The Trumpet of the Swan ලෝ ප්‍රකට යොවුන් නවකතාවේ සිංහල පරිවර්තනය වූ, එඩ්නා මල්කාන්ති ලේඛිකාව විසින් රචිත “ට්‍රම්පට් හංසයා” 19 ඉරු දින රාත්‍රි 7 ට ලිට් රූම් සංවාද මණ්ඩපයේදි දිග හැරෙයි.
එම සංවාදයේ සම්පත් දායකත්වය මහින්ද කුමාර දළුපොත සහ තිලක පියදාස ප්‍රවීණ සාහිත්‍යවේදීන්ගෙනි.
මහින්ද කුමාර දළුපොත මහතා ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ජනශ්‍රැති පර්යේෂකයෙකු, ලේඛකයෙකු සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වේ. ඔහු සිංහල ගැමි සංස්කෘතිය, ජන වහර සහ සම්ප්‍රදායන් පිළිබඳ ගැඹුරු හැදෑරීමක් සිදුකරන විද්වතෙකි. ඔහු විසින් රචිත “අලි ඩෝලේ” නම් යොවුන් නවකතාව 2019 වසරේ රජත පුස්තක සම්මානයට පාත්‍ර විය. ඔහු විසින් රචිත තවත් යොවුන් නවකතාවක් වූ “එළාර රජ්ජුරුවන්ගේ මුව දඩයම” යොවුන් නවකතාව ද, 2017 වසරේ ප්‍රකාශිත රජත පුස්තක සම්මාන උළෙලේ දි ඇගයීමට පාත්‍ර විය.





තිලක පියදාස මහතා සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ සක්‍රීයව කටයුතු කරන ප්‍රවීණ ලේඛකයෙකි. ප්‍රශස්ත මට්ටමේ භාෂා පරිවර්තකයෙකි. ඔහු විසින් සංග්‍රහ කරනලද “නරුමයකුගේ සුන්දර රාත්‍රිය” කාව්‍ය එකතුව කාව්‍ය සාහිත්‍ය සමාජය තුළ පුළුල් සංවාදයක් ගොඩ නැගීමට සමත් වූ කාව්‍ය එකතුවකි.
ශ්‍රි ලංකා ගුවන් විදුලියට කෙටි කතාංග ලිවීමෙන් සිය ලේඛන දිවිය ඇරඹූ එඩ්නා මල්කාන්ති පසු කලෙක කිවිඳියක ලෙස සිංහල කාව්‍ය ප්‍රිය රසික සමාජය තුළ නමක් දිනා ගත්තීය. නවලිය, දිවයින ආදී පුවත්පත් කවි පිටු හරහා කාව්‍යාභ්‍යාස කළ ඈ “පතොක් කැලේ මල්” සහ “අලුත් පිරිත” නමින් කාව්‍ය සංග්‍රහ දෙකක් මුද්‍රණයෙන් පල කළාය. ඇය පුවත්පත් විශේෂාංග රචනාවට සහ තීරු ලිපි රචනයට ද වෙසෙස් සමත්කම් දැක් වූ අතර “වත්මන” , “ඇය”, සහ “දෙසතිය” සඟරා ආදිය හරහා ඇය පාඨකයන් ආමන්ත්‍රණය කරන්නට යෙදුනීය.
ප්‍රකට ඇමරිකානු ප්‍රබන්ධ රචක E B White විසින් 1970 දි පමණ ප්‍රකාශයට පත් කළ The Trumpet of the Swan යොවුන් නවකතාව සිංහලට පරිවර්තනය කළ එඩ්නා මල්කාන්ති නිහඬව දිගු ගමන් මගක ඇවිද ආ දීප්තිමත් ලේඛිකාවකි. මේ වන විට ඇය මුද්‍රණයෙන් පළ කර ඇති පරිවර්තන කෘති සංඛ්‍යාව 12ට ආසන්නය.
