Breaking News

“නොදුටු තුරකින් පැමිණි සුවඳක්” තීරු ලිපි සරණියක්

නිමේෂ් නිරංජන්

“සකුණ රාසි” නම් පද්‍ය සංග්‍රහයෙන් ද, “රේගන්” නම් නවකතාවෙන් ද අප හමුවට පැමිණි කැලණි විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සංජීවනී රූපසිංහ “නොදුටු තුරකින් පැමිණි සුවඳක්” තීරු ලිපි සරණියෙන් මෙවර අප හමුවට පැමිණ තිබේ. මේ කෙටි විමසුම ඒ පිළිබඳවය.

මෙකී කෘතිය තුළ පැනෙන සියලු රචනා හෘදයග්‍රාහී භාෂාවකින් අප අමතන සුළු ය. නමුත් එතෙකින් නොනැවතී එයින් අප තුළ ඇති කරන බුද්ධිමය ප්‍රකම්පනය, භාවමය ප්‍රකම්පනය අභිබවයි. මෙය එක්තරා ආකාරයකට “සොෆීගේ ලෝකය” අතික්‍රමණය කිරීමකි. එය ‘අතික්‍රමණය’ කිරීමක් ලෙස සඳහන් කළේ ‘සොෆීගේ ලෝකයෙහි’ නැති ප්‍රායෝගික දාර්ශනික පසු තලය “මේඝ හා වර්ෂාගේ ලෝකය” තුළ අපූරුවට චිත්‍රණය වන නිසාය. එනම් දර්ශනයේ න්‍යායාත්මක පක්ෂය වඩාත් ප්‍රායෝගික උදාහරණ ඇසුරින් පාඨකයාට ගෙන දීමට මින් දරන උත්සාහය නිසාය.

කතාව ආරම්භ වන්නේ ප්ලේටෝනියානු ආදරයක පියසටහන් මතින් දිවෙන ආදරයක උණුසුම ගත් මේඝ හා වර්ෂාගේ ලිපි පෙළක් අප හමුවේ තැබීමෙනි. ප්ලේටෝට අනුව ආදරයේ සැබෑ ප්‍රබලත්වය හා කම්පනය පවතින්නේ එය අප්‍රකාශිත වන තාක්ය. රාගය සමග එක්ව ගමන් නොයන තාක්ය. එකිනෙකා ආදරය තුළම හඳුනාගන්නා තාක්ය. එකී විඳීම මේ දෙදෙනා තුළම පවතින බව පෙනේ.

“ජීවිතේ කවදාවත්ම නුඹ මට ආදරේ කරන බව මුවින් පවසා නැත. මමද එසේ නොකරන්නට ඇත. එහෙත් නුබේ දෑස්වල දස දහස් වර මට ඇති ආදරය දිස්න දුන්නේය. මම එදෙස නොබලා සිටියෙමි… ආදරය ඇත්තේ අයිති කර ගැනීමෙන් ඔබ්බෙහිය…”

දෙවෙන්දොරාලා, නොරිකෝලා ආදරය කළ හැටි, අරවින්දලා, බතීලා ජීවත් වූ හැටි හැටි එකිනෙක සිහියට නැගෙයි. ඒ ආදරණීය චරිත මෙයින් කියවා හුදකලාවම වැලඳ ගනිමි. ඔබටද වැලඳ ගන්නැයි කියමි.

වර්ෂා මේඝටත්, මේඝ වර්ෂාටත් හුවමාරු කරන ලිපි පෙළෙහි පළමු වැන්න වර්ෂාගේය. එකී කතාව ආරම්භ වන්නේ මෙසේය.

“මම නුඹට ලියන්නට පටන් ගනිමි. ලියුම් ලියන සම්ප්‍රදායෙන් නැතිවීත් දැන් හුඟක් කල් ගිහින් බව ඇත්තයි. එහෙත් මට නුඹට කියන්නට බොහෝ දේ ඇත. ඉතින් මා ලිවිය යුතු බව නුඹ දනී.”

