Breaking News

අරුන නිශාන්තගේ “පිලව්” ලිට් රූම් – සූම් වෙත

මැයි මස 24 ලිට් රූම් – සූම් සංවාදය වෙන් කර ඇත්තේ අරුන නිශාන්ත රණවීර විසින් රචිත “පිලව්” නවකතාව වෙනුවෙනි.

රතු ඉර ජාතික පුවත්පතේ විශේෂාංග ලේඛකයකු වශයෙන් කටයුතු කරන අරුන නිශාන්ත රණවීර දේශකයෙකු ලේඛකයෙකු සහ රංගන ශිල්පියෙකු, ඡායාරූප ශිල්පියෙකු වශයෙන් කලා කටයුතු රැසක නියැලී සිටින්නෙකි. 2007 වසරේ දී සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අත් පිටපත් තරඟෙයෙන් ඔහු විසින් රචනා කළ “කුමරියක පා සළඹ සැළුණා” නවකතාව ජය ලැබීය. එය එම අමාත්‍යංශයේ ප්‍රකාශනයක් ලෙස මුද්‍රණය කරන්නට යෙදුණි. එම වසරේදීම ඔහු පාක්ෂිකයා නමින් කෙටි කතා එකතුවක් ද පළ කළේය. ලිට් රූම් සූම් සංවාදයට බඳුන් වන “පිලව්” රණවීරගේ දෙවන නවකතාව ය.

ශාමිණි නම් ස්ත්‍රීයගේ ජීවිතය වටා ගෙතී ඇති නවකතාවකි. ශාමිණි කුඩා පාසල් සිසුවියක ලෙස සිය නිවස තුළත්, ඥාති නිවස්නයන් තුළත් හිංසනයට හා අපයෝජනයට ලක්වන අතර පාසල තුළද ඇයගෙන් ප්‍රයෝජන ගැනීමට සම වයස් මිතුරන්ද මිතුරියන් ද ගුරුවරුන්ද එක් වෙති. එකී අභියෝගයනගේ ම දිගුවක් ලෙස ඇයගේ වැඩිහිටි ජීවිතය ද ගලායන ආකාරයත් අනේක විධ බාදක මැද ශාමිණි ජීවිතය ජය ගන්නා ආකාරය “පිලව්” නවකතාවට තේමාව වී ඇත.

ලිට් රූම් සූම් සංවාදයේදී “පිලව් නවකතාව” පිළිබඳ අදහස් පෝෂණයට චානිකා මුතුනායක සහ යසස් සමන්ත වීරසිංහ විදවතුන් වෙතිනි.

චානිකා මුතුනායක, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන උපදේශකාවකි. මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ හිටපු අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීනිය සේම මානව සම්පත් සංවර්ධන නිලධාරිනියක ලෙස රාජ්‍ය අංශයේ වසර ගණනාවක මානව සම්පත් සංවර්ධන ක්ෂේත්‍රයේ එනම් වෘත්තීය මාර්ගෝපදේශනය හා රැකියාගත කිරීම් ක්ෂේත්‍රයේ පළපුරුද්දක් ද ඇය සතුය. ව්‍යාපාර සංවර්ධනය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවයන් පිළිබඳ ප්‍රවීණ පුහුණුකාරිණියක මෙන්ම, ශාස්ත්‍රීය ලේඛනයේ මෙන්ම ළමා සාහිත්‍යය නිර්මාණකරණයේද යෙදෙන්නියකි.

යසස් සමන්ත වීරසිංහ, වසර දශක කිහිපයක සිට, පුවත්පත් සහ සමාජ මාධ්‍ය තුල සිංහල කවිය සමඟ සමීප ගනුදෙනුවක නියුත්තෙකි. 2024 විදර්ශන සාහිත්‍යය අත්පිටපත් තරගාවලියේ නවකතා අංශයේ ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කළේ යසස් වීරසිංහ විසින් රචිත ” වැහි පීල්ලක අතරමංව” නවකතාව යි. එය ඔහු වීසින් ප්‍රකාශයට පත් කළ ප්‍රථම නවකතාව වීම ද විශේෂත්වයකි.

සංවාදය මෙහෙයවීම හරීන්ද්‍ර යසස් ගම්මැදගේ විසිනි. හරේන්ද්‍ර ග්‍රැෆික් නිර්මාණ හා indesign පිටු සැකසුම් ශිල්පියෙකි. ඔහු කාල වර්ණ, තෝරාගැනීම, ආත්මබුදින්නා, මෘග භීෂණය හා AI + යන අද්භූත හා විද්‍යා ප්‍රබන්ධ ශානරයන්ට අයත් නවකතාවන්ගේ කතුවරයා ද වෙයි.

මෙම සංවාදය සාහිත සංවාද යු ටියුබ් චැනලය හා ලිට් රූම් ෆේස් බුක් පිටුව හරහා සජීවීව විකාශනය වීමට ද නියමිතය.

මැයි මස 24 වන ඉරු දින, පස්වරු හතට සූම් අවකාශයේ දි දිග හැරෙන ලිට් රූම් සංවාද මාලාවේ 19 වන සංවාද වාරය සඳහා, ඔබ සැමට ලිට් රූම් සාමුහිකය ගෞරවයෙන් ආරාධනා කර සිටියි. (Meeting ID: 845 8577 1133 Passcode: 805451)

නිරෝෂ ප්‍රනාන්දු

leave a reply