Day: May 19, 2021

  • මිලියන 40ක් හොරාකෑ නිසා එලවා දැමූ මුද්‍රණ සංස්ථා සභාපති ගුවන්විදුලියේ සභාපතිකමට

    මිලියන 40ක් හොරාකෑ නිසා එලවා දැමූ මුද්‍රණ සංස්ථා සභාපති ගුවන්විදුලියේ සභාපතිකමට

    රුපියල් මිලියන 40කට අධික වංචාවක් හේතුවෙන් කෝප් කමිටුවේ එවකට සභාපති ඩිව් ගුණසේකරගේ නිර්දේශ මත 2014දී රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති තනතුරින් පහකරන්නට සිදුවූ ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද නැමැත්තා පසුගිය දා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

    ඔහු විසින් මුද්‍රණ නීතිගත සංස්ථා සභාපති ලෙස සිදුකරන ලද ඉහත මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ගත් නීතිමය ක්‍රියාමාර්ගයක් හෝ ඔහු විසින් වංචා කරන ලද රුපියල් මිලියන 40ක පමණ සංස්ථා මුදල්වලට සිදුවූයේ කුමක්ද යන්න මේවනතුරුත් දැනගන්නට නැත.
    මේ සම්බන්ධයෙන් මා විසින් එවකට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ චරිත හේරත්ගෙන් Charitha Herath ෆේස්බුක් සංවාදයක දී විමසන ලද නමුත්, මේ වනතෙක් ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැත.

    චරිත හේරත් යනු වත්මන් කෝප් කමිටු සභාපතිවරයා ද වීම විශේෂත්වයකි.

    “ලලිත් අඹන්වෙලගෙන් චරිත හේරත්ට චරිත සහතිකයක්” යන හිසින් මා 17 වැනිදා පළකළ ෆේස්බුක් පෝස්ටුවකට, මුල් වතාවේ ප්‍රතිචාර දක්වමින් වත්මන් කෝප් කමිටු සභාපති ආචාර්ය චරිත හේරත් කියා සිටියේ මේ චෝදනාවට තමන් දැනටමත් පිළිතුරු දී ඇති බවයි.

    ඔහුගේ පිළිතුර ප්‍රමාණවත් නොවන බව ද, එයින් අතුරු ප්‍රශ්න ගණනාවක් පැනනැගෙන බවද දක්වමින් මා විසින් ඔහුට දැක්වූ ප්‍රතිචාරයට පිළිතුරක් ලැබෙනතුරු බලාසිටියදී ය මේ තොරතුර දැනගන්නට ලැබුණේ.

    “ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වැඩ භාර ගනී” යන සිරසින් යුතුව පසුගිය මැයි 11 වැනි දා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා වෙබ්අඩවියේ පළකරන ලද ප්‍රවෘත්තියකට අනුව (මේ ප්‍රවෘත්තිය පළමු කොමෙන්ටුවේ එයි) මේ පුද්ගලයා මේ වනවිටත් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ වත්මන් සභාපතිවරයා ලෙසත්, 2014 කෝප් කමිටු නියමයෙන් සභාපතිකමින් පළවාහරින ලද රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත් කටයුතු කරයි.

    මේ පුද්ගලයා විසින් සිදුකරන ලද රාජ්‍ය මුදල් වංචාකිරීමේ චෝදනාව විධිමත් අධිකරණ ක්‍රියාවලියක් හමුවේ නිශ්ප්‍රභ වී, ඔහු නිර්දෝශී වී ඇතිනම් මේ නව තනතුරු පිළිබද කිසිදු ගැටලුවක් පැන නොනගින නමුත්, එසේ සිදුවූ කිසිදු විධිමත් නීති ක්‍රියාදාමයක් ගැන මෙතෙක් දැනගන්නට නැත.
    මේ අතර වත්මන් කෝප් කමිටු සභාපති චරිත හේරත් අද උදෑසන 10.30ට ද AskCOPEchair Q&A session නම් කෝප් කමිටු වැඩසටහනකට ද සහභාගී වූ බව ඔහුගේ ෆේස්බුක් පිටුවේ දැක්වේ.

