මාවත් දෙකක්, ජනතා අභිලාෂයක් සහ හතලිස් ඇඳිරියක්

අපේ පරම්පරාව, ඒ කියන්නේ යටත් විජිත පාලනයේන් පස්සේ ඉන්න දෙවැනි කණ්ඩායම. තවත් විදිහකට කිව්වොත්, 1971 අරගලයෙන් පස්සේ ඉන්න කොටස. අපිට කලින් පරම්පරාව කියන්නේ මේ රටේ සමාජ දේශපාලන වෙනසක් සඳහා අරගලයක් කරපු පරම්පරාව. මේ පරම්පරා දෙකම හොඳටම ඩැමේජ් වුණු කට්ටිය. මේ අයට හොඳටම තුවාල ඇති වෙලා එක එක කාලවලදී පැරී පැරී වේදනාවට ලක් වුණු අය. තවමත් ඒ තුවාල සුව කර ගන්න බැරි වුණ අය. එක පැත්තකින් මේ අපි හැමෝම දේශපාලන හා සමාජ තුවාල විසින් ඇති කරන ලද ක්ෂතියකින් පෙලෙන අය. මේක නිසා තමයි මේ වගේ අරගලයකට එකතු වෙන්න අමාරු වෙන්නේ. පුලුල් නායකත්වයක් දෙන්න බැරි වෙලා තියෙන්නේ. කොහොම ඇතුල් උණත් කොහේ හරි ඔළුව වදිනවා. එත් මේ අය තවමත් ඒ තුවාල තියාගෙනම තවත් ජීවත් වෙන්නේ අරගලය කියන වචනයට අර්ථයක් හොයාගෙන. මේ පරම්පරා දෙක හරහා ඉපදුනු තුන් වැනි පරම්පරාව අද එම අරගලය අතට අරං. මේ දෙකටම වඩා වෙනස් වෙන්නෙත්, ලස්සන වෙන්නෙත් ඒක නිසයි. මේ තුන්වැනි පරම්පරාව ගැන වෙනම කතා කළ යුතු උණත් මෙතැනදී මේ අරගලයට හැරුණොත්, කියන්න තියෙන්නේ, හොඳ වැඩ්ඩෝ ගොඩක් ඉන්නවා. පට්ට නිර්මාණාත්මකයි. හැබැයි ඒක හැදිලා තියෙන්නේ මේ ඩිජිටල් ආකෘතිය ඒකට උදව්කරගෙන. මම අර මුලින් කිව්ව පරම්පාරා දෙකම ඇනලොග්. ඇනලොග් ඔළුවලිනුත් ඩිජිටල් වැඩ කරපු පරම්පරාවක් තමයි එදා, ඒ කලායට අනුව. මේ වැඩ දෙපැත්තටම අදාලයි. හොඳ විතරක් නෙවෙයි නරකත්, ඒ විතරක් නෙවෙයි කැතැත්. මේ තුනම ඇතුළත්. (trainary oppositions). එම නිසා අපි තුන් ගොල්ලෝ කාලයෙන් හා අවස්ථාවෙන් වෙනස් උණත් පරමාර්ථ වශයෙන් අරගලය තුල සමානයෝ. මොකද අපි කාටවත් අපි ප්‍රාර්ථනා කරපු යහපත් ලෝකය ලැබිලා නැති නිසා.

