විවිධ ඊ-වාණිජ්‍යය වෙබ් අඩවි හරහා ලංකාවට ගෙනෙන භාණ්ඩ රේගුවේ හිරවීම පිළිබඳව මේ දිනවල විශේෂ කතා බහක් ඇතිවී තිබෙනවා. සමහරුන් කරුණු නිසි පරිදි නොදැන මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස මටත් චෝදනා කර තිබුණා. මේ වීඩියෝව මගින් ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව මා උපරිම පැහැදිලි කිරීමක් කරනවා. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට කැමති අයට මේ වීඩියෝවෙන් සත්‍ය දැනගත හැකියි. මෙහිදී, මා වැදගත් යමක් අවධාරණය කළ යුතුයි.
මෙම ගැටලුව මුදල් කාරක සභාවට පැමිණීමට පෙරම ඇතිවූවක්. මෙය පසුගිය අප්‍රේල් මාසයේදී තමයි ඇතිවී තිබුණේ. නමුත්, ඒ පිළිබඳව නොදන්නා අයත් මාහට සිතාමතාම අවලාද නැගීමට බලා සිටින අයත් මේ චෝදනාව මා ඉලක්ක කර ඉදිරිපත් කරන අවස්ථා අපි දැක්කා. රජය විසින් මෙහිදී ගත් වැරදි තීන්දුවක් මේ ගැටලුව උත්සන්න වීමට හේතුවී තිබෙනවා. මෙම ඊ-වාණිජ්‍ය වෙබ් අඩවි හරහා පුද්ගලයින් තමන්ගේ පරිහරණයට භාණ්ඩ එකක් හෝ දෙකක් ගෙන්වනවා. ඒකට කියන්නේ B2C, එහෙමත් නැත්නම් business to consumer කියලා. තවත් කණ්ඩායමක් ලාභ ලැබීම සඳහා ව්‍යාපාරයක් ලෙස විශාල වශයෙන් භාණ්ඩ ආනයනයට යොමුවී තිබෙනවා.
මේ කණ්ඩායම B2B. ඒ කියන්නේ business to business. මේ පිරිස් දෙක වෙන් වෙන් වශයෙන් වර්ගීකරණය නොකර සියලුම දෙනාට එකම බද්දක් පැනවීමට ආණ්ඩුව ගත් තීරණය වැරදියි. එය නොකළ යුතුයි. ආණ්ඩුව පුද්ගලික පරිහරණය සහ වාණිජ අරමුණු යන්න නිසි පරිදි හඳුනාගෙන නැති බවයි පෙනෙන්නේ. නමුත්, තොග වශයෙන් භාණ්ඩ ආනයනය කර අලෙවිකරන වෙළෙඳුන්ට යම් නියාමනයක් අවශ්‍යයයි. මන්දයත් ඒ තුළින් දේශීය නිශ්පාදන වලට ගැටලුවක් ඇතිවන නිසා. ලෝකයේ බොහෝ රටවල මෙවැනි Anti dumping නියාමනයන් ක්‍රියාත්මක වෙනවා. නමුත්, රටේ අති බහුතර පිරිස විශේෂයෙන්ම තරුණ පිරිස මෙම වෙබ් අඩවි මගින් භාණ්ඩ ගෙන්වන්නේ ව්‍යාපාරික අරමුණෙන් නෙවෙයි.
ඒ තමන්ගේ පරිහරණය සඳහායි. මේ නිසා, ඊ-වාණිජ්‍ය වෙබ් අඩවි හරහා පුද්ගලික පරිහරණයට ගෙනෙන භාණ්ඩ වලට (B2C) අදාළ ප්‍රතිපත්තිය වහාම නිවැරදි කරන්නැයි මා ඉල්ලා සිටිනවා.
ආචාර්ය හර්ෂ ද සිල්වා – පාර්ලිමේන්තු මන්ත්‍රී