Breaking News

ලංකාවේ තියෙන්නෙ සෞන්දර්ය විචාරය සහ මාක්ස්වාදී විචාරය වශයෙන් විචාර ධාරා දෙකයි

බූපති නලින් වික්‍රමගේ

‘ලංකාවේ ආර්ට් එකට විචාරයක් මොකට ද’ මැයෙන් ‘ඇත්ත මුහුලස කතිකාවේ’ දී දැක්වූ අදහස් ඇසුරිණි.

අපේ රටේ විචාර කලාව සලකනකොට සැළකිය යුතු කාරණයක් තමයි අපි පොඩි රටක් වීම. ඉන්දියාව හෝ චීනය එක්ක බැලූවම අපි බොහොම පොඩි රටක්. ලංකාවෙ විචාර කලාවේ ප‍්‍රභවය ගැන හොයල බලපුවම මට හිතෙන්නෙ ඒක තරමක් සංකීර්ණ බවයි. වර්තමාන කාලය ගත්තත් සංකීර්ණයි. මේ කාරණා මැද්දේ අද ලංකාවේ විචාර කලාව ඉහළින් තියෙනව කියල මම විශ්වාස කරනවා. මහා පිරිසක් නොසිටියට ලංකාවේ විචාර කලාවේ යම්කිසි ශක්තිමත් බවක් පෙන්නුම් කරනව. මම හිතන විදිහට කාලයක් පුරා ලංකාවේ තිබිල තියෙන්නේ අධිපති විචාර කලාවන් දෙකයි. ඒ ප‍්‍රධාන ධාරාවන් දෙක තමයි සෞන්දර්ය විචාර කලාව සහ දේශපාලන විචාර කලාව. අනෙක්වා එහි අතුරු කොටස් අනුශාංගික කොටස් ලෙස හදුන්වන්න පුලුවන්. සෞන්දර්ය විචාරය, දේශපාලන විචාර කලාව සමග සංසන්දනය කළොත් දේශපාලන විචාරක කලාව වඩා ඉහළින් පවතින බවයි මගේ විශ්වාසය.

ඇරිස්ටෝටල්ගෙන් වගේ පටන් ගත්තම කවිය ගත්තත් නවකතාව ගත්තත් කෙටි කතාව ගත්තත්, සිනමාව ගත්තත් ඕනෑම දෙයක් ගැන කතා කරන එක පුළුල් විධිමත් විෂයක්. ඒ කියන්නේ විචාරය කියන්නෙ පුහුණු වෙච්ච දෙයක් කියලයි මම විශ්වාස කරන්නේ.

යම් කලා කෘතියක් දැනෙනව කියන එකට හදපු පොදු කෝඞ් එක තමයි විචාරය කියන්නේ. අපි කිහිප දෙනෙක් නවකතාවක් ගැන හරි කෙටි කතාවක් ගැන හරි කතා කරනවා. මේක පොදු සාකච්ඡුාවකට ගේන්න හදාගත්ත කෝඞ් එක තමයි, දැනෙනව කියන්නේ. එහි කේත පද්ධතියට තමයි විචාරය කියන්නේ. අපි කතාකරන්න ගියාම හදවතට දැනෙනව ගොඩක් දේවල්. නමුත් විධිමත් කලා කෘතියක් ගැන කතා කරනව කියන්නේ පැහැදිලිවම ඒ දැනෙන දේ නොවෙයි. දැන් ප‍්‍රවීනා බලල නැත්තං කොරියානු කතාවක් බලල දැනෙන හැඟීමයි, එහෙම නැත්නම් ඔබ නැතුව ඔබ එක්ක හරි නිම්නයක හුදකලාව වගේ සිනමා පටයක් හරි බලල දැනෙන හැගීමයි මේ දෙක වෙන් කරන්නෙ කොහොම ද? න්‍යායයන් පිළිබඳ වර්තමාන ලෝකයේ ඒක ඒ තරම් සැළකිල්ලකට ගන්නෙ නැහැ. උදාහරණයක් විදියට ගත්තොත් කර්තෘ මූලික කියන කාරණේ අපි කතාකරනවනේ. කර්තෘ මොකක්ද කියන්න ගියේ? මේකෙන් එයාට මොනව ද දැනුනේ? එයා මොනවද බලාපොරොත්තු වුනේ? සිරි ගුනසිංහ මොකද්ද කියන්න ගියේ? තිඹිරියාගම බණ්ඩාර මොකක්ද කියන්න ගියේ? ඒක එකක් විතරයි. අපි ලෝකෙ විචාර කලාව ගත්තත් බෙහෝ දෙනෙක් මේ කාරණෙත් එක්ක නිරත වෙලා ඉදල තියෙනවා. පශ්චාත් නූතනවාදය වගේ විෂයයන් ඇවිත් කලාව ඒ එක්ක සම්බන්ධ වෙලා විචාරය වෙනවා.