    මිලියන 40ක පමණ රාජ්‍ය මුදල් අවභාවිත චෝදනා නිසා 2014 වනවිට පැවැති කෝප් කමිටුවේ නියමයෙන් තමන්ට ඉවත් කරන්නට සිදුවූ මේ පුද්ගලයාගේ වත්මන් තනතුරු සම්බන්ධයෙන්, වත්මන් කෝප් කමිටු සභාපතිට කීමට ඇත්තේ මොනවාද යන්න දැනගැනීමට මහජනයාට අයිතියක් ඇත යන පදනම මත ම’විසින් මේ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ද චරිත හේරත් මහතාගේ අදහස විමසා යවන ලද අතර, ඔහුගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් පසුවෙමි.
    මෙහි පළවන ඡායාරූප ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද Jayampathi Bandara Heenkenda ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටාගන්නා ලදී. එහි පළමු ඡායාරූපය මේ වනවිට ඔහුගේ පිටුවේ ඇති Cover Photo එක වන අතර දෙවැන්න ඔහුගේ Profile Picture ලෙස භාවිතා කර තිබේ.
    සාමාන්‍යයෙන් මා මාගේ පෝස්ටුවලට වෙනත් අය ටැග් නොකරන නමුත්, මේ වංචාව සම්බන්ධයෙන් මා ලියූ පෝස්ටු හා ඒවාට මා දැමූ කොමෙන්ටු සමගින් මගේ ෆේස්බුක් ගිණුම යම් අවහිරකිරීමේ ගැටලුවකට මුහුණදී ඇති බවක් හැගෙන බැවින් මම මේ පෝස්ටුවට ඊට අදාළයයි සිතන කිහිප දෙනෙක් ටැග්කරමි.

    උපුටා ගැනීම මුහුණු පොතේ සනත් බාලසුරියගේ පිටුවෙනි

  • වැඩකරන ජනතාව දහස් ගණනින් වසංගතයට ගොදුරුවෙද්දී අජිත් කබ්රාල් ආර්ථිකය පවත්වා ගත යුතු බව කියයි

    වැඩකරන ජනතාව දහස් ගණනින් වසංගතයට ගොදුරුවෙද්දී අජිත් කබ්රාල් ආර්ථිකය පවත්වා ගත යුතු බව කියයි

    දිවයින පුරා පසුගිය දින හතරේදී ක්‍රියාත්මක කෙරුණු සංචරණ තහනම හේතුවෙන් රටේ ආර්ථිකයට වූ පාඩුව රුපියල් කෝටි 6000 ඉක්මවන බව මුදල් ප්‍රාග්ධන සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

    සංචරණ තහනම හේතුවෙන් දේශීය දළ ජාතික නිෂ්පාදිතයෙන් දිනකට අහිමි වූ මුදල රුපියල් කෝටි 1500 කට අධික යැයිද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියයි.

    රට දින දහයක් වසා දැමුවොත් දළ ජාතික නිෂ්පාදිතයෙන් අහිමි වන මුදල රුපියල් කෝටි 15000ක්(බිලියන 150ක්)ලෙස ගණන් බලා ඇතැයි ද එය මුළු නිෂ්පාදිතයෙන් සියයට එකක ප්‍රතිශතයක් යයිද ඔහු කීය.

    එසේම මේ කාලසීමාවේදී සේවකයන් විශාල පිරිසකට වැඩ නැතුව වැටුප් ගෙවීමට රජයට සිදු වූ බවත් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ වීමෙන් සිදුවූ පාඩුවද අතිමහත් බවත් කබ්රාල් පවසා තිබේ.

    විශේෂයෙන්ම ඇඟලුම් නිෂ්පාදිතයන් නියමිත වේලාවට සැපයීමට නොහැකිවීම නිසා ආර්ථිකයට ලොකු බලපෑමක් මේ දින කිහිපයේදී ඇති වුණු බව ඔහු පවසයි.

    කුඩා ආර්ථිකයක් සහිත රාජ්‍යයක් හෙයින් රට නොවසා කොවිඩ් කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙලකට ගමන් කිරිම ඉතාම වැදගත් බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

    ඊයේ දිනයේ පානදුර මෝදරවිල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක කොවිඩ් රෝගීන් 450ක් වාර්තා වී ඇති බව මාධ්‍ය මගින් අනාවරණය කෙරිණි. අද දිනයේ තුල්හිරිය ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 400ට ආසන්න පිරිසකට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වී තිබේ.

    පසුගිය දින කීපයේ කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා තුල සේවය කරන සේවක සේවිකාවන් අතර කෝවීඩ් ව්‍යාප්තිය වේගවත් වී ඇති බව වාර්තා වේ. ආයතන ගණනාවක ආසාදිතයන් වාර්තා වුනත් මේ වනවිට එම ආසාදිත කීපදෙනා පමණක් ඉවත් කර අනිකුත් සේවක සේවිකාවන් පෙර පරිදිම සේවයට කැඳවමින් තිබේ.

    මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ආර්ථික විද්‍යා සූත්‍ර ගැන සඳහන් කරමින් සිටියදී ආර්ථිකය පවත්වාගැනීම වෙනුවෙන් දහස් ගණනින් ඇඟලුම් සේවිකාවන් කොවිඩ්වලට බිමිවෙමින් සිටියි. ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙලක් නැත. ගර්භනී කාන්තාවන්, දියවැඩියාව හෝ වෙනත් බෝනොවන රෝග සහිත රෝගාතුරවීමට ඉඩ ඇති සහ බරපතල රෝගාබාධ සඳහා අනතුරුදායකත්වය ඉහළ කම්කරුවන්ට ද වැඩට යාමට බලකෙරී තිබේ.

    ආර්ථිකයේ ආරක්ෂාව ගැන කතා කරන කබ්රාල්ලාට කර්මාන්තශාලා හිමියන්ට තමන්ගේ සේවකයින් ආරක්ෂා කිරීමේ වගකීමක් තිබිය යුතු බව අමතක වී ඇත. වකයින්ට ඔවුන්ගේ නේවාසිකාගාර තුළ දී ප්‍රායෝගිකව ආරක්ෂාව තහවුරු කිරීමට කෙනෙක් නැත.

    ක්‍රමානුකූල පීසීආර් පරීක්ෂණ, ආරක්ෂණ ක්‍රියාමාර්ග සහ වේතන සැලසුම් පිළිපදින්නේ ද යන්න පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කම්කරු නිලධාරීන් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල නිලධාරීන්ගේ අධික්ෂණයක් නැත.

    ඇඟලුම් ක්ෂේත්‍රයේ කම්කරුවන්ට එන්නත ලබාදීමේ වැඩපිළිවෙලක් ගැන ඉඟියක් පෙනෙන මානයක නැත.

    වැඩට පැමිණීම නිසා කර්මාන්තශාලා තුළ වෛරසයට ගොදුරු වුනාද නිරෝධායන කාල සීමාවේ පඩි ගෙවීමක් සිදුවන්නේ නැත.

    සමස්ත වැඩකරන ජනතාවට සිදුවී ඇත්තේ එක්කෝ කොවිඩ් වසංගතයට බිලිවීම හෝ නැතිනම් බඩගින්නේ සිටීමටයි.

    මේ වැඩකරන ජනතාව මුහුණ දෙමින් සිටන කිසිම ගැටළුවක් නොදකින අජිත් නිවාඩ් කබ්රාල්ලා ආර්ථිකය ගැන දුක් වෙමින් සිටියි. එම දුක්විම මේ වැඩකරන ජනතාවගේ ආර්ථිකය ගැන නම් නොවන බවත් විශාල සමාගම්වල ආර්ථිකය ගැන බවත් පැහැදිලිය.

     

     

  • මැයි 21 සිට කිසිදු ගුවන් මගියෙකුට ලංකාවට ඇතුළුවීම තහනම්

    මැයි 21 සිට කිසිදු ගුවන් මගියෙකුට ලංකාවට ඇතුළුවීම තහනම්

    ලබන මැයි 21 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට දින 10ක කාලයක් තුළ කිසිදු ගුවන් මගියෙකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කර තිබේ. ඒ අනුව මැයි 21 වැනිදා පස්වරු 11.59 සිට මැයි 31 වැනිදා පස්වරු 11.59 දක්වා මෙම තීරණය ක්‍රියාත්මක වේ.

    කෙසේ නමුත් මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ සිට වෙනත් රටවලට ගමන් කිරීම කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක වන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස පවසා ඇත.

  • වරාය නගර පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු නියෝග පිළිගන්නවා – මහින්ද රාජපක්ෂ

    වරාය නගර පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු නියෝග පිළිගන්නවා – මහින්ද රාජපක්ෂ

    ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු නියෝගයන් පිළිගන්නා බවත් එම සංශෝධන දෙවැනි කියවීමට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් අගමැති මහින්ද රාජපක්ෂ පවසා තිබේ. එසේම සියලු සහෝදර පක්ෂවලට ඇහුම්කන් දෙමින් තවත් සංශෝධන ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසා ඇත.

    කොළඹ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථාවලින් සියයට 75ක් ශ්‍රී ලාංකිකයින්ට වෙන්විය යුතු යැයි යන රෙගුලාසිය ගෙන ඒමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

    ඒ සඳහා අවශ්‍ය විශේෂ නිපුණතා ශ්‍රී ලාංකිකයින්ට නොමැති අවස්ථාවල දී එම කොන්දේසිය ලිහිල් කිරීමට කොමිෂන් සභාවට අවකාශය ලබාදිය යුතු බව ද අගමැතිවරයා පවසා ඇත.

    අද (19) උදෑසන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය ආරම්භ වු අතර එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා එම අදහස් පළ කර තිබේ.