එදා අසාධාරණයට විරුද්ධව, සමානාත්මතාව ඉල්ලා , ජාතිවාදයට, වර්ගවාදයට විරුද්ධව නැගී හිටපු මිනිස්සුන්ගේ හඬ අද අපේ තුන් වැනි පරම්පරාවෙන් ප්‍රකාශ වෙනවා. ජාතිවාදය මාකට් කරන වුන්ට කර කියා ගන්න බැරි කරලා තියෙනවා. ඔවුන්ට හැකි වෙලා තියෙනවා අපි ඔක්කෝම එකම මිනිස්සු කියලා පෙන්නන්න. ඒකම ලොකු ජයග්‍රහණයක්. හැබැයි ඒක ආර්ථික කාරණේ දී විතරක් විය යුතු නෑ. ඒත් අපට තවම නො හැකි වී ඇති දේ තමයි, යුක්තිය සහ සාධාරණත්වය ඉෂ්ට කර ගැනීම. ඒක එක දවසක වැඩක් නෙවෙයි. එක මිහිහෙකුගෙ වැඩකුත් නෙවෙයි. හැබැයි දැන් ඒකට පොට පැදිලා තියෙන්නේ. පාර විවෘත වෙලා තියෙන්නේ. දැන් තමයි වැඩේ තියෙන්නේ. වැඩේ ඇදගෙන යන එක. වැඩේ දවසින් දවස ට්‍රාන්ස්ෆෝම්( විපරිවර්තනය) කරන එක. ඒක හරියට ඩිසයින් කරන්න ඕනැ. ඒකට නායකත්වයක් ඕනෑ. නායකත්වය කිව්වම, එක පුද්ගලයෙක් හෝ එක සංවිධානයක් කියන එක නෙමෙයි. හැබැයි යූනියන් (ඒකත්වයක්) එකක් තිබිය යුතුයි. ඒක විවිධත්වයට යටත් විය යුතුයි. පරමාර්ථය සහ ක්‍රියාමාර්ග යුක්තිය සහ සමානත්වය (Justice and Equity) යන දෙකෙන් සහ සම්බන්ධ විය යුතුයි.

රාජපක්ෂලා එලවලා දාන එක අංක එකෙන් පහළට ගත යුතු නෑ. මොනම විදිහකින් වත් ඔවුන්ට කිසි සමාවක් ලැබිය යුතු නෑ. ඒ පියවරට ගමන් කරන්නේ කොහොමද කියන එක උද්ඝෝණයෙන් එහාට යන්න ඕනෑ. මුලින්ම මේ අරගලය පැන නගින්න හේතූ භූත වුණ දේවල් බලනකොට අවබෝධ කර ගන්න තියෙන්නේ මේක බඩගින්න පිළිබඳ ප්‍රශ්නයක් කියන එක. ඒ කියන්නේ ආර්ථික ප්‍රශ්නයක් කියන එක. රාජපක්ෂලා හරි විදිහට එලවලා, ඒ කියන්නේ අත්අඩංගුවට අරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය නීතිය සම්පාදනය කර ගෙන ඒක ක්ෂණිකව ක්‍රියාත්මක කිරීමට හෝ කරවීමට වග බලා ගැනීම මේ අරගලයේ කළ යුතු වැඩවලින් අංක එකේ වැඩක්. මේක කරන්න වෙනවා නම් වෙන්නේ විධි දෙකකින්.

එකක් වන්නේ, ජනතාව විසින් බලය අල්ලා ගැනීම.

එහෙම වෙනවා නම් පාර්ලීමේන්තුව සහ ඔය කියන ඔළු අදාල නැහැ.

ගෝටා ගෝ හෝම් (Gota Go Home) කියන එකේ අවසාන බලාපොරොත්තුව ඒක බව පෙනෙන මහ හඬකුත් ඇහෙනවා. හැබැයි. ඒ හඬ සංවිධානාත්මක බවක් අරගලය තුල පෙනෙන්න නෑ. නමුත් ඒක එහෙම වෙන්න පුලුවන්. ඒකත් මේක ඇතුලෙනම නිර්මාණය කළ යුතු දෙයක්. ඒ දෙසට ගමන් කළ යුතුයි. ඒක තමයි කරන්න පුළුවන් නම් හොඳම එක. ඒකට තමයි නායකත්වයක් ඕනෑ කරන්නේ.

මේ අරගලයේ ගෝටා ගෝ හෝම් කියන දිශාවේ දෙවැනි විසඳුම වන්නේ රාජ්‍ය ගොඩ නැගීමට පවතින තත්ත්වයට ප්‍රතිසංස්කරණයක් ගෙන ඒමට මේ සටන මෙහෙයවන එක. ඒ මාර්ගයේ ගියොත් රාජපක්ෂලා එලවලා මේ එපා කියන පාර්ලීමේන්තුව කනපිට හැරවීම. ඒකට යන්න වෙන්නේ මේ ව්‍යවස්ථාදායකය ඇතුලෙන්. ඒක ඇතුළට ගහින් රුඩිකල්කරණයකට නීති ලක් කළ යුතු වෙන අතර තුර ඊට අරගලයම මේ හඬම තියා ගන්න වෙනවා. ජනතාව සංවරණ තුලණය බාර ගත යුතුයි. එතකොට ඔය 225 පිළිබඳ අදහස වෙනස් කරන්න පුලුවන් ද කියන එක බලන්න පුළුවන්.

