයක්  ඇති  වූ  පසු  මුළුමහත්  ලෝකය පුරාම  ඇති වී තිබෙන  නිවැරදි  ක්‍රියාවලියක්  නැති  වීමේ  ප්‍රතිඵලයකි.

 

 

මේ සංකීර්ණ  කාරණාව වචන  කිහිපයකට  ගොනු  කිරීමට  යෑමේ  ප්‍රතිඵලයක්  ලෙස  අධ්‍යාපන  අමාත්‍ය  අකිල  විරාජ්  කාරියවසම්ට පක්ෂ  විපක්ෂ  සියලු  දෙනා  එක් වී  අර්ථ  විරහිතව  දෝස් මුරය  නගන  බව  මම  විශ්වාස  කරමි .

 

 

අකිල  විරාජ්  ඇමති  වරයා  මේ  වන  විට  දරුවාට  උසස්  පාසලක්  වෙන්  කර  දී  අවසානය.

 

 

සමහරවිටක අන්තර්ජාලයේ  සමාජ  වෙබ්  අඩවි  වල  දිගින්  දිගට  විරෝධය  පල  කරන  දරුවාගේ  අධ්‍යාපනය  වෙනුවෙන්  හඬ  නගන,මුහුණු  පොතේ  face book හි  ප්‍රොෆයිල්  පික්චර්  මාරු  කරගෙන  සිටින  දෙමා  පියන්ම  ඔවුන්ගේ  දරුවා  සිටින  පාසල බව  දැන ගන්නා පළමු  මොහොතේම,..

 

 

ඉහත  කී  සියළු සංවේදී  කතා  පසෙකලා

 'අපේ  ළමය  ඉන්න  ඉස්කෝලෙට  ඔය  දරුවා  දාන්න  එපා'

 යනුවෙන්  තවත්  ප්‍රශ්නයක්  නිර්මාණය  විය  හැක..

 

 

පියා  මිය  ගියේ  එච් අයි  වී  වයිරසයෙන්ද  ? මවට  එම  වයිරසය  තිබෙන්නේද ? එකී  සංවාදයට  මා  පැටලෙන්නෙම නැත. මන්ද  මා  මතුකරණ තර්කය  සනාත  කිරීමට  එය  අදාළ  වන්නේ  නැත.

 

 

එය  කුමක්  වුවත්  දැන්  එකී  සැකය  නිර්මාණය  වී  අවසන්ය. කුලියාපිටියේ  දෙමාපියන්  ක්‍රියා  කරන්නේ  එම  සැකය  සහිතවය. හෙට  දවසේ  දරුවා  ඉගෙන  ගන්නා  පාසලේ  දෙමා  පියන්  මේ  ඒ  දරුවායැයි දැන ගතහොත්  ක්‍රියා  කරන්නේ  ඉහත  මා  කී  සැකය  සහිතවය.

 

 

එසේ  ක්‍රියා  කරනවිට  ඔවුන්ගේ  මනෝභාවය  ක්‍රියා  කරනුයේ'අම්මට එච්  අයි  වී  තියෙනවනම්  අම්මට  තුවාලයක්  වුනු  වෙලාවක එවැනි මොහොතක  වුව  දරුවාට  එම ලේ  මුහු  වුවහොත්  දරුවාට  එච්  අයි  වී වයිරසය  පැමිණීමේ  සම්භාවිතාව  ඇත  යන සැකයෙනි.

 

 

එසේ වන  කල්හි  මගේ  දරුවටත්  දරුවෝ  දරුවෝ  රණ්ඩුවක්  වෙන  වෙලාවකවත්  ඒච් අයි  වී  එන්න  පුළුවන්. ඕනෑම  දෙමාපියෙක් සීයට  එකේ  එම  සැකයට  හෝ  බිය  වීම  සාමාන්‍ය  දෙයකි.

 

 

එසේනම්  නිර්මාණය  වී  ඇති  එම  කටුක යතාර්තයට  පිළිතුරු  හෙවීම  හැර  අන්  කිසිදු  පිළිතුරකින්  හෝ  දිගින්  දිගට  මෙය  පුවතක් ලෙස  තම  මාධ්‍ය  ජනප්‍රිය  කර  ගැනීමටත්  පටු  දේශපාලන  අරමුණු  වෙනුවෙන්  යොදා  ගැනීම  තුලත්  සිදු  වන්නේ  අන් කිසිවක් නොව  දරුවාගේ  මුළු  මහත්  අනාගතයම  විනාශ  කිරීමකි.

