ගිම්හාන සෘතුවේ, පසුගිය දින සැන්දෑවක , මම සිවමොහන් සුමති ගේ The Single Tumbler සිනමා රචනය නැරඹුවෙමි (https://www.iffsavirtual.com/play/#/film/105019?from=https:%2F%2Fwww.iffsavirtual.com%2Ffilm%2Fthe-single-tumbler%2F%3Ffbclid%3DIwAR23CiY0xXjfl-RL7Cxi1GZeVllHXFDLEi_o4mhS83OjzEW6brQtSLpAviw&t=0). ඉක්බිතිව මා විසින් මෙම කියවීම ඉදිරිපත් කරන අතර, මෙහි සඳහන් වනුයේ, මගේ ස්ත්‍රී විඤ්ඤාණය, එම රචනාවේ දේශපාලනය කියවාගනු ලබන ආකාරය වේ.
සිනමා ආඛ්‍යානය කෙටියෙන් ම පවසන්නේ නම්, 1990 දී විමුක්ති කොටි සංවිධානය ( මම LTTE සංවිධානය ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස පිලි නොගන්නා අතර එය අරගලයේ එක් නියෝජනයක් ලෙස සලකමි ) විසින් උතුරුකරයෙන් , මුස්ලිම් ජනයා හට ඉවත් වන ලෙසට බලකරන ලදී. එම බලහත්කරණය දෙමළ ජන ජීවිතය තුල ප්‍රකාශ වන ආකාරයත්, ලිබරල් සාම ප්‍රයත්නය තුල, සාමාන්‍යකරණය කිරීම නම් ස්වීකරණය (assimilation) තුල වර්තමාන දෙමළ සමාජය, විශේෂයෙන්ම මා දකින ලෙස, ඉහල මධ්‍යම පංතියේ මේ මොහොතේ මුහුණ දෙන අර්බුදය එයින් නිරුපණය වේ. අතුරුදහන් කරන ලද තරුණ ජිවිතයක්, දියුණු ධනේශ්වර රාජ්‍ය තුළ ස්ථාපිත වීමට අරගල කරන කැනේඩියානු දෙමළ ස්ත්‍රියක සහ පවුලක්, යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව තුළ මධ්‍යම පංතියේ ජීවිතය පවත්වා ගැනීමට අරගල කරන සහෝදරයෙක් සහ සහෝදරියක් මෙන්ම, දරු වියෝව සහ තම හර්දසාක්ෂිය අතර අතරමන් වූ මවක් වටා මෙම කතාව ගෙතී ඇත. එහිදී, යුද්ධෙන් පසුව බිහිවන නව මධ්‍යම පංතිය වෙත වන ප්‍රාග්ධන ආයෝජන, දේපළ අයිතිය වෙනුවෙන් වන තරඟය සහ වියපත් වීම සමඟ උද්ගතවන රැකබලාගැනීමේ සංකටය ද මෙහි දී ප්‍රකාශිතය.
