Breaking News

තමනුත් වගකිවයුතු රට බංකොලොත් වීම ගැන සොයන්න රනිල්ගෙන් කොමිටියක්

වැරදි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මගින් ආර්ථිකය බංකොලොත් භාවයට ගෙනගිය පිරිස් ගැන සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ ඊයේ (08) අයවැය තෙවැනි වර කියැවීමේ විවාදයට එක්වෙමින්. රනිල් වික්‍රමසිංහ පැවසුවේ ඒ සඳහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් ද පත් කළ හැකි නමුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම සුදුසු බවයි.

දුරදිග නොබලා ජනප්‍රිය තීන්දු තීරණ ගැනීම හේතුවෙන් අද රට බලවත් දුෂ්කරතාවකට මුහුණ දී සිටින බවත්, රටේ අනාගතය යහපත් කිරීමට නම් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට සිදුව තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රට මෙවැනි ආර්ථික අර්බුදයකට පත්වීමට වැරදි තීන්දු තීරණ ගත් පර්ශ්වයන් සහ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස මෙහිදී මන්ත්‍රීවරු කළ ඉල්ලීමට ජනාධිපතිවරයා සිය එකඟත්වය පළ කරමින් ඒ බව සඳහන් කර ඇත.

ඒ සම්බන්ධයෙන් තමනට කිසිවක් සැඟවීමට අවශ්‍ය නොවන බවත් හිටපු ජනාධිපතිවරයා ද අනුමැතිය පළ කරන ලද බදු සහන යෝජනා සම්බන්ධයෙන් ද සොයා බැලීම සුදුසු බවත් එහිදී ජනාධිපතිවරයා පවසා ඇත.

තමන් ගෝඨාභයට කලින් ආණ්ඩුවේ අගමැතිව සිටි බව රනිල් වික්‍රමසිංහට අමතක වී තිබේ. මේ ආර්ථික අර්බුදය යනු හදිසියේ පහල වූවක් නොවේ. රනිල් වික්‍රමසිංහ ද පාලනයට සම්බන්ධ වූ විවිධ කාලවල තිබූ ආණ්ඩු විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති අනුව ඇතිවූවකි. එසේනම් රනිල් වික්‍රමසිංහ ද මේ අර්බුදයට ඍජුව වගකිව යුතුව ඇත.

leave a reply