බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක්වූ එකම සමීපතමයකු හෝ සොයා දීමට අසමත් වූ අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයට තව දුරටත් නව සාමාජිකයන් බදවා ගැනීමේ අරමුණ කුමක්දැයි යුද වින්දිත දෙමළ කාන්තාවන් විසින් ප්‍රශ්න කර තිබේ.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කර තිබුනේ, 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම පනතේ (සංශෝධිත පරිදි) විධිවිධාන ප්‍රකාරව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ඕ.එම්.පී සාමාජික ධුරයන්ගේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් සහිත තැනැත්තන්ගෙන් අයදුම්පත් කැඳවීම ආරම්භකර ඇති බව යි.
”OMP කාර්යාලයට නව පත්වීම් ඉල්ලීම සම්බන්ධයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ ස්ථාවරය” මැයෙන් දෙසැම්බර් 3 වැනි අගහරුවාදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමය අවධාරණය කරන්නේ අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය විසඳීමට OMP කාර්යාලයට අවශ්‍ය නම් ඔවුන් කළ යුත්තේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසුරුවා හැරීම බවයි.
“ඔවුන්ට ඇත්තටම අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය නම් මේ අකාර්යක්ෂම OMP එක වහා විසුරුවා හරින්න ඕන. අපේ ඥාතීන් බාර දීපු, බාර වෙච්චි, අත්අඩංගුවට ගත් වැදගත් කදවුරු හතරකට බාරව හිටපු අය ගැන සොයා බලලා ඇත්ත දැන ගත යුතුයි. අපේ ඥාතීන් අතුරුදන් කළ හමුදා නිලධාරීන් තවමත් ජීවතුන් අතර ඉන්නවා. ඔවුන්ගෙන් ප්‍රශ්න කර සත්‍යය දැනගත යුතුයි. එය වසර ගණනාවක් රැවටුණු අපට හොඳ සංඥාවක්. ඒක නොකර, අපි ප්‍රතික්‍ෂේප කළ OMP එකට අලුත් අය බඳවා ගන්න හදනවා කියන්නේ අපිව දිගටම රවට්ටන්න තමයි හැමෝම උත්සාහ කරන්නේ කියන හැඟීම තමයි වින්දිතයන් තුළ ඇති වෙන්නේ.”
උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි යෝගරාසා කලාරන්ජනී සහ එම සංගමයේ ලේකම් ලීලාදේවි ආනන්දනඩරාජා යන අයගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන නිවේදනය මගින් ඔවුන් තව දුරටත් චෝදනා කර ඇත්තේ පැවැති ආණ්ඩු සේම නව රජයද තම ප්‍රශ්නය දෙස බලන ආකාරයේ වෙනසක් දැක ගත නොහැකි බවයි .ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සම්මත කරගත් 30/1 ගිවිසුමට හවුල්වූ එවකට පැවැති රජය විසින් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) පාර්ලිමේන්තු පනතක් මගින් 2017 දී පිහිටුවන ලද්දේ අතුරුදහන් වුවන් පිළිබඳ සත්‍යය විමර්ශනයෙන් හෙළිකර ගැනීම සඳහාය.
ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම අරමුණු කොටගෙන 2015 දී සම්මත කරගන්නා ලද 30/1 යෝජනාවේ සත්‍ය, යුක්තිය, වන්දි ගෙවීම සහ නැවත සිදු නොවීමට වග බලා ගැනීම යන කුළුනු 4 ඇති වැදගත් කම ඉස්මතු කරන දෙමළ මව්වරුන් අවධාරණය කරන්නේ සත්‍ය දැන ගැනීමෙන් පසු එය අධිකරණ ක්‍රියාවලියට යොමු කළ යුතු බව එහි සදහන් වූවත් ගෙවී ගිය සත් වසරක කාලය තුළ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය එකදු සත්‍යයක් හෝ හෙළි කර නොමැති බවයි.
2024 නොවැම්බර් මාසයේ මාධ්‍ය හමුවක් පවත්වමින් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) සාමාජික තම්බයියා යෝගරාජා කිලිනොච්චියේදී පවසා තිබුනේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට මේ වනවිට අතුරුදහන් වීම් සම්බන්ධයෙන් අයදුම්පත් 21,630ක් ලැබි ඇති අතර එක පැමිණිලිකරුවකුට රුපියල් ලක්ෂ දෙක බැගින් පුද්ගලයන් 3,800 කට වැඩි පිරිසකට අතුරු සහන ලබාදී ඇති බවයි. දෙමළ මව්වරුන් දිගින් දිගටම ඉල්ලා සිටින යුක්තිය ලබා දීම පසෙක ලා වන්දි ගෙවීමේ කාර්යාලයක් පිහිටුවීමේ අරමුණද අභියෝගයට ලක් කරමින් සිය නිවේදනය මගින් උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමය ප්‍රශ්න කරන්නේ මුදල් ලබා දී වින්දිතයන් ප්‍රමාණයක් නිහඩ කර බලහත්කාරයෙන් අතුරුදහන් කළ පිරිසේ ප්‍රමාණය අඩු කර පෙන්විම එහි අරමුණද යන්නයි.
බලහත්කාරයෙන් අතුරුදහන් කළ සිය සමීපතමයන් පස් දෙනකු සොයා ගැනීම වෙනුවෙන් 2019 වසරේ ජුලි 20 වැනිදා අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට වින්දිත මාතාවන් විසින් ලබා දුන් තොරතුරු ඇතුලත් ලියවිලිද එම කාර්යාලය විසින් අස්ථානගත කර, එම තොරතුරු ආපසු ඉල්ලීම අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ වගකීම් විරහිත හැසිරීමට හොද නිදසුනක් ලෙස යෝගරාසා කලාරන්ජනී මාතාවත්, ලීලාදේවි ආනන්දනඩරාජා මාතාවක් සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.