මම නම් කියන්නේ ඉතිං ලංකාවෙ දේශපාලන විචාරයේ තත්ත්වය හොඳයි සෞන්දර්ය විචාරයට වඩා. මෙතන ඉන්න විදර්ශනල අපි අතරෙ එහෙම මතවාදීමය ගැටුම් තිබුනට අපි නියෝජනය කරන්නේ දේශපාලනමය විචාරයේ එක යුගයක්. එතකොට අපිට තිබුණු පොදු විවේචනයක් තමයි අපි විචාරය හරහා සෞන්දර්ය මතුකරන්නෙ නෑ කියන චෝදනාව. මේ අපිත් එක්කම ඉන්න යාලූවො කියනව නිර්මාණයේ තියෙන සෞන්දර්ය බලන්න, ඒකට මැදිහත් වෙන්න කියලා. දැන් මේක මාර කතාවක්නේ. අපි තුන් හතර දෙනෙකුට මේකෙ තියෙන ජාතික ප‍්‍රශ්න විසදන්න බෑනේ. ඒක කළ යුත්තේ සෞන්දර්ය විචාරය පැත්තෙන්.

කලාව සම්බන්ධව චිත‍්‍රපටියේ තිර පිටපත පිළිබඳ විචාරයක් කරන්න පුලූවන් ලංකාවේ ඉන්න සිනමා විචාරකයො ඉන්නේ කවුද? වෙන මුකුත් බලන්නෙ නැහැ පිටපත ඉල්ලගෙන ඒක ඇනලයිස් කරනව. ඔය කාරණේට මහන්සි වෙච්ච සිනමා විචාරකයො අපිට ඉන්නෙ කිහිප දෙනයි. තිස්ස අබේසේකර ඇතුළත්ව චන්දන සිල්වා කියල විචාරකයෙක් හිටිය සරසවි පත්තරේට ලිව්ව. ඔහු සෑහෙන්න මහන්සි වුනා. චන්දනගෙ සිනමා රූප රිද්ම කියල පොතක් ඒක ශොට් බයි ශොට්, රූප රාමුවෙන් රූපරාමුවට විශ්ලේෂණය කරනව. මෙතන මිඞ් ශෝට් එකක් මෙතන ලෝන්ග් එකක් කියල සම්පූර්ණයෙන්ම කියනව. ඒක එක සෞන්දර්ය විචාර ක‍්‍රමයක්.

ලංකාවෙ සාහිත්‍ය විචාරය ගත්තොත් තාමත් ඉතාම පරණ මත පළ කරන්නේ. මං හිතන්නෙ ඒක ගැටලූවක් කියල. ලංකාවෙ චින්තන ධාරාවෙ විශේෂයෙන් සෞන්දර්ය විචාරක කලා ක්ෂේත‍්‍රයේ ඒකට අදාළ නිිර්ණායකයක් නෑ. අද ලියනගේ අමරකීර්ති මොකක් හරි කිව්වොත්, ඒක හරි. කොහොමද අපි එයත් එක්ක වාද විවාද කරන්නේ. වාද විවාද කරන කොට සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි, මගේ ස්වයං කැමැත්ත, මට දැනුනු විදිය ඒකට මං කැමතියි කියන දේ. විචාරයේදී ඒ වගේ කතා කියන්න බැහැ. ඒක ලාක්ෂණික වශයෙන් විචාරයකට යන්න ඕනි එහි සාහිත්‍ය ලක්ෂණයන්, නැත්තම් උපමා උපමේය පාවිච්චි කරන විදිය එහෙම නැත්තම් තිඹිරි කිව්ව වගේ මෙහි අන්තර්ගතය වගේ දේවල් හදන්න ඕනි. මම නැහැයි කියන්නෙ කවදාවත් තිබ්බෙ නැහැයි කියන එක නෙවෙයි ඒක සාපේක්ෂව යාවත්කාලීන වෙලා නැහැ. ඒ කියන්නෙ පිළිගත හැකි මට්ටමකට ඇවිත් නෑ කියන එක.

වේදිකා නාට්‍ය විචාරය ගත්තොත් එහෙමයි මං හිතන්නේ. ලංකාවෙ යම් තරමකට දියුණු තලයේ තියෙන චිත‍්‍ර කලා විචාරය පමණක් යම් ප‍්‍රගතියක් පෙන්නුම් කරනවා. පළමුව මං හිතන්නෙ ඒකෙ භාෂාව තමයි මූලිකවම හේතුව. චිත‍්‍ර කලාවෙ මුල පටන්ම එහි විවිධ යුගයන් විස්තර කරමින් සෞන්දර්යාත්මකව යම් යම් නිර්ණායක කීපයක් සපයල තියෙනව. ඒක අද දක්වා වර්ධනය වෙමින් තියෙනව. මේකෙදි උදාහරණයක් විදියට දේශපාලනය කියන එක තදින් බලපානව. අපි දේශපාලන විචාරක කලාවට ආවම ඒ බව අපි සැළකුවත් දේශපාලනය කියල අපි අර්ථනය කරන්නෙ නැහැ. ඉතිං මට හිතෙන්නෙ මීට තරමක් සංකීර්ණ සාකච්ඡුාවක් අවශ්‍යයයි.

මගේ මූලික අදහස ලංකාවේ තියෙන්නෙ සෞන්දර්ය විචාරය සහ මාක්ස්වාදී විචාරය වශයෙන් විචාර ධාරා දෙකයි. මේ දෙක සංසන්දනය කරපුවාම ගැටලූව තියෙන්නෙ සෞන්දර්ය විචාරයෙ මිසක් මාක්ස්වාදී විචාරයෙ නොවෙයි.

බූපති නලින් වික්‍රමගේ 

 

leave a reply