Breaking News

කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනතට යාපනය යාපනය විශ්ව විද්‍යාලයීය ආචාර්ය සංගමයත් විරැද්ධයි.

යාපනය විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය නිකුත් කළ නිවේදනයේ සිංහල පරිවර්තනය සම්පූර්ණයෙන් පහත පළවේ.

කොරෝනා වෛරසයෙහි පැතිරීම යන අර්බුදය මැද්දේ වර්තමාන ආණ්ඩුව විසින් හඳුන්වාදීමට යන කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනත පාර්ලිමේන්තුවෙහි හදිසියේම සම්මත කරගැනීමට ගන්නා උත්සහය යාපනය විශ්ව විද්‍යාලයීය ආචාර්ය සංගමය දැඩි ලෙසින් හෙළා දකියි.

හමුදා සහ ආරක්‍ෂක අංශවලට අදාල පුහුණු පාඨමාලා හමුදාවෙහි කටයුතු කරන අය වෙනුවෙන් පවත්වා ගෙන යෑමේ අරමුණින් ආරම්භ කරන ලද ස්ර් ජෝන් කොතලාවල ජාතික ආරක්‍ෂක අධ්‍යන ආයතනය මෙම පනත මඟින් ජාතික විශ්ව විද්‍යාල මට්ටමට පත් කෙරෙන අතර ලංකාවෙහි ක්‍රියාත්මක වෙනත් විශ්ව විද්‍යාල මඟින් සපයනු ලබන පාඨමාලා ද නොමිලේ නොව මුදලට සැපයීමේ බලය මෙම විශ්ව විද්‍යාලයට ලබාදීමට නියමිතය. මෙම විශ්ව විද්‍යාලය වනාහි විශ්ව විද්‍යාලයීය ප්‍රතිපාදන කොමිසමේ පාලනයට නතු නොවී ස්වාධීනව ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාලයක් ලෙසින් කටයුතු කරනු ඇත. රටේ පවතින පොදු විශ්ව විද්‍යාලයීය ව්‍යුවහයටත් විශ්ව විද්‍යාල පිළිබඳ නීති සීමාවලටත් වෙනස්ව යමින් කටයුතු කරන අයුරින් මෙම විශ්ව විද්‍යාලය ස්ථාපිත කිරීමට මෙම පනත අවස්ථාව ලබා දෙයි. විශ්ව විද්‍යාලයීය ප්‍රතිපාදන කොමිසමේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය මෙම පනත මඟින් තර්ජනයට ලක් කෙරෙන අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ පරිපාලනයට සමාන්තර ලෙසින් ක්‍රියාත්මක විය හැකි අයුරින් මෙම ආයතනය සකස්වීමට නියමිතය.

නව පනත මාර්ගයෙන් ඉහත සඳහන් කළ විශ්ව විද්‍යාලයේ පරිපාලන වගකීම දැරීම සඳහා පත් කරනු ලබන අය බුද්ධිමතුන් හෝ අධ්‍යාපනඥයන් නොවෙති. එයට වෙනස්ව ඔවුහු ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්‍ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරු, විශ්ව විද්‍යාලයේ පීඨාධිපති, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මඟින් නම් කරනු ලබන අයෙක්, මුදල් අමාත්‍යාංශය විසින් නම් කරනු ලබන අයෙක් යන අය වෙති. මෙකී විශ්ව විද්‍යාලයේ පාලක සභාවෙහි සාමාජිකයන් වන්නේ මෙම අය වෙති. එහෙයින් ආරක්‍ෂක අමාත්‍යාංශයෙහි නියෝග මෙම පාලක සභාව හරහා ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙම පනත වනාහි රටේ උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රය ඉතාමත් දැඩි ලෙසින් හමුදාකරණයට ලක් කිරීම ප්‍රකට කර සිටින්නකි. හමුදාකරණය හේතුවෙන් යාපනය විශ්ව විද්‍යාලය ගතවූ කාලය තුළ පීඩාවට පත් විය. හමුදාමය මැදිහත්වීම් අපගේ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ක්‍රියාකාරිත්වයට බොහෝ මාර්ගවලින් හානි කර ඇත. අද මෙම ක්‍රියාකාරිත්වය ලංකාවෙහි සමස්ත උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයම ඉතාමත් දරුණු ලෙසින් පීඩාවට ලක් කරන්නක් වී ඇත. මෙම පනත හේතුවෙන් සෑම ප්‍රජාවකටම අයත් ජනතාව පීඩාවට පත් වෙයි.