චිත්‍රපටයේ දේශපාලනය මා හඳුනා ගනු ලබනුයේ ප්‍රධාන කරුණු දෙකක් ආශ්‍රිතවය; එනම්, එහි රුපාන්තර මඟින් ‘නව දේශපාලනයක’ අවශ්‍යතාවය පෙන්වාදීමත් , පෙනීසිටීම/ නියෝජනය නොසලකා හැරීම / හුදකලා කිරීමේ දේශපාලනය වෙතය. එහිදී මම සුමති රුප රචනා කරන ලෙසම , නව දේශපාලනයක අවශ්‍යතාවය පිලිගනිමි. එනම්, 2009 සිට ශ්‍රී ලංකාවේ ජාතිකවාදී රාජ්‍ය සහ ලිබරල්වාදී රාජ්‍ය නොවන සංවිධාන ද පවත්වා ගනු ලැබූ ලිබරල් සාම ක්‍රියාවලිය වෙනුවට නව දේශපාලනයක් අවශ්‍ය වී ඇත. එය තව දුරටත් ලිබරල් කේන්ද්‍රීය නොවිය යුතු බව මගේ මතය වේ. මන්දයත්, ලිබරල් කේන්ද්‍රීය සාමය ක්‍රියාවලිය මා හඳුනාගනු ලබන්නේ, චිත්‍රපටයේ එන ලෙසින් ම “කල්ලි ගැසී තේ පානය කරමින්, නැටුම් -ගැයුම් හරහා විනෝදය ඇතිකරගැනීම ක් ”ලෙසිනි. 2009 සිටම, ලිබරල් සාම ප්‍රවාහය වෙත විවිධ විවේචන එල්ල වී තිබුනද , මේ මොහොතේ ද සිදු වන්නේ, ‘කල්ලි ගැසී තේ සාද හෝ එකට එක් වී තමා ප්‍රේමයෙන් බැඳුනු අතීත කරුණු සිහි කැඳවමින් රාත්‍රී භෝජනය ගැනීම් ‘ පමණි. එහිදී, චිතරපටයේ ලලිතා ලෙසම ‘මට කවුරුත් කිවේ නැහැ / මම දැනගෙන හිටියේ නැහැ / අපිත් අමාරුවෙන් හිටියේ / මම හිතුවා එහෙම කරන්න ‘ ලෙස ලිබරල් සාම ව්‍යපෘති අසමත් වීම් සාධාරණීකරණය කරන ආකාරයක් මට පෙනී යයි.
එසේම, විමුක්ති කොටි සාමාජික භාවිතය මධ්‍යම පංතියේ නව සාමාන්‍යකරණය ට අභියෝගයක් වන ආකාරය සහ එය ලිබරල් සාම ක්‍රියාවලියේ දී ආමන්ත්‍රණට ලක් නොවීම ද මෙහිදී හඳුනාගත හැකිය. යුධ අවස්ථාවේ දී සහ ඉන් අනතුරුව ජයග්‍රාහික සාමයේ කැඳවුම්කරු වන ශ්‍රී ලංකා ජාතික රාජ්‍ය ද නිරන්තරයෙන් ම තම පරීක්ෂණය ට ලක් කල සාධකය වුයේ , විමුක්ති කොටි (රාජ්‍ය ට අනුව ත්‍රස්තවාදී) මුද්‍රාව ලත් ජනතාවය. එයින්ද, කඳුකරයේ සිට වන්නිය වෙත සිංහල රාජ්‍ය ප්‍රචණ්ඩත්වය හරහා පළවා හැරීමෙන් පසු වන්නියේ දී විමුක්ති සංවිධානය වෙත එක් වූ , නිර්ධන පාංතික දෙමළා වෙත එල්ල වූ පීඩනය දැඩි වූ නමුත්, ඉහළ නායකත්වයේ සිට රාජ්‍ය සමඟ එක වූ විමුක්ති කොටි සාමාජිකයන් වෙත නිදහසේ දේශපාලනය කිරීම අවකාශය හිමි වීමද මතකයේ තබා ගත යුතුය. කෙසේ නමුත්, මෙම සිනමා රචනාව තුල වන ජූඩ් විමුක්ති කොටි සංවිධානය සමඟ සම්බන්ද වීම පසු කාලීනව පවුලේ සාමාජිකයන් වෙත ලිබරල් සාමය පිළිගනිමින් , සාමාන්‍යකරණය ට ලක් වීමේදී සිදුකරන බලපෑම මත, අපේක්ශාභංගත්වය , රාජ්‍යය වෙත නොව තම පවුලේ සාමාජිකයා සහ සංවිධානය වෙත එදිරිවාදිකම ප්‍රකාශ කිරීම දැකගත හැකිවිය.