 

 

පිළිතුර  ඇත්තේ  කොතනද ?

 

 

මෙම  මවට  සහ  දරුවාට  එංගලන්තයේ  සිටින  ශ්‍රීලාංකිකයන්  පිරිසක්  එංගලන්තයට ඔවුන් ගෙන්වා  ගැනීමට  කටයතු  කරන  බව  තොරතුරු  මාධ්‍ය  ඔස්සේ  වාර්තා  වූ  අයුරු  මම  දුටුවෙමි.

 

 

මා  ඉතා  හොදින්  දන්නා  කරුණු  අනුව  මවට  එච්  අයි  වී  වයිරසය  තිබෙන්නේනම්  විදෙස්  ගත  වීමට  පෙර  සිඳුකරන  පරීක්ෂණ  වලදී  එය හෙළි  වන  අතර  බොහෝ  විට  එය ඇයට විදෙස්  ගත  වීමට  මඟද  අහුරනු  ඇත. අනෙක්  කරුණ  ඇයට එම  වයිරසය  තිබේද  නැද්ද  යන්න  පරීක්ෂා  කර  ගැනීම  ඇගේ විදෙස්  ගත වීමටත්  එංගලන්තයේ  සිටන එකී  ආදරණිය  ශ්‍රී  ලාංකික  මිනිසුන්ගේ  උත්සාහයත්  යතාර්ථයක්  කර  ගැනීමට  පිටුවහලකි.

 

 

එසේම  මේ  මොහොතේ  ඇයට සමාජයෙන්  එල්ල  වන  කටුක  යථාර්ථයට මුහුණ  දීමටද  ඇයට ලැබෙන  මහත්  වූ  අස් වැසිල්ලකි. යම්  හෙයකින්  ඇයට එම  වයිරසය  තිබෙන්නේනම්  හෙට  දවසේ  ඇයගේ ජීවිතයටත්  දරුවාගේ  ජීවිතයටත්  දවත්  බොහෝ දෙනෙක්ගේ  ජීවිත  වලට සිදු  කරන  මහත්  වූ  සධාරණයකි.

 

 

මන්ද පියා  මිය  ගියේ  එච් අයි  වී  වයිරසයෙන්ද  ?මවට  එම  වයිරසය  තිබෙන්නේද ? සංවාදය  නොව  ඇති  වී  තිබෙන  යථාර්ථයට පිළිතුරු  සෙවිය  හැක්කේ  එලෙසින්  පමණි.

 

 

අපි මෙකි  නිශ්චිත  ප්‍රශ්නය  මදකට  බැහැර  කර  හෙට  දවසේ  මෙවන්  තත්වයක්  ඇති  වුවහොත්  අප  ගත  යුතු  ක්‍රියා  මාර්ගය  කුමක්ද ?

 

 

1 කුලියාපිටිය  පාසලේ  දෙමාපියන්  මෙන්  රැස්වීමක්  පවත්වා  දරුවා  පාසලට  ගැනීමට  විරෝධය පෑමද?

 

 

2  තමන්ගේ  දරුවාට  පාසලක්  නොමැති  වෙන  කල්හි  පාසලක්  සොයා  කුලියාපිටිය  අධ්‍යාපන  කාර්යාලයට  පැමිණෙන  විට  අදාළ  අධ්‍යාපන නිලධාරින්  සැගවීමද? ( කුලියාපිටිය  මව  මට  පැවසු  පරිදි  එසේ  සිදු  වී  ඇත )

 

 

3 මෙවැනි  ප්‍රශ්නයක් රස  කර  කෑමේ  න්‍යාය  අනුව  නොයෙක්  ව්‍යාපෘති  උදෙසා  රස  කර  කෑමද ?

 

 

නැත මුළු  ක්‍රියාවලියේම  ප්‍රතිපලය  එකී  තත්වයට  මුහුණ  දෙන්නන්ට  සිදු  කරන  බලවත්  අසාධාරණයකි. මෙවැනි  රෝගී තත්වයන් ඇති  වූ  පසු  වෙනත්    රටවල්  ක්‍රියා  කරන  ක්‍රියාමාර්ග  සීයට සියක්  නිවැරදි  නොවුවද  අප  අධ්‍යනය  කල  යුතුව  ඇත.