මෙම පනත සම්මතවුවහොත් එය මෙම රටේ ජනතාවගේ නිදහස් අධ්‍යාපන අයිතිය උදුරා ගන්නා පරිසරයක් නිර්මාණය කරනු ඇත. ඒ සමඟම මුදලට අධ්‍යාපනය සපයන තත්ත්වයක් ඇති කෙරෙයි. මෙකී විශ්ව විද්‍යාලය ආණ්ඩුවට අයත් පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ලෙසින් ක්‍රියාත්මකවීමට නියමිතය. එයින් උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය අහිමිව යන අතර සමාජ විසමතාව අනාගතයේ තවත් වර්ධනය කෙරෙන තත්ත්වයක් නිර්මාණය කරනු ඇත. එමෙන්ම මෙම ක්‍රියාමාර්ගය හමුදාකරණය කරන ලද අධ්‍යාපන ව්‍යාපෘති සමාජීයකරණය කෙරෙන තත්ත්වයක් කරා මහජන දිශානතිය වෙනස් කෙරෙන්නක් බවට පත්විය හැකිය.

කොරෝනා වෛරස් රෝගයෙන් ජනතාව ආරක්‍ෂා කිරීමට ඇති කළ නිරෝධායන නීතිය ආණ්ඩුව විසින් ප්‍රජාතන්ත්‍රවාදි අරගල මර්දනය කිරීමට යොදා ගැනීම දැඩි ලෙසින් හෙළා දැකිය යුතුය. මෑතකදී මෙම කොතලාවල පනතට එරෙහිව අරගලයක් දියත් කෙරුණු අවස්ථාවේ ලංකා ගුරු සංගමයේ නායක ජෝශප් ස්ටාලින් ඇතුළු තවත් කීප දෙනෙක් අත් අඩංගුවට ගෙන නිරෝධායනයට ලක් කිරීම යාපනය විශ්ව විද්‍යාලයීය ආචාර්ය සංගමය දැඩි ලෙසින් හෙළා දකියි. එමෙන්ම මෙම පනත වහාම ඉවත් කර ගන්නා මෙන් ආණ්ඩුවට අවධාරණයෙන් පවසා සිටින අතර රටේ සහ සාමාන්‍ය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතින්ට ගරු කරන මෙන් ඉල්ලා සිටිමු.

කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයීය පනතට අපි එරෙහිවන අතර මෙම පනත රටේ උසස් අධ්‍යාපනය සහ අධ්‍යාපනය සමඟ සම්බන්ධ සියලුම වෘත්තීය සමිති වෙතින් මෙම පනතට එරෙහිවන ලෙසින් ඉල්ලා සිටින්නෙමු. මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදි අරගලවලට අපේ සංගමය සහභාගිත්වය සහ සහයෝගය ලබා දෙන්නෙමු. රටේ ප්‍රගතිශීලි බලවේග සහ ප්‍රජාතන්ත්‍රවාදය අවධාරණය කරන බලවේගත් නිදහස් අධ්‍යාපනය අවධාරණය කරන බලවේගත් මෙම අරගලවලට සහයෝගය ලබා දිය යුතුය. නිදහස් අධ්‍යාපනයටත් ප්‍රජාතන්ත්‍රවාදි අයිතියක් වූ අධ්‍යාපනයටත් එරෙහි මෙම පනතට විරුද්ධව රටේ ජනතාව ඒකාබද්ධව අරගල කළ යුතුය යැයි පවසන අතර යාපනය විශ්ව විද්‍යාලයීය ආචාර්ය සංගමය ඒ සඳහා ආරාධනා කර සිටියි.

පරිවර්තනය – ආචාර්ය සාමිනාදන් විමල්
උපුටාගැනීම වමේ හඬ වෙබ්අඩවිය

leave a reply