ජූඩ් යනු දේශපාලනික ව ස්වාධින එහෙත් විමුක්තිය වෙනුවෙන් LTTE ය වෙත එකඟතාවය ප්‍රකාශ කරන ලද තරුණයෙක් බවත්, අවසානයේ දී ඔහු සහ සංවිධානයේ විසම්මුතිය , ජීවිතය අහිමි කිරීමක් වන බවත් සුමති පවසා සිටි. මම එය කියවනුයේ, විසම්මුතිය ඉඩ දීමක් නොමැති වීම හේතුවෙන් ම LTTE සංවිධානය ට විමුක්තිය අහිමි වී ගිය නමුත් ඔවුන් විසින් සිදුකළ ඓතිහාසික කාර්ය හුදෙක්ම මරාදැමීම් වෙත පමණක් සිමා නොවන බවය. LTTE සංවිධානය වෙනුවෙන් වන මගේ ප්‍රේමය හට ගන්නේ ම , කුළය , පෞද්ගලික දේපල ක්‍රමය , ස්ත්‍රීත්වය යන ප්‍රධාන හේතු පදනම් ව පිඩාවට පත්කළ දෙමළ නිර්ධන පංතිය , විමුක්ති අරගලයක් වෙනුවෙන් සවිබලගන්වා, ඒකරාශී කිරීමට ඔවුන් සිදුකරන ලද උත්සහාය හේතුවෙනි. (එම උත්සාහය වෙනුවෙන් විවේචන පවතී).
එහිදී ස්ටලින්වාදී ප්‍රවේශයක් අනුගමනය කරමින් විසම්මුතිය ප්‍රතික්ෂේප කිරීමේ විපාකය නම්, 2009 දී මුල්ලියවයික්කාල වෙරළ තිරයේ දී, පරාජිතවීම සහ ඒ වෙනුවෙන් ඉහළ මානුෂිය මිලක් ගෙවීමට සිදු වීමය. එහිදී සුමති ගේ රචනය නැවත උපුටා ගනිමින් මම තහවුරු කරනු යේ, දෙමළ විමුක්ති අරගලය බිඳ වැටී -විනාශ වී යාමේ දෝශාරෝපනය දැඩිව LTTE සංවිධානය ට එල්ල වන අතර , එහි සාමාජිකත් ව මුද්‍රාව “ත්‍රස්තවාදී ” ලෙස නම් කරන රාජ්‍යයෙන් එල්ලවන පීඩාවෙන් ගොඩ නැගෙන ද්වේශය LTTE සංවිධානය වෙතට යොමු ව පවතින බවය. එහෙත් මෙම කියවීම සුමති ට නිසි ලෙස සොයා ගැනීමට හැකිවුයේ ද යන ගැටලුව මට ඇති වේ.
ඉන් අනතුරුව වියපත් වූවන් රැක ගැනීම, ඩයස්පෝරා ප්‍රාග්ධනය ලාභලබා ගැනීම වෙනුවෙන් ආයෝජනය කිරීම, මෝසමික චාරිකා මත ශ්‍රී ලංකා ව වෙත පැමිණ, ආදරණීයයන් රැකගැනීම යන සාමාන්‍යකරණ ජිවිතයේ ගැටළු පිළිබද සිනමා රචනයේ අවධානය යොමු වේ. මේ මොහොත වන විට ද, කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන්, දිවි රැකගැනීම දුෂ්කර වන ශ්‍රී ලංකාවේ වැඩකරන පංතියේ ජනයා අතරින් ද , යුද්ධයේ වින්දිත්ව , ශරීර අවයව අහිමි වූ දෙමළ ජන ප්‍රජාව, දැඩි දුෂ්කරතාවයක ට පත් වී ඇත. එවැනි පසුබිමක, යුද්ධයේ අඳුරු සෙවනැලි මත වියපත්ව ජිවත් වන දෙමළ ජනයා ගේ සුභ සාධනය වෙනුවෙන් පසුගිය දශකය ට අධික කාලයක් ම අවධානයක් යොමු නොවිය. ඔවුන් ව රැකබලා ගැනීම , ආරථික හැකියාව මත තීරණය වනවිට, එහි වගකීම කවුරුන් විසින් දැරිය යුතු වේද ? ජූඩ් ගේ මවගේ රූපණය මට සිහි කලේ, සුබ්‍රමනියම් සුවකාමි හෙවත් තමිලිනි ගේ මවය. මගේ මෙනෙහි කිරීම නම්, සුබ්‍රමනියම් ගවුරි විජේරාජා ගේ එක් දියණියක් වීරවරියක් ලෙස මිය යාම හදුන්වන සමාජයක අනෙක් දියණිය යුද්ධය අවසන්ව ජිවත්වීම වෙනුවෙන් ද්‍රෝහිනියක් ලෙස නම් කිරීම සිදුවන විට එම වේදනාව සමඟ වියපත් වූ ඇයව රැක බලාගැනීම කෙසේ සිදු වනු ඇතිද ?
