22
Sun, Apr

කවිය

ඒ යතුර
එවන් යතුරක්
පරණ යකඩ කඩයක් අසල
මලකඩ වතින් වැතිරගෙන
බලා වටපිට
අහුලගෙන එය
රැගෙන යමි
නිවෙස වෙත
බිරිඳ එහෙමෙහෙ
වනතුරා හිඳ
අතට ගෙන එය
හරිමි හෙමිහිට
වැසුණු කුටියක
අගුළු ලූ දොර

ළහිරු කරුණාරත්න

යට සඳහන් කවිය මාර්තු මස පැවති කවි රසික සංවාද මණ්ඩපයේ දී පළමුවෙන් ම සාකච්ඡාවට ගත් කවිය යි. මෙහි දි මෙම කවිය පිළිබද කිසියම් සංවාදාත්මකභාවයක් සිදු වු අතර ප්‍රවීණයෝ තම තම නැණ පමණින් ද නවීන යෝ තම තම නැණ පමණින් ද විග්‍රහ කළෝ ය. කව් රස විඳින්නකු ලෙස මට ඒ කිසිවක් අදාළ නොවූව ද ඒ මොහොතේ මතු වු සාකච්ඡාව පිළිබඳව ද මගේ අදහස දක්වමින් ම කවියේ මගේ විඳුමට ප්‍රවේශ වන්නට අවසර...,
එහි දී මතු වූ ප්‍රධාන තර්කයක් වූයේ කවියේ පළමු පදය ම ගැටලුකාරි බවයි. එනම් ‘‘එවන් යතුරක්’’ යන්න පාඨකයාට ගැටලුවක් වන බවයි. ඒ ‘‘එවන්’’ යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් ද යන්න ය. ඒ කුමක් ද යන්න කවියා පැවසිය යුතු යැයි මම නම් නොසිතමි. මන්ද ඒ කවියාගේ සිතුවිල්ලයි. එය ඉදිරිපත්කරන කථකයා ගේ සිතුවිල්ල ‘‘එවන් යතුරක්’’ යන්න ය. එය කෙබඳු යතුරක් ද යන්න පාඨක ප්‍රජාව විසින් වටහාගනු ලබනු ඇත.

සරල උදාහරණයකින් පැහැදිලි කරන්නේ නම්, මම මාවතක ඇවිද යනවිට දැකපුරුදු මුහුණක හැඩරුවැති පුද්ගලයකු දුටුවොහොත් ‘‘ආ... හරියට ම එයා වගේ’’ හෝ ‘‘ඒ වගේමයි’’ යනුවෙන් නොසිතෙනු ඇති ද? ඒ නිමේෂය කවියා එසේ ඉදිරිපත් කළා නොවේ ද? මන්ද මට ද එසේ සිතුණු වාර අනන්ත ය; අප්‍රමාණ ය. කථකයාගේ සිතුවිල්ල ද එබඳු යැයි මට හැඟුණි. ඇතැම් විට එය මගේ දැනුමේ මඳභාවය ද විය හැකි ය. නමුත් ඒ මට එය දැනුණු ආකාරයේ යථා ස්වරුපය යි. (මේ පිළිබඳව වැඩි දුරටත් හැදෑරීමට කැමති පාඨකයකු වේ නම් ජනක මහබෙල්ලන කවියාගේ ‘‘උපාසක මුහුද’’ කෘතියේ 62වන පිටුවේ අන්තර්ගත ‘‘පෙරමග’’ නමැති කවිය කියවන්න. එය සංයුක්ත කවියක් බැවින් උපුටා දැක්විය නොහැකි ය.)
එයින් අනතුරුව...

