‘ජවිපෙ නොවන වමක් තියෙනවද ?’
‘ජවිපෙ වමක් නෙවෙයිද ?’ (උඩ මාතෘකාව දැක්කම එහෙම ප්‍රශ්න එන්න පුළුවන්නෙ)
ශන්තාල් මුෆ් වගේ කෙනෙක් මතක් කර ගත්තොත් එයා ‘වාමාංශය’ කියන පුළුල් දේශපාලන ක්ෂේත්‍රය මූලෝපායිකව එකිනෙකින් වෙනස් වන ප්‍රවනතා තුනකට බෙදා දක්වනව.
1. Pure reformism – පැහැදිළි ප්‍රතිශංස්කරණවාදය
( මේ කැටගරිය ඇතුළෙ ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වගේම නව ලිබරල් ධනවාදයත් අනුමත කරනව)
2. Radical reformism – රැඩිකල් ප්‍රතිශංස්කරණවාදය
( මේ කැටගරිය ඇතුළෙදි ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම් පිළිගනිමින් නව ලිබරල්වාදයට විකල්ප වූ හෙජමොනියක් ගොඩනැගීම යෝජනා කරනව)
3. Revolutionary Politics – විප්ලවවාදී දේශපාලනය
(මේ කැටගරියෙ තමයි මාක්ස්-ලෙනින්වාදය,ට්‍රොට්ස්කිවාදය,ලිබරල්-රාජ්‍ය ආයතනවලින් පිටත මහජන බලයක් ගොඩනැගීම,කැරළිකාරී අරගලය වගේ යෝජනා තියෙන්නෙ)
ඉතිං ජවිපෙ/ජාජබ වගේ ව්‍යාපාරයක් හදුන්වන්න වෙන්නෙ අර 1 හා 2 අතර දෝලනය වන ප්‍රවනතාවයක් විදියටයි. (නව ලිබරල් ධනවාදයට විකල්පයක් නොකියන ‘පැහැදිළි ප්‍රතිශංස්කරණවාදය’ (අංක 1) ඇත්තටම වමක්ද ?කියන ප්‍රශ්නය මතු කරන එකේ වලංගුතාවයක් තිබුණත් එහි ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතැම් ඇගයුම් පිළිගන්න හින්ද අකමැත්තෙන් වුනත් ඒකත් පුළුල් වාමාංශය තුළ ස්ථානගත කිරීමේ යම් නැඹුරුවකුත් තියෙනව).
රැඩිකල් ප්‍රතිශංස්කරණවාදය කියන-අංක 2 වාම ප්‍රවනතාවය ඇතුළෙ ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ක්‍රමය බැහැර නොකර ඒ හරහා ගිහින් නව ලිබරල් ධනවාදයට විකල්පයක් හොයන්න බලනව. ඉතිං ඔය පැති දෙකටම ජවිපෙ/ජාජබ චලනය වෙනව නේද ?
3 වෙනි වාමාංශික ප්‍රවනතාවය බොහෝදුරට පෙරටුගාමී වම-අන්තරේ-ජන අරගල වෘත්තිය සමිති එකතුව ආදියෙන් නියෝජනය වෙනව.’දියවන්නාවෙන් එළියෙ බලයක්’ , ‘වැඩකරන පංතියේ කම්කරු අරගලය’, ‘සමාජවාදී වැඩපිළිවෙලක්’ වගේ සටන් පාඨ වැඩකරන්නෙ ඒ අක්ෂය තුළයි. ඒක ‘රැඩිකල් වම’ කියල හදුන්වන්නත් පුළුවන්.
