Breaking News

විකටයාගේ නිවට නීති

අධි ආරක්‍ෂිත කලාප නම් කිරීමේ ගැසට්ටුව මේවනවිට විහිළුවක් බවට පත්ව තිබේ. ඒ වගේම තවත් පැත්තකින් ජනතා නැගිටීම්වලට බියෙන් අටවා ගන්නා ලද නිවට උපක්‍රමයක් බව තහවුරු වී ඇත.

අලුතින් නම් කළ අධිආරක්ෂිත කලාප හේතුවෙන් ශ්‍රිලංකා පුරුවැසියන්ගේ මුලික අයිතිවාසිකම් දැඩිව උල්ලංඝනය වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අද සඳහන් කර තිබේ. එසේම අධිආරක්ෂිත කලාප නම් කිරීමට රාජ්‍ය රහස් පනත යටතේ සිදුකළ නොහැකි බවට එම කොමිසම නිවේදනක් නිකුත් කරමින් දන්වා සිටියි.

කමල් ගුණරත්නගේ ‘පච’
සාමාන්‍ය ජනතාවට පහරදෙමින් රජය ගෙනයන අධම ක්‍රියාකලාපය සාධාරණීකරණය කිරීම සඳහා ආරකෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න අසාර්ථක උත්සාහයක් ගනු අද පැවති මාධ්‍ය හමුවකදී දක්නට ලැබුණි. ඔහු පවසන්නේ රට තුළ යම්කිසි ස්ථාවර තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබිය දීත් විරෝධතා පවත්වමින් ජනතාවට හිරිහැර කරන්නේ නම් ඒ සඳහා පොලීසිය නීතිය ක්‍රියාත්මක කරන බවයි. මෙහි විශේෂත්වය වන්නේ මෙරට සිවිල් නීතිය හා සාමය රැකීමට අදාල මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා නොවන ඔහු විසින් මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීමයි. ගෝඨාභය රාජපක්ෂ විසින් උද්ඝෝෂණ ස්ථානය ලෙස නම් කර ඇත්තේ වැරදි ස්ථානයක් බවද ඔහු පවසයි.

දැඩි ආරක්ෂිත කලාප කියන ඒවා අද ඊයේ ලංකාවට හඳුන්වා දුන් ඒවා නෙමෙයි. මෙය බොහෝ කාලයක සිට යම්කිසි ආකාරයකින් එන තත්ත්වයන් කොටසක් පාලනයට යොදාගත්ත දේවල්. පසුගිය කාලයේ ජනාධිපති ලේකම් කාර්යාලය වට කරගෙන හිටියා.

එතැන රජයේ නිලධාරීන්ට රාජකාරිය ඉෂ්ට කරන්න අවස්ථාවක් තිබුණේ නෑ. රටේ පාලනය පිළිබඳ තීරණය ගන්න තැනට. ඒ වගේ අවහිරතා ඇති වෙනවා නම් ඒ වගේ ස්ථාන අපි ආරක්ෂා කළ යුතුයි. කලින් ඇති වූ තත්ත්වය නැවත ඇති නොවිය යුතුයි.

ජනාධිපති මන්දිරය විදේශවලින් දූත කණ්ඩායම් ආපුවහම, ජනාධිපතිවරයා තානාපතිවරුන් සමග කතා කළේ එම ස්ථානයේ. ඒ අයට එතැනට එන්න බැරි නම්, කොළඹට ආව ගමන් පේන්නේ බොහෝම අරාජික, කලබලකාරී තත්ත්වයක් නම් ඒ අයගේ සහාය රටේ යම් දියුණුවක් ලබාගැනීමට විශාල බාධකයක් වෙනවා. ඒ නිසා විශාල කොළඹ නගරය තුළ ඉතාම සුළු ස්ථාන කිහිපයක් පමණයි අපි ගැසට් නියෝගයක් මගින් අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කරලා තියෙන්නේ.” කමල් ගුණරත්න පවසයි.

රෙනෝලාට අදාළ නැති අධි ආරක්‍ෂිත කලාප

කොළඹ ජනාධිපති නිල නිවස අසළ ෆෙයාවේ සහ රෙනෝ සිල්වාගේ සන් එෆ්.එම්. යන ආයතනවල අනුග්‍රහයෙන් 24වනදා රාත්‍රියේ විශාල සැණකෙළියක් පැවැත්වී ඇති බව මාධ්‍යවේදියෙක් තම facebook ගිණුම හරහා ප්‍රශ්න කර තිබේ. ඔහු පවසන ආකාරයට විශාල ශබ්ද සහිත සංගීතය සහ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එය පැවත්වී තිබේ. එසේම අධි ආරක්‍ෂිත කලාප නීතිය උල්ලංඝණය කරමින් රථවාහන සියගණනක් ඒ කලාපයේ නවතා තිබූ බව පැවසේ. මාධ්‍යවේදියාවැඩිදුරටත් පවසන්නේ අධි ආරක්‍ෂිත සීමා දමා තිබෙන්නේ කොටසකට පමණක් යන්නයි.

හදිසියේ මතුවූ වැඩබලන ආරක්ෂක ඇමති

වැඩබලන ආරක්ෂක ඇමති කියාගත් ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන් ද අද පැවති මාධ්‍ය හමුවකදී නන් දොඩවනු දැකිය හැකිවිය. ඔහු පවසන්නේ උද්ඝෝෂණ කරන්නේ නම් පැය 06ට පෙර පොලිස් ස්ථාන වෙත දැන්විය යුතු බවයි. ජනතාවට සාමකාමීව රැස්වීමේ අයිතිය තහවුරු කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළිනි.

“ජනාධිපතිතුමා අධිආරක්ෂිත කලාප ඇති කළේ ජනතාවට වගකිව යුතු රජයකින් අපේක්ෂා කරන ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටයි. ආරක්ෂික කලාප ලෙස නම් කරපු ස්ථානවල සුපුරුදු පරිදි ඕනෑ ම කෙනෙක්ට කටයුතු කරන්න පුළුවන්. මේකේ ගැටලුව ඇති වෙන්නේ අනීතික ක්‍රියා කරන්නන්ට පමණයි.” ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

මෙහි සාමකාමීව රැස්වීම සහ විරෝධය දැක්වීම අනීතික වන්නේ කෙස්දැයි ජනතාව ප්‍රශ්න කළ යුතුය.

leave a reply