ඔස්ට්‍ර්ලියාවේ ජිවත් වන මගේ දෙමළ මිතුරු/ මිතුරියන් හැඳින්වීමට මා යොදාගත් පදය වුයේ ‘ත්‍යජකයා/ පැනයන්නා ‘ (deserter) ය. වරක් මා මිතුරු ජෙරාඩ් පැවසිවේ , හැරයාම වේදනාවක් වුවත් ඒ මොහොතේ එය හැර වෙන විකල්පයක් නොවුනි බවය. රුප රචනයේ ලලිතා ද හැරයන්නීයක ලෙස මම හඳුන්වමි. ජීවිතය වෙනුවෙන් යුද්ධ ය හැර ගිය ද , කැනඩාවේ දී නිදහස නොමැති ජිවිතයක් හිමි වීම ද වේදනාවක් බව ඇය කියා දෙයි. මේ දිනවල, කාබුල් නුවරින් පිටව යන ඇෆ්ගන් ස්ත්‍රී- පුරුෂ වැසියන් වෙනුවෙන් ආරක්‍ෂිත/ නිදහස් ලෝකයක් දියුණු ධනේශ්වර භුමියේ පවතීද ? එම ස්ත්‍රී -පුරුෂ ජනයා නැවත නැවත ශ්‍රමිකයන් බවට පත් කරමින්, අවම ජිවත් වීමේ කොන්දේසි මත, ශ්‍රමය විකුණන ජනතාවක් බවට පත් නොවේද ? අවම වේතනයන් යටතේ, නොනැසී ඉතිරිවීම උදෙසා ඔවුන් ට මෙම ධනේශ්වර ක්‍රමය තුල ජිවත් වීමට සිදුවනු ඇත. එය දෙමළ ජනයාට ද පොදු ය. ඔවුන් ස්වර්ග රාජ්‍යක් වෙත ප්‍රවේශ වීම නොව, ජිවතය ආරක්ෂා කරගැනීම වෙනුවෙන්, උපන් භුමිය හැරදමා පැමිණ ඇත. එහිදී, අවම ජිවත් වීමේ පසුකම් ඔවුන් ට හිමි වන අතර අවාසනාව නම්, එම අවම පසුකම් සහ ජිවත් වීමේ අයිතිය, උපන් භුමියේ රාජ්‍යට තහවුරු කිරීමට නොහැකි වීමය.
