Breaking News

අලි සබ්රිගේ 20 වන ව්‍යවස්ථා සංශෝධන අලි කතා

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට ඒ වෙනුවට 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට අදාළ යෝජනාව සැප්තැම්බර් මස මැද භාගය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පැවසීය.

මෙම යෝජනාව අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද ඔහු පැවසීය.

“19 වන ව්‍යවස්ථා සංශෝධනයේ රටට අහිතකර වන ඕනෑම වගන්තියක් අහෝසි කොට ඒ අනුව ඒවා සංශෝධනය කිරීමට අපි පියවර ගනිමින් සිටිනවා.

“සියලු ප්‍රජාවන්ගේ කැමැත්ත සහිත ඵලදායී ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”

මෙම යෝජනාව යටතේ ජනාධිපතිවරයෙකුගේ ධුර කාලය වසර පහකට සීමා වන බවත්, අපේක්ෂකයෙකුට දෙවරකට වඩා ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවිය හැකි පරිදි එය සංශෝධනය වන බවත් ඇමතිවරයා පැවසීය.

මෙම යෝජනාවෙන් ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරිත්වයට කිසිදු බාධාවක් නොවන බවද අලි සබ්රි පවසා තිබේ.

19වන සංශෝධනයේ තිබූ මූලික වෙනස්කම් කිහිපයක් වූවේ ජනාධිපතිගේ ධූර කාලය වසර 5ට සීමා කිරීම සහ ස්වාධීන කොමිෂන් සභා පවත්වාගෙන යාමයි. අලුතින් පත්වූ ආණ්ඩුවට එම කොටස් වෙනස් කිරීමට අවශ්‍යතාවයක් නැතිනම් සැබෑ ලෙසම ඔවුන්ට අවශ්‍ය කුමක්ද යන ගැටලුව මතුවේ. මන්ද මැතිවරණ සමයේ පොදුජන පෙරමුණු අපේක්ෂකයන් මතුකළ ප්‍රධාන තර්කයක් වූවේ 19වන සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල සීමා කර ඇති බවයි. එය සිදුවන්නේ ස්වාධීන කොමිෂන් සභා හරහා බව ඔවුන්ගේ අදහස විය. ඒ මොහොතේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් නගන ලද එක චෝදනාවක් වූවේ බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු පැමිණීම සඳහා ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු ධූරයක් දැරීමට ඇති බාධාව ඉවත් කිරීම 19 සංශෝධනය අහෝසි කිරීමේ ප්‍රධාන ඉලක්කයක් බවයි.

leave a reply