Breaking News

ලාල්කාන්තගේ ප්‍රකාශයට පරිසරවේදීන්ගේ විරෝධය

සුපුන් ළහිරු ප්‍රකාශ්

ගොවීන්ට ගිනි අවි නිකුත් කිරීමට උත්සාහ කළ පසුගිය රජයන් සහ ගොවීන් තම ඉඩම් තුළදී වන සතුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් නීතිමය ප්‍රශ්න නොමැති බව පැවසූ රජයේ ප්‍රභල පෙළේ දේශපාලනඥයෙකු වන කෘෂිකර්ම අමාත්‍යවරයා නියෝජනය කරන වත්මන් රජය අතර කිසිඳු වෙනසක් නැත. වනජීවී-මිනිස් ගැටුම් දිගුකාලීන ගැටලුවක් වන අතර කඩිනම් සහ පහසු විසඳුම් නොමැත. තාර්කික ආණ්ඩු මේ ප්‍රශ්නය දෙස බැලිය යුත්තේ මිනිසුන් නොමග යවන අමනෝඥ ප්‍රකාශ කරනවාට වඩා විද්‍යාත්මකව ය. ඒ මන්ද යත් රජය මිනිසුන්ට පමණක් නොව අනෙකුත් සියලුම ජීවීන් සඳහාද වන බැවිණි. කෙසේ වෙතත්, එය පවතින ආණ්ඩුවේ මතය නොවන බව අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලිවේ. පරිසරයට සම්බන්ධ සියලුම රාජ්‍ය ආයතන පරිසර අමාත්‍යාංශය යටතට පත්වීම ගැන පරිසරවේදීන් වශයෙන් අපි සතුටට පත්වූ නමුත් මෙම බියකරු ප්‍රකාශය හේතුවෙන් තවදුරටත් අපට සතුටු වීමට අවස්ථාවක් නොලැබෙන අතර වහාම මෙම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙස අපි අමාත්‍යවරයාට බලකර සිටිමු. මෙම ප්‍රකාශය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට පමණක් නොව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පවා පටහැනි බව මම තරයේ විශ්වාස කරමි.

ලෝකයේ අලි – මිනිස් ගැටුම හේතුවෙන් වාර්ෂිකව වැඩිම අලි මරණ අනුපාතය වාර්තා වන රට ශ්‍රී ලංකාවයි. මේ වසරේ පමණක් මේ වන විට අලි ඇතුන් 350කට වැඩි ප්‍රමාණයක් අපට අහිමි වී ඇත. වෙඩි වැදුණු කැළැල් නැති අලියෙක් මෙරට වන ගහනය තුළින් සොයාගැනීම පවා දුෂ්කරය. කෘෂිකාර්මික ඉඩම්වලට පැමිණෙන ඔවුන් දිනපතා වෙඩි තැබීම් වලට ගොදුරු වෙයි. එසේ නොමැති නම් ඔවුන්ට විදුලි සැරට මුහුණ දීමට සිදුවේ. ගොවීන් අලින්ගේ පිටුපස ප්‍රදේශයට වෙඩි තියන්නේ පවතින නීතිරීති හමුවේ වන අලියෙකු වෙඩි පහරකට ලක්ව මරණයට පත්වුවහොත් විශාල දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වන බැවිනි. කෙසේ වෙතත්, දැන් ඇමතිවරයා ඝාතනය ආරම්භ කිරීමට ඉඩ දී ගොවීන්ට කළ හැකි ඕනෑම දෙයක් කිරීමට අවසර දී ඇත. මෙය අතිශය ඛේදනීය තත්ත්වයක් වන අතර ඉදිරියේදී මෙරට අලි මරණ සංඛ්‍යාව ඉහළ යාම වේගවත් කිරීමට හේතු වනු ඇත.

මේ ආණ්ඩුවේ පාලන සමය ආරම්භයේදීම ඔළුවේ කැක්කුම සුවකර ගැනීමට කොට්ට මාරු කරන්නාක් මෙන් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් වනජීවී – මිනිස් ගැටුම් කළමනාකරණය කෘෂිකර්ම අමාත්‍යාංශයට මාරු කළ අතර ඇමැතිවරයාගේ මෙම ප්‍රකාශය ආණ්ඩුවේ එකී වැරදි ගමනේම දිගුවකි. වනජීවී – මිනිස් ගැටුම් අවම කිරීම, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් සීමා නොවී විද්‍යාත්මක හා සාකල්‍ය ප්‍රවේශයක් ඔස්සේ ක්‍රියාත්මක විය යුතු නමුත් ආණ්ඩුවේ මෙම වර්තමාන පිළිවෙත රටේ සැබෑ අවශ්‍යතාවයට හා වත්මන් රජයේ ජනවරමට පිටුපෑමක් බව කණගාටුවෙන් නමුත් සඳහන් කළ යුතුය.

සුපුන් ළහිරු ප්‍රකාශ්
පරිසර සංරක්ෂණවේදී සහ පර්යේෂක

සබැඳි පුවත් 

leave a reply