Breaking News

දොඩමළු අඳුර – තුෂාරි ජයසිංහ

සුවඳ නෙක මල්වලට
පාට ගා හැඩ කරන
ඉරට විකසිත වන්න
පෙරහුරුත් පවත්වන
බාඳුරා කොපු මැද්දෙ
බඹර තුඩු ගිලන් වන

නිදි නොමැති කවුළු අස
අඳුර බෝ දොඩමළු ය.

උදාවෙදි නෙතු පියන්
හරින්නට වෙර දරන
විහඟ බිජු ඉපිල්ලී
සිහින් තටු දිග හැරෙන
පරපුටුවො ගී ගයා
කැදලි සොරකම් කරන

සයනයක නිදි වරන
අඳුර බෝ දොඩමළු ය.

අහස් පිණි කඳුළු පොද
ඉහාගෙන බිම වැටෙන
සේපාලි මල් කිනිති
පොළොව සිපගයි නිතින
පරව පෙති හැලෙද්දී
නටුත් ඉකිබිඳ හඬන

නෙතු පියන් අභියසදි
අඳුර බෝ දොඩමළු ය .

 

leave a reply