ලියුම් ලිවීම වනාහි අතිශය පැරණි සම්ප්‍රදායක් වුව ද කතකයාට එය අදත් භාවිත කිරීමට සිදුවීම එක්කෝ ලිවීමෙහි ප්‍රබලත්වය නිරූපණය කරනවා (ඩෙරීඩියානු ප්‍රවාදය අනුව) විය යුතුය. නැත්නම් අද්‍යතනයෙහි ඇති ගැටලුව විසංයෝජනිකව කියවීමට උපකරණාර්ථයෙන් එය භාවිත කිරීමට සිදු වූවා විය යුතුය.

මනෝ චිත්‍ර නංවන අවස්ථා නිරූපණ කොතෙකුත් මෙහි ඇත. නමුත් එකී අවස්ථා පොදු පාඨක චිත්‍රවලින් හැඩ වීමෙන් නොනැවතී, අන්තර් පඨිතමය දාර්ශනික වියමන්වලට ඉඩ හසර සලසයි.

“මිනිසුන්ගේ හුදෙකලාව වෙනුවෙන් නිමැවූ බොහෝ මෙවලම් යළි යළිත් මිනිසා හුදෙකලාවේ ගිල්වා ඇත. ගහක් කොළක් මලක් අහසේ නිලක් නොදකින මිනිස්සු ස්මාර්ට් දුරකථනයක මුහුණ ඔබාගෙන දවස ගත කරන්නේ එහෙයිනැයි මට සිතේ.”

බොහෝ දෙනා දකින්නේ තාක්ෂණයෙහි අඩුලුහුඩුකම් හෝ එහි ඇති ප්‍රබලත්වයයි. නමුත් රචිකාව එවැනි උපයෝගීතා අදහසකට මෙහිදී ගොනු නොවේ. ඇය මිනිසා පරිසරයෙහි නො ගැලී, තාක්ෂණයේ ඇලීමට හේතු සොයන්නී, පළිගැනීම් ආදී නොයෙක් කඨෝරකම් සහිත අවට පරිසරයට වඩා තාක්ෂණික හුදකලාව සුවබර ලෙස සිතන මිනිසුන් දකින්නීය. මිනිසා මිනිසා විසින් තනා ගත් අර්බුදය අත්විඳින ආකාරය පැහැදිලි කරන්නීය.

මෙකී පරිසරය තුළ දිවි ගෙවීමට නම් අපට සුවබර අසන්නෙක්, දරන්නෙක් වුවමනාය. දෙදෙනා දෙදෙනාගේ අසන්නා හදාරන්නා වන්නේ මේ අරුතෙනි.

“අවුරුදු තිස් පහකට පෙර අපි ළමයින්ව සිටියදීත්, ඉන්පසුවත්, අදත් නුඹ මගේ හොඳම අසන්නාව සිටී.” යැයි වර්ෂා කියන්නීය.

ඈ තම පඨිත වජ්‍රයානික අදහස්වලින් මෙන්ම හුවායෙන්, තාඕ ආදී දාර්ශනික පද්ධතිවලින් ද පෝෂණය කරන්නීය. එමගින් පාඨක හද සසල කොට තම අරමුණ කරා ගෙන යන්නීය. තීරු ලිපි රචිකාවක් තුළ තිබිය යුතු බුහුටි බව මින් පිළිබිඹු වෙයි.

“… මාර ගස් කියද්දි මට මතක් වුණේ පන්නිපිටියේ යෝධ මාර ගස් ටික… ඒවා කැපුවා පාර ලොකු කරන්න. මට පුදුම තරම් දුකක් දැනුණෙ ඒ මහ ගස් කුට්ටි කරලා තියෙනවා දකිද්දී. මරලා මදිවට කුට්ටි කරලා. නැතුව කොහොම ගෙනියන්නද එක අතකට. ඒත් පෙති පෙති කපල දාපු නෑදෑයෝ වගේ මට දැනෙන්නේ…”

මෙකී වේදනාව ඇයට පමණක් නොව මුළු මහත් සමාජයටම දැනුණා නම් ලොව කොතරම් සුන්දර වන්නට ඉඩ තිබුණේද?