මිනිස්සුන්ගේ පීඩාව නිවීමට වග බලා ගැනීමට රාජ්‍ය තන්ත්‍රය කටයුතු කිරීමත්, ඊට අදාල ජාතික හා ජාත්‍යන්තර සහය ගන්න එක අලුත් විදිහකට කරන්න බලන එක මේ මාර්ගයේ තියෙන ප්‍රධාන වැඩක්.

මේ මාර්ග දෙකෙන් යථාර්ථවාදී, සහ පොළොවේ උවමනාව පෙනෙන්නට ඇත්තේ දෙවැනි මාර්ගය. ඒ කියන්නේ ප්‍රතිසංස්කරණමය විපරිවර්තනයකට (Reform and Transformation) ගමන් කරන එක. ඒක මේ අරගල බිමේ බහුතරයකගේ අභිලාෂය වුණත්, ඒ අභිලාෂයේ ප්‍රකාශනය තුල තිබෙන්නේ පළමු කාරණය එනම් පාර්ලීමේන්තුවෙන් එලියේ බලය ලබා ගැනීම. ඒකට හේතුව අද දකින නියෝජනය වියෝජනය වී තිබීම.

මගේ වැටහීම නිවැරදි නම්, වාස්තවික හා මනෝ මූලික යථාර්ථයන් දෙක අතර අසමපාතබවක් ඇති වී තිබීම විසින්ම මේ අරගලයේ දිශාව අපහැදිලි කර තිබෙනවා. ඒ කියන්නේ මනෝමූලිකත්වය පාර්ලීමේන්තුවෙන් එලියේ බලයක් නිර්මාණය කිරීම වුවත්, වාස්තවික තත්ත්වය ඇත්තේ මේ පවතින ක්‍රමය තුල ම වෙනසක් කිරීමයි. මේ ක්‍රියා මාර්ග දෙකෙන් මොකක් කරන්න ගියත් මේ අපහැදිලිකමට කණ්ණාඩියක් දමා ගනීම හැකි ඉක්මනින් කළ යුතු යි.

අරගලයක් ගොඩාක් කල් ඇදෙන්න දීම කියන්නෙම බටහිර නව ලිබරල් ආකෘතියේ තිබෙන ගැටුම් නිරාකරණ න්‍යායන්ගේ එක ලක්ෂණයක්. ඒවා රාජපක්ෂලාට මහවුෂධ කම් කරන අය නො දන්නවා නෙවෙයි. එහෙම ඇදෙන ගැටුම් නිරාකරණය වෙන්නේ සුභවාදී විදිහට නෙවෙයි. ඒක නිසා මේ අරගල එක තැන එක විදිහට ඇදෙන්න දෙන්න නරකයි. ලෝකයේ හැම තැනම පැන නැගපු ජනතාවාදී නැගිටීම් අසාර්ථක කරන්න භාවිත කරපු එක උපක්‍රමයක් තමයි, එයට ඔහේ යන්න දෙන එක. එක තුල ප්‍රතිවිරෝධතා ඇති කරන්නටත්, ක්‍රමන්ත්‍රණ කරන්නටත්, බෙදා වෙන් කිරීමටත් අවස්ථාව යොදා ගන්න පුළුවන්. මේ අවස්ථාවේ දී, රාජපක්ෂලාගේ හැකියාව අඩු තක්සේරු කළ යුතු නෑ. එ්ක අවබෝධ කර ගත්තොත් අරගලය දිග් ගැදස්සේන්නේ නම්, එය ඩ්‍රැමටයිස් (dramtize) කර ගන්න එකත් වැඩක්. ඒකටයි නායකත්වය, ශික්ෂණය හා දර්ශනය අවශ්‍ය වෙන්නේ. දැනුම හා භාවිතාව ටෙස්ට් කරන්න වෙන්නේ.

අපි ටෙස්ට් කරමු. වැරදිලා වැරදිලා කෙලවාගත්තත්, විදුලිය හොයා ගත්ත තොමස් අල්නා එඩ්සන් උනත් එමෙයි. කෙලවාගෙනයි වැඩේ අල්ලාගත්තේ. ඒ නිසා දෙකම උරුමයි. මේදා නම් කෙලවෙන්න ඕන 74ක පවුල් පාලනයටයි.

තවත් පිටුවකින් නැවතත්

ජය

උදය ආර්. තෙන්නකෝන්


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *