Breaking News

දෙක්‍රෙත්තෝ ෆ්ලූස්සි 2022/2023 – 82.705 කට අවස්ථාව

තිමස් විජිත්

2022 දී ක‍්‍රියාත්මක කිරීමට නියමිත වූ ෆ්ලූස්සි නීතිය යටතේ යුරෝපා හවුලෙන් පිටතින් ඉතාලියේ රැකියා සඳහා අවස්තාව ලබාදීමට නියමිත වුවත් ආණ්ඩු වෙනසත් සමග එය ක‍්‍රියාත්මක කිරීම පමා විය. මේ මොහොත වන විට නව ආණ්ඩුව යටතේ වෙනස්කම් කීපයක් සහිතව එය ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බව කැබිනට් මාධ්‍ය හමුවේ ප‍්‍රකාෂ කල අතර ඉතා ඉක්මනින් එයට අදාල ගැසට් නිවේදනය නිකුත් කරන බව ප‍්‍රකාෂ විය. ඒ අනුව සියලූ තොරතුරු දැන ගන්නට හැකි වන්නේ එම ගැසට් පත‍්‍රය නිකුත් වූ පසුවය. දැනට තිබෙන තොරතුරු අනුව මෙවර කෝටා එක 82.705ක් වන අතර ස්ථීර/තාවකාලික හා ස්වයං රැකියා සඳහා එය බෙදීයන්නට නියමිතය. එම කෝටාවෙන් කුමන ප‍්‍රමානයක් ඉතාලිය සමග ගිවිසුම් ගත රටවල් අතර බෙදී යාදැයි තවම ප‍්‍රකාෂයට පත් කර නැත. ඒ අතර ඉන් යම් කොටසක් මේ වන විට වෙනත් ආකාරයේ වලංගු වීසා හිමි අයට ස්ථීර රැකියා අවස්ථා සඳහා හුවමාරු කරගන්නට අවකාෂය ලබා දෙනු ඇත. එමෙන්ම මෙවර විශේෂ කරුණක් වන්නේ විදේශයකින් රැකියාලාභියෙකු ඉල්ලූම් කරන්නට පෙර ඉතාලි රැකියා මධ්‍යස්ථානයට තමන්ට අවශ්‍ය කුමන වර්ගයේ සේවකයෙකු හෝ සේවකයින්ද යන්න දැනුවත් කල යුතුවේ. එවිට ඔවුන් විසින් එසේ අවශ්‍ය ආකාරයේ ශ‍්‍රමිකයින් ඉතාලිය තුල නොසිටීනම් පමනක් විදේශයකින් ඉල්ලූම් කිරීමට අවසර ලැබෙනු ඇත. එසේ වන්නේනම් මෙවර ක්ලික් ඬේ අවස්ථාවක්ද නැතිව යනු ඇත.

2021 නීතිය ක‍්‍රියාත්මක කිරීමේදී 2022 ජුනි 21 ප‍්‍රකාෂයට පත්කල ගැසට් පත‍්‍රයට අනුව අදාල ඉල්ලූම් පත‍්‍රය තෝරාගත් පසුව දින 30ක් ඇතුලත ඊට අදාල නූල්ල ඔස්ත (දීසා නිකුතුව සඳහා දෙන නිවේදනය) නිකුත් කිරීමටත් අදාල තානාපති කාර්යාලය විසින් දින 20ක් ඇතුලත වීසා නිකුත් කිරීමටත් කල නියෝගය මෙවරද වලංගු වනු ඇත.

කෙසේ වෙතත් දැන් පවතින්නේ විදෙස් සංක‍්‍රමණිකයින්ට හිතවත් ආණ්ඩුවක් නොව බලයට පත්වූ බොහෝ අවස්තාවල පීඩාකාරී නීති ගෙන එමින් සංකශමණිකයාගේ බොහෝ අයිතීන් උදුරාගත් ආකාරයේ පාලනයක් බවද අප මතක තබා ගත යුතුය. එනිසා ඔවුන්ට අවශ්‍ය ශ‍්‍රමිකයින් සඳහා මෙවන් අවස්ථාවක් හිමිවන අතර හැකි තරම් කොන්දේසි ඒ වෙනුවෙන් පනවන්නටද ඔවුන් පසුබට නොවනු ඇති බව අපගේ අත්දැකීම් කියාපායි. මේ අවස්තාව වන විටත් සංක‍්‍රමණිකයින්ට අදාල යුරෝපා පොදු එකගතාවයන් අභියෝගයට ලක් කිරීම නව ආණ්ඩුව විසින් ආරම්භ කර ඇති අතර එම නීති සංසෝධනය කිරීමට අවධානය යොමු කර ඇත.

විශේෂයෙන්ම දේශපාලන රැකවරණ හෝ මානුෂීය හේතු මත හෝ සිවිල් ආරක්ෂාව යටතේ ලබා දෙන රැඳී සිටීමේ හා රැකියාවක් කිරීමේ අවසර පත‍්‍රය ලබා දීම නැවත සලකා බැලීමට ඔවුන් අවධානය යොමු කරන බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප‍්‍රකාෂ කල අතර එහිදී ඔහු කියා සිටියේ මෙසේ ඉතාලියට පැමිනෙන සංක‍්‍රමණිකයින්ගෙන් සියයට 90ක්ම ඉහත හේතු මත නොව ආර්ථික හේතු මත බව තමන් හොඳින් දන්නා බවත් ඔවුන්ට එසේ අවස්ථාව ලබා නොදිය යුතු බව හා ආපසු ඔවුන්ගේ රටවලට පිටුවහල් කල යුතු බවද ප‍්‍රකාෂ කර සිටියා. ඒ අනුව ඉදිරියේදී සංක‍්‍රමණික අයිතීන් වෙනුවෙන් අවධියෙන් සිටිය යුතු බවද මෙහිම ලියා තබමු. එහෙත් කණගාටුවනම් කාගෙත් අවධානය යොමුවන්නේ ෆ්ලූස්සි පිළිබඳ මිස ඔවුන් පැහැරගන්නා අයිතීන් ගැන හෝ මේ වන විටත් ආන්දෝලනයට ලක්ව තිබෙන මුහුදේ අතරමංව සිට බේරාගත් සංක‍්‍රමණිකයින් බාරගැනීමට අදාල මතබේදය පිළිබඳවත් කිසිවකු අවධානය යොමුවන බවක් පෙනෙන්නට නැති වීම ගැනයි.

තීමස් විජිත්

leave a reply