 

 

කුලියාපිටිය  තත්වයක්  ඇති  නොවීමට සමාජයේ  ඔවුන්  විශේශිතයන්  නොවීමට  අප  වග  බලා  ගත  යුතුය. ඔවුනුත් අප  වැනි  මිනිසුන්  බවට  පත්  කල  යුතුය. එසේම  රෝගී  තත්වයන්  හදුනාගෙන  තවත් කෙනෙකුට  ඇතිවීමද  වැළක්විය  යුතුමය.

 

 

එය  මුළු මහත්  රාජ්‍ය  පද්ධතිය  තුල  නිවැරදි  විය  යුතු  තත්වයකි. මෙකී  ආණ්ඩුව ක්‍රියාත්මක  කරවනු  ලබන  එක්සත් ජාතික පක්ෂයේ  සාමාජිකාවක්  ලෙස  හෙට  දවසේ  ඊට අදාළ  අප සංවිධානයේ  යෝජනා  අදාළ  බලධාරීන්ට  ලබා  දීමත්  ක්‍රියාත්මක කිරීමටත්  පොරොන්දු  වන  වග  මෙහිලා  සදහන්  කල  යුතුමය.

 

 

නැවත අප  කුලියාපිටිය නිශ්චිත  ප්‍රශ්නයට  එළබෙමු.

 

 

1 දැන්  වහාම සියළු මාධ්‍ය  දර්ශන  නැවතිය  යුතුය. එයට  රජය  මැදිහත්  විය  යුතුය. කුලියාපිටිය  මව  දරුවා  විශේශිතයන් නොවන්නේ එසේය. අධ්‍යාපන  ඇමතිවරයා  කියන  පරිදි පාසලක්  සුදානම්  නම් එම  පාසලට  දරුවා  ඇතුලත්  කල  යුතුය.

 

 

2 මව රෝගී  තත්වය  පිලිබදව  ඇයටද ප්‍රශ්නයක්  තිබෙන්නේ නම්  එය  ඉතා  ඉකමනින්  නිවැරදි  කර  ගත  යුතුය.

 

 

3 එසේ නොවෙන්නේනම් ඇයට නිර්මාණය  වී  ඇති  තත්වයෙන්  පීඩාවෙන්  මිදී  ජීවත්  වීමට  සියලු  පරිසරයන්  රජය  අප  මැදිහත්  වී  ඉටු කල  යුතුය.

පියා  මිය  ගියේ  එච් අයි  වී  වයිරසයෙන්ද  ? මවට  එම  වයිරසය  තිබෙන්නේද ? සංවාදය  අදාළ  නොවන්නේ  ඉහත  සියලු  තර්කයන් මතය.

කුණු  වී  ඕජස්  ගලන  ප්‍රශ්නයක  ඒ  ඕජස්  රස  නොබලා  ඉතා  ඉක්මනින්  මුලින්  වේදනා  නාශක  දී  වේදනාව  සමනය  කොට ප්‍රශ්නයේ  මුල  මැද අග  සොයා නිශ්චිත  ස්ථිර ප්‍රතිකාර  ලබා  දිය  යුතුය.

 

 

ඒ වෙනුවෙන් කල  හැකි සියල්ල  සිදු උපරිමයෙන් දායක  වීමට  මෙහිලා  ඔබට  පොරොන්දු  වන අතරම  මේ දසතින්  පැටලුණු ප්‍රශ්නයත්  හෙට  දවසේද ඇති  විය  හැකි  මෙවැනි  තත්වයන්  වලට  මුහුණ  දීමටත්  ඔබේ  අවංක  වූ  මැදිහත්  වීමත්  එක්සත් කාන්තා පෙරමුණ ලෙස අප  බලාපොරොත්තු  වෙන්නෙමු.

 

 

ඔබට  රටට  ජය. සියල්ලෝ  මිනිසුන්ය.

 

 

ඩයනා ගමගේ.

 

 

එක්සත් කාන්තා පෙරමුණේ සභාපතිනි..