ඒ අනුව එඩ්නා මල්කාන්ති කතුවරිය වඩාත් ප්‍රචලිතව සිටිනුයේ පරිවර්තන සාහිත්‍යයේ නියැලෙන්නියක ලෙසය. ශ්‍රි ලංකාවේ යොවුන් පරපුර වෙත විදේශ යොවුන් සාහිත්‍ය ගෙන ඒමට ඇගෙන් වූ දායකත්වයට නිසි ඇගයීමක් ලැබුනේද යන්න පවා අපට ගැටලුවකි. ඇය විසින් සිංහල බසින් ලියවුන පොත පත හදාරන යොවුන් පරපුර වෙත දායක කළ කෘතින් අතර සුවිශේෂි හැකියාවන්ගෙන් යුතු කුඩා දැරියක් පිළිබඳ ලියැවුන මැටිල්ඩා ලමා නවකතාව රචනා කළ රෝල්න්ඩ් ඩාල් නම් බ්‍රිතාන්‍ය ලේඛකයා පිළිබඳව ලියැවුන “සිහින මැවූ රෝල් ඩාල්” යොවුන් පාඨකයන්ගේ ජීවිත වෙතට, කියවීමේ සංතුෂ්ටිය සමඟ උද්‍යෝගිමත් හා ධනාත්මක මග පෙන්වීමක් ලබා දෙන්නට සමත් වූ කෘතියකි.
දෘශ්‍ය අභියෝග සහිත පිරිස් වෙනුවෙන් බ්‍රේල් ක්‍රමය හඳුන්වා දුන් ලූයි බ්‍රේල්ගේ චරිතාපදානය ද එඩ්නා මල්කාන්ති විසින් සිංහලට පරිවර්තනය කරන්නට යෙදුන කෘති අතරින් විශේෂ කෘතියකි.
“අලස රැවටිලිකාරයා සහ තවත් නේපාල ජනකතා” නමින් පරිවර්තිත කෘතිය සිංහල යොවුන් රසික දරු පරපුර වෙත එඩ්නාගෙන් ලැබුන තවත් අනර්ඝ ත්‍යාගයකි.
මකුළුවෙකුත් ඌරු පැටියෙකුත් අතර ඇතිවන මිත්‍රත්වය ගැන ලියවුණු සුන්දර කතාවක් වූ
“චාලට්ගේ මකුළු දැල” කෘතිය සහ ට්‍රම්පට් හංසයා ඇගේ අනෙකුත් යොවුන් නවකතා පරිවර්තනයන් ය. එම කෘති දෙකම ඇමරිකානු ජාතික ප්‍රවීණ ලේඛක E B Whiteගේ නිර්මාණයන් ය. ට්‍රම්පට් හංසයා කතා කිරීමට නො හැකිව උපන් ලුයිස් නම් හංසයා සහ සෑම් නම් යොවුන් සිසුවෙකුගේ ව්ක්‍රමාන්විතයක් අත්දැකීම් කොට ලියැවී ඇත. අභියෝග හමුවේ නොපසුබස්නා උත්සහයේ වැදගත්කම පහදන, ආදරය සහ කරුණා රසය පිරුණ නිර්මාණයක් වන ට්‍රම්පට් හංසයා, ආරම්භයේ සිට අවසානය දක්වාම කියවන්නා ආකර්ශනය කරන කුතුහලයෙන් පිරි කතා පුවතකි. එය සුසර පොතක් ලෙස 2024 දි ප්‍රථම වතාවට සිංහල යොවුන් පාඨකයන් අතට පත් විය.
අප්‍රියල් 19 වන ඉරු දින, පස්වරු හතට සූම් අවකාශයේ දි දිග හැරෙන ලිට් රූම් සංවාද මාලාවේ 14 අංගයට සම්බන්ධ වි The Trumpet of the Swan ලෝ ප්‍රකට යොවුන් නවකතාවේ සිංහල පරිවර්තනය පිළිබඳ කෙරෙන රසබර විද්වත් සංවාදයට සහභාගි වන ලෙස එම සමූහය ඔබ සැමට ආරාධනා කර සිටියි.
සූම්සංවාදයට සම්බන්ධ වීමට පහත සඳහන් හැඳුනුම් අංකය හා මුර අංකය භාවිත කරන්න. නැතහොත් “සාහිත සංවාද” යු ටියුබ් චැනලයට එකතු වන්න.
Meeting ID: 845 8577 1133
Passcode: 805451
නිරෝෂ ප්‍රනාන්දු






