Breaking News

අරගලයට එල්ල කළ මෙල්ච්ඡ ප්‍රහාරයෙන් තුවාල ලැබූ හිටපු මළල ක්‍රීඩකයාගේ අත්දැකීම

පසුගියදා ගෝල්ෆේස් අරගලයට එල්ල කළ මෙල්ච්ඡ ප්‍රහාරය අවස්ථාවේ ගුවන් හමුදාව විසින් සිවිල් පුරවැසියකුට කර ඇති අමානුෂික පහර දීම සම්බන්ධ අත්දැකීම ඔහු තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙනවා. සචිත් මධුරංග නැමති ඔහු ලංකාවට ජගත් කීර්තිය ගෙනදුන් මළල ක්‍රීඩකයෙකි. ගුවන් හමුදා නිලධාරීන් විසින් ක්‍රෙස්කැට් ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන්ට සහ සාමාන්‍ය පුරවැසියන්ට එල්ල කළ ප්‍රහාරයේදී හිසට සහ පාදවලට ඇති වූ තුවාල හේතු කරගෙන ජාතික රෝහලට ඇතුළත් කර ඇත. පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබාදී ඇති අයිතිවාසිකම් භුක්ති විඳීම, සාමකාමීව රැස්වීම, සාමකාමීව විරෝධතා දැක්වීම යනාදියට ජනතාවට ඇති අයිතිය පිළිගන්නා නමුත් නීතිය හෑල්ලුවට ලක්කිරීමට කිසිවෙකුට ඉඩ තැබිය නොහැකි බවයි. නමුත් සචිත් ඇතුළු බොහෝ පිරිසක් විස්තර කරන ආකාරයට හමුදාව විසින් පහරදී තිබුණේ නිරායුධව සහ සාමකාමීව රැස්වී සිටි ජනතාවටයි.

සචිත් මධුරංග තම ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහත දැක්වේ.

“පුතේ අපේ පුතා ගෝඨාගෝගම ඉන්නෙ එතන කලබලයක්ලු පුලුවන්නම් එයාව ඔයාගෙ ගෙදර එක්කන් එන්න” කියල,
පැති දෙකකින් යන්න උත්සාහ කරත් යන්න බැරි වුන නිසා කොල්ලුපිටිය පැත්තෙන් යන්න උත්සාහ කරා, Cinnamon grand හොටෙල් එක ඉස්සරහ වාහනේ නවත්තලා ගෝල්ෆේස් එක පැත්තට යන්න පයින් ඇවිදන් ගියා, යනකොට දෙන්නෙක් දුවගෙන ආව
“බුදු අයියෙ ඒ පැත්තට යන්න එපා උන් පිස්සො වගේ ගහනව “කියල,
අපි එතනින් එහාට යන්නෙ නැතුව බිම පේමන්ට් එකේ ඉදගෙන බලන් හිටිය, ටිකක් වෙලා යනකොට Air Force එකේ හයදෙනෙක් විතර ඇවිත් අපෙන් phone එක ඉල්ලුව, කුනුහරුප කියල බැනපු නිසා phone එක දුන්න,phone එක අරන් පොළවේ ගහලා ඒත් එක්කම
“උඹල ආවෙ අරගල කරන්නද දෙන්නන් උඹලට යමන් “කියල
මටයී මගේ යාලුවටයී ගගහා ඇදගෙන ගියා ගුටිකාලම ඇවිද ගන්න බැරුව යනකොට තුවක්කුවකින් ඔලුවට ගැහුව,
“ලේ එනව ගහන්න එපා” කියනකොට උඹලට තාම ගැහූවේ නෑ යමන් දෙන්න කියල අතුරු පාරකට එක්කන් ගියා, යනකොට එතන තව තුන්දෙනෙක් දන්ගස්සල තිබුන,අපිටත් දනගහගන්න කියල පැය එකාමාරක් විතර එක එක විදියට වදකාගාරයක ගහන්න වගේ ගැහුව,එක්කෙනෙක් ඇවිත් බඩට පයින් ගැහුවම විසිවෙලා ගිහින් ලග තිබුන තාප්පෙ වැදුන,එකෙ ඔලුව හේත්තු කරල තව කෙනෙක් ඔලුවෙ තුවාලෙට වතුර දැම්ම,විනාඩි කීපයකින් තව එක්කෙනෙක් ඇවිත්
” උඹලව ගෙනාවෙ සැපට බිත්ති වල හේත්තුවෙලා ඉන්න නෙමෙයි දනගහපන්” කියල
ආපහු කනට ගැහුව, තව එකෙක් ඇවිත්
“උඹ ඩෝන්ට්කෙයාර්ද “කියල අහල ආපහු ගැහුව.මොකද අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ඒ වලාවෙත් හරියට කන් ඇහුනේ නැහැ ගහපු පාරවල් වලට,පැය එකහමාරක් විතර එක දිගට හිතේ හැටියට ගහල තමයී අපිව අත ඇරියේ , කොටින්ම කිව්වොත් ගුටිකාපු තරමට අපිට අඩියක් උස්සල අඩියක් තියාගන්නවත් බෑ අපිට පණක් තිබුනේ නැහැ, කිසිම වරදක් නොකර මේ තරම් අමානුෂික විදියට අපිට පහර දෙන්න එකම හේතුව අපේ අතේ phone එක තිබුන එක, කිසිම ආයුධයක් නැති නිරායුද පුද්ගලයන්ට phone එකක් අතේ තිබුනූ පමණින් මෙහෙම පහර දෙන්න පුලුවන්ද ?

 

leave a reply