අප අසා ඇත්තේ හඳ නිසා පිස්සු වැටෙන මිනිසුන්ය. එය හඳෙහි වරදක් නොව, මිනිසාට හිමි චමත්කාරයේ ආශ්චර්යයක් බව වර්ෂා දකින්නීය. හඳ දැක එය අත්විඳීමෙන් පිස්සුවැටෙන මිනිසුන් අපට හමුවන්නේ නොදුටු දුරකින් පැමිණි සුවඳක සිටය. සොබා දහමට මිනිසා දෙවියන් ලෙස ගෞරව කළේ නොදැනුවත්කම නිසා සිදු වූ බියෙහි ප්‍රතිඵලයක් නිසා නොව එකී චමත්කාරය එහි ප්‍රතිඵලයක් බව කීම කොතරම් නැවුම්ද? අනෙක් අතට ලස්සන තරුව කී විට නැගෙන සෞන්දර්යය අඟහරු තරුව කී විට නොනැගීමේ ගැටලුවද ඈ සාකච්ඡා කරන්නීය. විද්‍යාව හුදු පරිසරයේ ව්‍යුහය හැදෑරීමට පමණක් ලඝු නොවිය යුතු අතර එය අවට චමත්කාරයද මිනිසාට සංවේදනය කළ යුතු නොවන්නේද?

“ජීවිතයත් හරියට වතුර වගේ. හරිම මෘදුයි. රළු ගල් කුළක් වුණත් දිය කරන්න පුළුවන්.”

පීඩනකාරී වටපිටාවක දිවි ගෙවන අපට සුදුසුම ජීවිත දර්ශනය මින් කැටි කර දක්වයි.

“සූරියකන්දත්, ඇඹිලිපිටියත් හැර තවත් කොයිතරම් සමූහ මිනී වළවල් ඇද්ද මේ රටේ? ක්‍රිෂාන්ති කුමාරස්වාමි නඩුවේ විත්තිකරුවන් කිව්වා මට මතකයි, උතුරේ හැම හමුදා කඳවුරක් යටම සමූහ මිනී වළක් තියෙනවා කියලා. ඔයාට මතකද?”

යුද්ධයක් වනාහී ජය පැන් බීමේ අවමංගල චාරිත්‍රයක් නොවේ. යුද්ධයක් වනාහි කටු සටහන් ඉතිරි වන, යුද්ධයට සහභාගී වූ හැමට දුකක් පමණක් ශේෂ වන, පරාජය පරාජය සනිටුහන් වන අවස්ථාවකි. යුද්ධයෙන් පසු සෑම විටකම නැවත යුද්ධයක් ඇති නොවන සේ පරිසරය සකස් කළ යුතුය. ඒ අපගේ වගකීමකි. චන්ද්‍රකුමාර වික්‍රමරත්න,
එකම අපායක අපි සැම දැවෙන සඳ
වෙනම අපායක ඉන්නට පතයි උඹ
අපා දෙකක කිරුළට යුද වදින සඳ
කඳුළු කඳුළුමය කාගේ වුණත් මට යනුවෙන් කීවේද මෙයයි.

පරිසරය තුළ මිනිසා කෙතරම් ක්ෂුද්‍රද යන්න අදත් මිනිසා තේරුම් ගෙන නැති යථාර්ථයකි. විද්‍යාව දැවැන්ත යැයි සිතන අප මිනිසාද දැවැන්ත කරගෙන ඇතත් එහි සීමිත බව වැටහුණේ අඟහරුට ගිය අපට කොරෝනා වසංගතයට පිළියමක් සොයා ගැනීම අතිශය අසීරු වීමත් සමගය. නමුත් එය ආසියානුකරය අතීතයේ සිටම තේරුම් ගත් බව පෙනේ. බටහිර මානව කේන්ද්‍රවාදය ගැන වර්ෂා ඉදිරිපත් කරන අදහස බලන්න.

