Breaking News

රනිල්ගේ වවුනියා සංචාරයට ජනතාවගේ විරෝධය

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වවුනියාව සංචාරයට විරෝධය දක්වමින් හා යුද සමයේ අතුරුදහන්වූවන් සොයාගැනීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩලබාදෙන ලෙස ඉල්ලා වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට අද(19) විරෝධතාවක් පවත්වා තිබේ.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් ජනාධිපතිවරයා පැමිණෙන මාර්ගය අසල විරෝධතාවය පැවැත්වීමට සැලසුම් කොට තිබී ඇති අතර වවුනියාව පොලිස් නිලධාරීන් විසින් ඔවුන් ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමඟ දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් හටගැනින.

ජනාධිපතිවරයා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා පැමිණ සිටි අතර අතුරුදහන්වූවන්ගේ ඥාතීන් කළු කොඩි ඔසවමින් හා අතුරුදහන්වූවන්ගේ ඡායාරූප පෙන්වමින් පවසා සිටියේ තමන්ගේ ගැටළුවට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමෙන් අනතුරුව උතුරු පළාතේ සංචාරය කරන පළමු අවස්ථාව වන අතර එයට විරෝධය දක්වමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් එලෙස විරෝධය දැක්විය.

පොලිසිය විසින් වවුනියාව කාන්තා පොලිස් නිලධාරිනියන් ගෙන්වා විරෝධතාකරුවන් එක්තැනකට රැස්කොට ඔවුන්නට හඬනැගීමට නොහැකිවන සේ රැකවල් යොදා බාදා කරමින් විරෝධතාකරුවන් මෙල්ල කිරීමට කටයුතු කළ අයුරු දැකගත හැකිවිය.

2015 බලයට පත්වූ රනිල් – මෛත්‍රී ආණ්ඩුව විසින් උතුරේ දෙමළ ජනතාව වෙත ලබාදෙන ලද ප්‍රධාන පොරොන්දුවක් වූවේ යුධ සමයේ සහ පශ්චාත් යුධ සමයේ අතුරුදහන් කරන ලද පුද්ගලයන් වෙනුවෙන් යුක්තිය ඉෂ්ඨ කිරීමට මැදිහත් වෙන බවයි. නමුත් එම පොරොන්දුව කඩවුණු පොරොන්දුවක් බවට පත්විය.

leave a reply