Breaking News

ආර්ථිකය යළි නඟා සිටුවීමේදී ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීම තීරණාත්මක සාධකයක්

ආර්ථිකය යළි නඟා සිටුවීමේදී ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීම තීරණාත්මක සාධකයකි. වහා ඒ වෙනුවෙන් ක්‍රියා කරන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සිවිල් සමාජ එකමුතුව ඉල්ලා සිටියි.

‘Stand for Democracy’ ලෙස ද හඳුන්වන, ‘ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සිවිල් සමාජ එකමුතුව’, ප්‍රජාතන්ත්‍රවාදය අගයන පුරවැසියන් සහ සංවිධාන වලින් සැදුම් ලත් කණ්ඩායමකි. එය නියෝජනය කරමින් සිවිල් සමාජ සංවිධාන, වෘත්තිකයන්, විද්වතුන්, වෘත්තීය සමිති, තරුණ නායකයින්, සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, පූජක පක්ෂය, සහ වෙනත් සමාජ බලපෑම්කරුවන් අද ශ්‍රී ලංකා පදනම් ආයතනයට රැස්ව සිටින්නේ අප රටේ දේශපාලන නායකයින්ට අතිශයින් වැදගත් පණිවිඩයක් ලබා දීමටයි. එනම්, ආර්ථිකය යළි පණගැන්වීමේ ක්‍රියාවලිය සැබෑ ලෙස සහ සාධාරණ ලෙස සිදු වනු දැකීමට නම්, රාජ්‍ය මර්දනය නතර කර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීම ද අත්‍යාවශ්‍ය වන බව අවධාරණය කරයි.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සීඝ්‍රයෙන් හැකිලීම පිළිබඳව සිවිල් සමාජ එකමුතුව දැඩි කනස්සල්ල පළ කරයි. පුරවැසියන් බල රහිත කරමින්, භාෂනයේ හා ප්‍රකාශනයේ නිදහස, තොරතුරු දැනගැනීමේ අයිතිය, විසම්මුතිය ප්‍රකාශ කිරීමේ අයිතිය, විරෝධතා දැක්වීමේ අයිතිය, පොදු අවශ්‍යතා සඳහා සංවිධානය වීමට ඇති අයිතිය සහ ඡන්ද අයිතිය වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති අයිතිවාසිකම් සහ මානව නිදහස උදුරා ගැනීමේ සිද්ධීන් බොහෝ විට දක්නට ලැබේ. බලධාරීන්ව ප්‍රශ්න කරන පුද්ගලයින් ඉලක්ක කර හිරිහැර කිරීමත්, නිහඬ කරවීමත් මගින් ඇතිවූ ඍණාත්මක බලපෑම හරහා ජනතාව ස්වයං වාරණයන්ට යොමු කර ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) වැනි ජාත්‍යන්තර වේදිකා වල ලබා දී ඇති පොරොන්දු වලට පටහැනිව යමින්, පාලකයින් සිය දේශපාලන විරුද්ධවාදීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් දඩයම් කිරීමට, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) සහ මතභේදයට තුඩු දී ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවභාවිතා කරනු දක්නට ලැබේ. එමෙන්ම, මෑතකාලීනව ගෙන ඒමට උත්සාහ දැරූ ත‍්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත, විකාශන කොමිෂන් සභා පනත් කෙටුම්පත සහ රාජ්‍ය නොවන සංවිධාන පනත් කෙටුම්පත වැනි අතිශය පීඩාකාරී නීති හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය හැකිලීමට රජය උත්සාහ දරන ලදී.

මෑතකාලීනව, ජනාධිපතිවරයා, කථානායකවරයා සහ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලුවට ලක් කිරීමට උත්සාහ කරමින් සිදු කරන ලද ප්‍රකාශ තැතිගන්වන සුළුය. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා යළි ස්ථාපිත කර තිබුණද, මැතිවරණ කොමිෂන් සභාවේ සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් පසුගිය කාලයේ සිදු කළ බියවැද්දීම්, එම ස්වාධීන ආයතන අක්‍රිය කිරීම සඳහා පරිසරය නිර්මාණය කිරීම පිළිබඳ උදාහරණ වේ. මුදල් නොමැති වීම ආදී දුර්වල හේතු දක්වමින් ඡන්දය ප්‍රකාශ කිරීමට පුරවැසියන්ට ඇති ස්වෛරී අයිතිය උල්ලංඝනය කිරීම, සියල්ලටම වඩා දරුණු ගැටළුවකි. පළාත් පාලන සහ පළාත් මට්ටමින් තේරී පත් වූ මහජන නියෝජිතයන් දැනට නොමැති අතර, මෙම ආයතන පාලනය කරනු ලබන්නේ මධ්‍යගත විධායක මගින් පාලනය කරනු ලබන මහජන ඡන්දයෙන් තේරී පත් නොවූ නිලධාරීන් පිරිසක් විසිනි. මෙය කඩිනමින් විසඳා නොගත හොත්, ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස අර්ථ දක්වන්නේ කෙසේදැයි යමෙකුට ප්‍රශ්න කළ හැකිය.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම්, එයට මූලිකව හේතු වූ දුර්වල පාලනය, තීරණ ගැනීමේදී සියලු දෙනා නියෝජනය නොවීම සහ මහා පරිමාණ දූෂණය යන ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම මූලික ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදෙන්නේ නම්, ආයෝජන වලට අහිතකර වටපිටාවක් සහිත රටක් ලෙස ශ්‍රී ලංකාව නම් වෙන අතර, එහෙයින්, ආර්ථිකය යලි පණගැන්වීමට අවශ්‍ය වන ආයෝජකයින් ගෙන්වා ගැනීම අපහසු වනු ඇත.

දූෂණ වැළැක්වීමට සහ යහපාලනය සහතික කිරීමට, ආණ්ඩුකරණයේ විනිවිදභාවය සහ වගවීම අත්‍යවශ්‍ය වේ. රටේ පොදු සම්පත් වල භාරකරුවන් වන මහජන නියෝජිතයන්, ජනතාවට වගවන තත්වයට පත් කර ගැනීමට නම්, ජනතාවට ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ නිදහස භාවිතා කිරීමට හැකි විය යුතුය. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ, පුරවැසියන්ට තමන්ගේ ඡන්දය ප්‍රකාශ කර තම නියෝජිතයන් නියමිත කාල පරාසයන්හිදී තෝරා පත් කර ගැනීමට හැකි වේ. එසේම තමන්ගේ ජීවිතයට බලපාන සියලුම රජයේ තීරණ සම්බන්ධයෙන් දැනුම්වත් වීමටත්, ඒවාට සිය දායකත්වය සැපයීමටත්, අවශ්‍ය විට විරුද්ධ වීමට හෝ විරෝධතා පැවැත්වීමටත්, කණ්ඩායම් ගත වී අදාළ තීරණ වෙනස් කිරීමට, බලධාරීන්ට බලපෑම් කිරීමටත් හැකි විය යුතුය.

ජනතාවගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන සහ ආර්ථිකය යලි නඟා සිටුවීමට අව්‍යාජ ප්‍රයත්නයක් දරන රජයක් නම්, සිය කාර්යයන් මහජනතාවගේ පරීක්ෂාවට විවෘත වීම පිළිබඳව අකමැත්තක් නොදක්වනු ඇත.
මේ අනුව, ප්‍රජාතන්ත්‍රවාදයේ හර පද්ධතිය අනුගමනය කොට ආරක්ෂා කිරීමට පහත සඳහන් කඩිනම් පියවර ගන්නා ලෙස ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සිවිල් සමාජ එකමුතුව, දේශපාලන නායකත්වයෙන් ඉල්ලා සිටියි.
– වහාම පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීම.
– අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, පොදු අවශ්‍යතා සඳහා සංවිධානය වීමට ඇති අයිතිය මෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුළුව, පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම.
– සිවිල් අවකාශය ආරක්ෂා කර සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම.
– ආර්ථිකය යලි නඟා සිටුවීමේ කටයුතු වලදී පුරවැසි අදහස් සහ සහභාගීත්වය ලබා ගැනීම.
– මහජනතාවගේ පරීක්ෂාවට පූර්ණව ඉඩ සලසමින්, විනිවිදභාවයෙන් සහ වගවීමෙන් පාලනය කිරීම.
– සිය කාර්යභාරයන් වඩා ඵලදායී ලෙස ඉටු කිරීමට හැකි වන ලෙස ස්වාධීන කොමිෂන් සභා බල ගැන්වීම.
– අත්‍යවශ්‍ය දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවංක උත්සාහයක් දැරීම.
– වරදකරුවන් දඬුවම් නොලබා ගැළවී යාමේ ප්‍රවණතාව අවසන් කිරීම සඳහා අතීත සහ වර්තමාන දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම.

leave a reply