බලන්න පුනරුද යුගයේ බටහිර චිත්‍ර. මානව කේන්ද්‍රවාදය හොඳටම පේනවා ඒ චිත්‍රවලින්. චිත්‍රය පුරා ඉන්නේ හරිම දැකුම්කළු මිනිසෙක් හෝ ගැහැනියක්. මොනාලිසාලා වගේ. යන්තම් පිටිපස්සේ පරිසරය තියෙන්නේ. ඒත් බලන්න චීන චිත්‍රයක් අරන්. ඒකෙ ලොකුවට තියෙන්නේ පරිසරය. ගිනිකූරු හිසක් වගේ තමයි මිනිහෙක් හිටියොත්.”

මෙකී චින්තනය පරිසරය පිළිබඳ මිනිසාගේ චර්යාව තීරණය කරන බවද අප අමතක නොකළ යුතුය. මෙකී කතිකාවන් ආමන්ත්‍රණය කරන්නේ එකී පදනමටය. මෙකී පඨිතය හුදු අභ්‍යන්තරික කාරණා විවරණය කරන බව අප කියන්නේ එහෙයිනි.

වර්තමාන දේශපාලනික මඩ ගොහොරුවද මෙකී කතිකාවට මග නොහැරීම, ප්‍රශංසනීයවේ. එක් අතකට තීරු ලිපි රචකයාගේ කාර්යභාරය හරිම තැනින් ග්‍රහණය කර ගැනීමකි.

“මරණ භයින් ත්‍රස්තව මිනිසුන් වෙසෙන රටක් පාලනය කිරීම හරිම පහසුයි. සාධාරණත්වය ඉල්ලා කෙරෙන උද්ඝෝෂණ යටපත් වුණා නේද? තේ දල්ලේ ප්‍රශ්න, වතු කම්කරු ප්‍රශ්න යටපත් වුණා පමණක් නොව ඉන්ධන මිල වැඩිවීම පිළිබඳ කිසිවකු කතා කළේ නැහැ… ඉතා අහිතකර පනතක් වුණු ප්‍රතිත්‍රස්ත පනත් කිසිවකුගේ විරෝධයකින් තොරව සම්මත වුණා නේද? එයට විරුද්ධ වෙන සියලු දෙනා ත්‍රස්තවාදීන් වූවා නේද?”

මේ ශ්‍රී ලංකාවේ අද්‍යතන අර්බුදය පිළිබඳ තම විචාරාක්ෂිය යොමු කිරීමකි. එකී අර්බුදය පිළිබඳ හුදු මතුපිට ප්‍රකාශයකින් නොනැවතී අතීත සිදුවීම් ස්මරණය කිරීම පාඨකයාට තම චින්තනය ස්වාධීනව ගොඩනැගීමට අනුබල දෙයි.

ගැබිණිකව සිටි තම බිරිඳව ගංවතුර අවස්ථාවේදී කිලෝමීටර ගණනක් ඔසවාගෙන ගිය සැමියෙක් තමාත්, දරුවාත් තනිකර දමා බිරිඳ පිට ගම් ගිය බව කියමින් පැමිණිලි කර ඇත. මේ සිදුවීම සම්බන්ධ සමාජ මාධ්‍යයන්හි පළ වූ අදහස් ජාතක පොතේ ස්ත්‍රිය හා සම්බන්ධ ස්ථාවරයට සපුරා එකඟය. සබවස් නොමැති, වංචනික, දෑගුල් නුවණ ඇති කාන්තා චරිත ලක්ෂණ විසි එක්වන සියවසේද පොදු සාමාන්‍යකරණයක් සේ පිළිගැනීම කොතරම් පුදුම සහගතද? එසේ අනෙකා පිළිබඳ විනිශ්චය කිරීම කෙතරම් ජුගුප්සාජනකද? මෙයද එක්තරා ලිපියකට වස්තු විෂයය වෙයි.