ඉතිං ‘වාමාංශය’ කියන අනන්‍යතාවයට පැහැදිළි කැපවීමක් හා අයිතියක් ඇත්තේ තමන්ට බව විවෘතව පෙන්නුම් කරමින්,කියමින් දේශපාලනය කරන්නෙ මේ තුන්වෙනි ප්‍රවනතාවයයි.මේ පෙරමුණ විසින් අර උඩ ප්‍රවනතා දෙක වාමාංශිකද කියල බොහෝවිට ප්‍රශ්න කරනව.විවේචනය කරනව. විශේෂයෙන්ම මෙම ‘විප්ලවවාදී වමාංශයේ’ දැඩි විවේචනය එල්ල වෙන්නෙ අංක 1 (පැහැදිළි ප්‍රතිශංස්කරණවාදී) පිළට. අංක 2 (රැඩිකල් ප්‍රතිශංස්කරණවාදී) ප්‍රවනතාවය එක්ක සහයොගීතාවයක් පවත්වා ගන්න විප්ලවවාදී වමට එතරම්ම ගැටළුවක් නැහැ. (පෙරටුගාමී වම හා ජන අරගල-වෘත්තිය සමිති වම විසින් ජවිපෙ/ජාජබ විවේචනයට ලක් කරන්නෙ ඔන්න ඔය පදනමින්-නව ලිබරල් ධනවාදයට පැහැදිළි රැඩිකල් විකල්පයක් යෝජනා කරන්න අසමත් කියන අදහසින්)
දැන් අර අංක 1 හා අංක 2 ප්‍රවනතා දෙක විසින් අඩු වැඩි වශයෙන් අංක 3 වන රැඩිකල් වමට ගේන විවේචනය තමයි ‘උඹල අන්තවාදී-උග්‍ර වමක්’, ‘උඹලට ආණ්ඩු බලයක් ගන්න බැහැ’, ‘ඒ නිසා කරන්න බැරි මනෝරාජ්‍යයකට ජනතාව දක්කනව’, ‘උඹල කැරළිකාරී අරගලය තීව්‍ර කරල රාජ්‍ය මර්දනය කැදවාගන්නව’, ‘පොදු ජන කැමැත්ත උඹලගෙන් ඈතයි’ වගේ කාරණා. (ජවිපෙ/ජාජබ වගේ නියෝජනයන් විසින් පෙරටුගාමී වමට හා කම්කරු අරගල වමට ගේන විවේචනයන් කැරකෙන්නෙ මේ වටේ)
මම(අපි) වගේ අයව දේශපාලන-සංස්කෘතික සමාජයට පේන්නෙ මේ අංක 3 කදවුරේ නියෝජනයක් විදියට. ඒ දිශාවට මම (අපි) දේශපාලනිකව බර වුනත් බොහෝවිට 2 වන ප්‍රවනතාවට (රැඩිකල් ප්‍රතිශංස්කරණ) තමයි න්‍යායික-චින්තනමය උනන්දුව තියෙන්නෙ..ඒ කියන්නෙ මම (අපි) 2 හා 3 අතර දෝලනය වෙනව කියන්න පුළුවන්.
ඉතිං, ඉදිරි මැතිවරණ වලින් ජවිපෙ/ජාජබ ව්‍යාපාරය සාර්ථක වීම හෝ රාජ්‍ය බලය කරා ආසන්න වීම විප්ලවාදී-රැඩිකල් වාම දේශපාලනය පැත්තෙන් වාසි සහගතද ? අවාසි සහගතද ? මේ මොහොතේ ජවිපෙ/ජාජබ ලබමින් තිබෙන ජනතා අනුමැතියේ සාර්ථකත්වය සමාජවාදය ඉදිරි අරමුණ කරගත් ‘ජන අරගල වාමාංශය’ බාර ගත යුත්තේ කෙසේද ? ඊට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද ?
පුළුල් වාමාංශික දේශපාලනයේ ප්‍රවනතාමය ලක්ෂණ මේ සටහන තුළ මතක් කළේ ඉහත ප්‍රශ්නයන්ට සාධනීය පිළිතුරු සකසා ගැනීම වෙනුවෙන්. නව ලිබරල් ධනවාදයට විකල්ප හෙජමොනියක් ගොඩනැගීම හා 21 සියවසේ සමාජවාදය තිරසර විසදුමක් ලෙස පරිකල්පනය කරන විප්ලවවාදී (හා රැඩිකල් ප්‍රතිශංස්කරණවාදී) වාමාංශයට ජවිපෙ/ජාජබ වෙත දැන් ඇදෙමින් තිබෙන ‘ජනතා රැල්ල’ හානිකරද ?
ඊළග සටහනකින් ඒ ගැන කතා කරමු !