    මේ අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ බහුතරයක් ශ්‍රී ලාංකිකයින් සිටිය යුතු බවත්, එහි සභාපතීත්වය ද ශ්‍රී ලාංකිකයෙකුට හිමි විය යුතු බවට වන යෝජනාවත් පනත තුළින් ම තහවුරු කිරීමට බලාපොරොත්තු වන බවත් අගමැතිවරයා සඳහන් කරයි.

    මේ අතර කොළඹ වරාය නගරය ඉදිකිරීමෙන් පුද්ගලයින් දෙලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට මුල් වසර 5 තුළ දී රැකියා හිමිවන බවට තක්සේරු කර ඇතැයි ද අගමැතිවරයා පෙන්වා දී ඇත.

    කොළඹ වරාය නගරය පදනම් කර ගනිමින් ඉදිරි වසර 5 තුළ දී අවම වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 15ක ආයෝජන ආකර්ෂණය කර ගැනීමට බලාපොරොත්තු වන බව ද පැවසු අගමැතිවරයා ඉහළ පෙළේ ආයෝජකයින් මෙරටට පැමිණෙනු ඇතැයි විශ්වාස කරන බව ද පැවසීය.

     

  • කඳාන දිස්ත්‍රික් රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු විසින් හොර ඕටී ගහන්නේ මෙහෙමයි

    කඳාන දිස්ත්‍රික් රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු විසින් හොර ඕටී ගහන්නේ මෙහෙමයි

    කඳාන දිස්ත්‍රික් රෝහලේ සේවය කරන මෙම වෛද්‍යවරයා විසින් වංචනිකව අතිකාල දීමනා ලබා ගන්නා බව සෞඛ්‍යය අමාත්‍යාංශයට දැන්වීමෙන් පසුව ඔහු විසින් අතිකාල දීමනා වංචා කරනු ලබන ආකාරය පිලිබඳව කඳාන දිස්ත්‍රික් රෝහලේ හෙදියක විසින් පෙන්වා දුන්නා.

    වෛද්‍යවරයෙකුට දිනකට පැය 4 ක අතිකාල සේවයේ යෙදී ඒ සඳහා මුදල් ලබා ගත හැකිය. පළවන ශ්‍රේණියේ වෛද්‍යවරයෙකුට පැයකට රුපියල් 1011 ද දෙවන ශ්‍රේණියේ වෛද්‍යවරයෙකුට පැයකට රුපියල් 980 ද ලබා ගත හැකිය. මේ අනුව පළවන ශ්‍රේණියේ වෛද්‍යවරයෙකුට තම වැටුපට අමතරව දිනකට රුපියල් 4044.00 අතිකාල දීමනා සඳහා ගෙවයි. ඒ අනුව එම ශ්‍රේණියේ වෛද්‍යවරයෙකුට තම වැටුපට අමතරව දළ වශයෙන් අතිකාල සඳහා මසකට රුපියල් 125364.00 උපයා ගත හැකිය. බොහෝ වෛද්‍යවරු තම සේවා මුරයට අමතරව පැය 5 – 8 අතර කාලයක් අවංකව රෝහල් වල සේවය කරති. එහෙත් සුළුතරයක් වූ මෙවැනි වෛද්‍යවරු බොරුවට අතිකාල ක්ලේම් දමා විශාල මුදලක් මාටියා ගසති.

    කඳාන දිස්ත්‍රික් රෝහලේ හෙදියක විසින් පෙන්වා දුන් ආකාරයට ඔහු තම දිනපොත් වල රෝගීන් බැලූ බවට ව්‍යාජ සටහන් තබයි . නැතහොත් විනාඩි පහක් රෝගියා බලා ඇඳ ඉහපතේ විනාඩි 45 රෝගියා බැලූ බවට සටහන් තබයි . මෙලෙස දිනකට පැය හතරක් කවර් වන ලෙසට ව්‍යාජ සටහන් තම දින පොත් වල තබා මාසයේ අන්තිමට දින පොත රෝහල් පරිපාලන නිලධාරී / රෝහල් ගණකාධිකාරී වෙත යවයි . මොවුන් මේ සෙල්ලම දන්නවා වූවද හොර ඕටී ක්ලේම් දමන දොස්තරලා සමග ගැටුමට යාමට ඇති බිය නිසා ඒවා අනුමත කරති. මෙසේ වසර ගනනාවක් පුරා මේ දොස්තර විසින් වංචනිකව මහජන මුදල් සොරකම් කොට තිබේ. අප සිතන්නේ මහජන මුදල් වංචා කරන්නේ දේශපාලකයන් කියාය. නමුත් මෙවැනි සුදු කරපටිකාරයෝද ජනතා මුදල් පිල්ලි ගසති.

     

    විශේෂ ලියුම් කරුවෙකි