“මිනිහෙකුට ඕන දහදුරා වැඩක් කරලා අත පිහදාගෙන යන්න පුළුවන්. ගැහැනියට ඉන්පසුව සියල්ලටම වග කියන්න වෙනවා. ‘උඹව අනාථ කරලා ගිය මිනිහා කවුද?’ කියලා පොලිසිය අහන්නේ නැහැ ගැහැනියට තනිව වරද පැටවෙනවා.”

ආර්ථික අහේනිය විසින් ඡීවිතය කඨෝර කරන්නේද යන්න මෙහි බොහෝ තැන්වල විමසා බැලේ. එහි ඉතා සංවේදී අවස්ථාවක් මෙසේය.

… මං වැඩ කරන ඉන්ධන පිරවුම්හලත් එක්ක තියෙන සුපර්මාකට් එක මංකොල්ල කන්න කොල්ලො දෙන්නෙක් ආවේ මෝටර් සයිකලේක මුහුණු ආවරණය කරලා… මම සියලු මුදල් ඔහු අතට දෙද්දී ඔහුගේ අත වෙව්ලනවා. මට ඒ කොල්ලො ගැන ඇති වුණේ පුදුම අනුකම්පාවක්. වෙව්ලන සුදු ඇඟිලිවලින් මං එකතු කරල දුන්න ඔක්කොම සල්ලි අරන් ගියේ උන් ඊ ගහක වේගයෙන් ඉගිල්ලිලා.

එසේම අප වැනි තුන්වන ලෝකයේ රටවල්වල ඇති ආකල්පමය ගැටලුව නිසා අපේ රැකියා කොතරම් දුෂ්කර වී ඇද්ද යන්නද මෙහිදීම විවරණය වේ.

“ඊට පස්සේ මට දවස් දෙකක් නිවාඩු දුන්නා. මානසික කම්පනයට කවුන්සිලින් ඕනේද කියලත් අහනවා.” මෙවැනි රැකියා ලංකාවට තවමත් හීනයකි.

අමතරව බෂෝගේ, ආරියවංශ රණවීරගේ කවි, පේරාදෙණිය සරසවියේ අවකාශමය වටිනාකමින් ජනිත සුන්දරත්වය, ආදරය හා ලිංගිකත්වයේ දාර්ශනික පදනම, කොපර්නිකස්ගේ සූර්ය කේන්ද්‍රවාදය ආදී විද්‍යාත්මක විප්ලව, ඉලුමිනාටි ආදී කල්ලි, මුස්ලිම් අන්තවාදය, සංස්කෘතිකමය විවිධත්වය ප්‍රශ්න කිරීම්, ආගමික සන්දර්භ විමසීම්, රටවල ආර්ථික ඝාතන, ශ්‍රී ලාංකේය හණමිටි මතවාද, සත්වෝද්‍යානය හා මේ දිනවල වැඩිමනක් කතා වෙන ගෘහස්ථ අලි පිළිබඳ ගැටලුව, අධ්‍යාපන පරමාර්ථ, උපනිෂද් හා වෛදික දර්ශන මෙහි ඇත. සියල්ල කතා කිරීමට මෙහි අවකාශ මදිය. මේඝ හා වර්ෂාගේ ප්ලේටෝනික ආදර ඕවිල්ල මැද දාර්ශනික ඉසව්වක තනිවන්නට අප නොදුටු තුරකින් සංජීවනී රූපසිංහ ගෙන්වා ගත් සුවඳ නොමදව හේතුවන බව නොකියා නොහැකිය.

සටහන – නිමේෂ් නිරංජන්

 

leave a reply