‘‘පරණ යකඩ කඩයක් අසල
මලකඩ වතින් වැතිරගෙන’’


යන දෙපදය ද තරමක් සංවාදයට බඳුන් විය. ඒ අදාළ කවිය එක් එක් පුද්ගලයා විඳිනා’කාරය අනුව යැයි මට හැඟේ. කවියා කුමක් පවසනවාද යන්න පාඨකයාට නිවැරැදිව ම ග්‍රහණය නොවන්නට පිළිවන. එහෙත් පාඨකයාගේ බින්න රුචිකත්වය අනුව එය විඳිය හැකිය. ඒ අනුව මට නම් යට කී දෙපදයෙහි ද කිසිඳු අවුලක් නොවුණි. මම එය මට අනුව විඳගත්තෙමි.

මට නම් එය දැනුනේ ගරා වැටුණු බස් නැවතුමක් අසල කිළිටි ඇඳුමෙන් ගත දවටාගත් කාන්තාවක හෝ පුරුෂයකු දුටු කථකයා ‘‘ආ... ඒ අසවලා නේදැයි’’ තමාට ම කියාගන්නා ආකාරය යි. මේ පරණ යකඩ ඇණය යනු ම කථකයාගේ පැරණි පෙම්වතියක් බව කවියා පිළිබිඹු කරන්නේ ඊළග පියවරේ දී ය.

‘‘බලා වටපිට
අහුලගෙන එය
රැගෙන යමි
නිවෙස වෙත’’


මලකඩ කෑ ඇණයක් ලෙස ඉදිරිපත් කරන රූපකය කථකයාට ඉතා වටිනා වස්තුවක් බව ඒත්තු යන්නේ මෙහි දී ය. එසේ නොවන්නට කථකයාට එම රූපකය හැමට හොරෙන් අහුලාගෙන නිවසට රැගෙන යාමට අවැසිවන්නේ නැත. ඒ ඇතැම් විට මෙම කාන්තාව තමා දකීවි යන සිතුවිල්ල හේතුවෙන් කථකයා හැකි ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත්වන බව හඟවන ව්‍යංගාර්ථයක් ලෙස මට හැගුණි. කවියා ඊළග පියවරේ දී සමස්ත සිදුවීම් මාලාව ම එක මිටකට කැටිකර පාඨකයා වෙත විදාරණය කරන අන්දම පිළිබඳ අවධානය යොමු කරමු.


‘‘බිරිඳ එහෙමෙහෙ
වනතුරා හිඳ
අතට ගෙන එය
හරිමි හෙමිහිට
වැසුණු කුටියක
අගුළු ලූ දොර’’


මෙ අවසාන කොටසේ පද බෙදීම පිළිබඳව ද තරමක කතාබහක් ඇතිවුණි. එය කෙසේ වෙතත් මට හැඟුණු ආකාරයට නම් කථකයාගේ අතීත සිතුවිලි ලෝකය වෙත ඔහු මනසින් පියඹා යන්නේ සිය බිරිඳ තමා අසල නොගැවසෙන මොහොතක ය. ඒ, කථකයාට සිය අතීතය නිදහසේ විඳීමට ඉඩ-කඩ සලසා ගැනීම සඳහා ය. මෙහි දි කථකයා ‘‘අතට ගෙන එය’’ යනුවෙන් වක්බිණුමකින් සඳහන් කරන්නේ සිය අතීත සිතුවිලි මනසේ තැන්පත්කරගැනීම යැයි මට හැඟුණි. එමෙන් ම ඒ අතීත සිතුවිලි සියල්ල කථකයා අමතක කර දමා තිබු බව ගම්‍ය කරන්ට කවියා යොදාගන්නා වක්ක්‍රෝක්තිය ද කදිම ය.


‘‘හරිමි හෙමිහිට
වැසුණු කුටියක
අගුළු ලූ දොර’’


ඒ අතීත සිදුවිම් සියල්ල ම කථකයා කෙතෙරම් තදින් අමතක කර දමා ඇති ද යන්න මෙම රූපක හරහා කෙරෙන වයංගාර්ථයෙන් ප්‍රකට නොවන්නේ ද?

කවි රසික සංවාද මණ්ඩපය - 2018 මාර්තු 03


Jayasiri Alawatta

Add comment


Security code
Refresh