මගේ දෙවන යෝජිත කරුණ නම්, සුමති විසින් නියෝජනය නොසලකා හැරීමේ / හුදකලා කිරීමේ දේශපාලනය ක් සිදු කර තිබෙන බවය. 1990 දී සිදුවන උතුරැකරයේන් මුස්ලිම්වරුන් පලවා හැරීමේ ක්‍රියාව පිලිබඳ මුස්ලිම් වරුන්ගේ නියෝජනය මෙහි ප්‍රකාශ නොවීම මෙම යෝජනාවේ පදනම වේ. එම පලවා හරිම පිලිබඳ එකඟ නොවන ජූඩ් ගේ කතාව පවා පැහැදලි ව කියා තිබෙන වටපිටාවක , එහි මුස්ලිම් අඛ්යානය හුදකලා කර තිබීම නැතිනම් නොසලකා හරිම මගින් පැවසෙනුයේ ලිබරල් සාම සාමාන්‍යකරණය ට ලක් වෙමින් පවතින දෙමළ මධ්‍යම පංති යේ විඥානය දැයි මට සිතුනි. අවතැන් වූ මුස්ලිම් ප්‍රජාව යුද්ධයෙන් පසු නැවත සිය නිජභුමි වෙත පැමිණීම පිළිගනිම ට තරම් ශක්තියක් දෙමළ මධ්‍යම පංතිය ට නොවූ බවට මගේ යෝජනාව වේ. අරගලය වෙනුවෙන් ශාප කිරීම මුස්ලිම් ප්‍රජාව විසින් සිදු කිරීම ත් ,එම ශාපයෙන් ගැලවීමට තම දරුවන් හට හැකි නොවූ බවත් පැවසීමට සුමති උත්සාහ කර තිබෙන අතර නැවත මුස්ලිම් ප්‍රජාව බේරාගැනීම වෙනුවෙන් විසම්මුතික දරුවන් කටයුතු කිරීම , ජිවිතය අහිමි කිරීමක් ලෙසත් කියා තිබීම පරස්පර විරෝධිතාවයක් ලෙස මම දකිමි. මෙම පරස්පර විරෝධිතාවය ම , මුස්ලිම් ප්‍රජාව හුදකලා කිරීමේ දේශපාලනය වෙත යොමු කිරීමක් චිත්‍ර පටයේ දී මට පෙනීයයි.
ලිපිය අවසන් කිරීම ට මම මෙසේ ලියා තබමි. “ඔව් සුමති… අපට නව දේශපාලනයක් අවශ්‍ය වේ. එහෙත් එහි හුදකලා කිරීම් වෙනුවට සාමුහිකත්වය තිබිය යුතු බවට මම යෝජනා කරමි “. එසේම සුමති සිවමොහන් පිලිබඳවද මම ලියා තබමි. දිග ජුම්කා පළඳනා වෙන් සැරසී සුමති ගේ පළමු දේශනය වුයේ ඇෆ්ගන් ජන ජිවිතයේ කුඩා දැරිවියක ගේ කතාවක් වූ osama චිත්‍රපටය අරභයා වේ (https://www.rogerebert.com/reviews/osama-2004). ඒ 2003 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දිය. තලෙයිබාන් පාලනය හේතුවෙන් රැකියාවේ නිරත වීම අහිමි වූ වෛද්‍ය මවගේ සහ අධ්‍යපනයේ අයිතිය වෙනුවෙන් පිරිමි වෙස් ගෙන පාඨශාලාව වෙත ගිය දැරිය වටා ගෙතෙන එම කතාව පිළිබඳ විශ්ලේෂණයක් කිරීම ඇය විසින් සිදු කරන ලදී. මේ ලිපිය ලියන මොහොතේ, ඇෆ්ගනිස්තානය නැවත තලෙයිබාන් පාලනයට යටත් වී ඇත. මෙවර එය චීන ව්‍යප්තවාදය සමඟ අත්වැල් බැඳගත හොත්, තලෙයිබාන් පීඩනය ධනේශ්වර පීඩනයක් බවට පත් වීමේ ඉඩක් වේයැයි මම සිතමි මා ද ඇතුළුව මගේ විශ්ව විද්‍යාල සමකාලින ස්ත්‍රී පුරුෂ බොහෝ දෙනෙකු සුමති ගේ සිනාවට ආදරය කළ බව නොරහසකි. ඒ සුමති ගේ රෑප රචනය ගැන මේ මගේ සටහන වේ.