Breaking News

තෙල්මිල ඉහළ දමා ආර්ථිකය ශක්තිමත් කරන වැඩකරන විරුවාගේ’ අපභ්‍රංස ටූල් බොක්ස්එක – 2

සනත් බාලසුරිය

බරකරත්ත ELECTRIC කරන මෝඩ නන්දසේන ගේ සුරංගනා කතා

තෙල්මිල වැඩිකළේ “….ඛනිජ තෙල් වලින් ධාවනය වන වාහන ආනයනය මුළුමනින්ම නතර කර ELECTRIC රථ වාහන භාවිතය ප්‍රචලිත කිරීමත්…” අරමුණු කරගෙන බවට වන මේ පට්ටපල් බොරුව යහමින් ආලවට්ටම් දමා රටට කියන නන්දසේන පෙන්වන්නට හදන්නේ තනිකරම දවල් හීනයක් බව මීට පෙර පැහැදිළි කළෙමි.
විදුලි දුම්රිය පිළිබඳ අපගේ අත්දැකීම් හා දන්නා කියන තොරතුරු මෙහි ඉදිරිපත් නොකරන්නේ මේ කතාව තව තවත් දිග්ගැස්සෙන බැවිනි. ඉතාම කෙටියෙන් යමක් කියනවා නම්, ඉන්ධනවලින් දුවන දුම්රිය පද්ධතියක් විදුලි දුම්රියට හැරවීම යනු අති දැවැන්ත ආයෝජනයක් අවශ්‍ය වන, දීර්ඝ කාලීන සැලසුමක් අවශ්‍ය වන, කල්ගතවන ක්‍රියාවලියකි. දන්නා තරමින් ඒ සඳහා ඇති හොඳම විකල්පය දුම්රිය මාර්ග විද්‍යුත්කරණය (electrified) කිරීම ය. අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම, සුපරීක්ෂාකාරී නඩත්තුව ඇතුළු බොහෝ දේ ඒ සඳහා ඇවැසි වෙයි. භාවිතයේ ඇති සියලුම දුම්රිය මාර්ග මේ වනතෙක් මෙසේ විද්‍යුත්කරණය කරන ලද එකම යුරෝපීය රට ස්විට්සර්ලන්තය යි.

ඊනියා නිදහසින් වසර 73ක් ගතවන විටත් සුද්දා හදා ගිය රේල්පාරවල් ටිකට ලංකාව මෙතෙක් පාලනය කළ පාලකයන්ට අලුතෙන් එකතුකරගත හැකිවූයේ කිලෝමීටර් කීයද? 1990 පටන් තටමා අවසානයේ මාතර සිට බෙලිඅත්තට කිලෝමීටර් විසිපහකි.

ඉතින් නන්දසේන දැන් හදිසියේ තෙල්මිල ඉහළ දමා, ඊට හේතු ලෙස සුරංගනා කතාවක් ගොතා රථවාහන ELECTRIC කිරීමෙන් නොනැවතී දුම්රිය ද ELECTRIC කිරීමට පිටපොට ගසයි.

මේ කිසිවක් කළ නොහැකි දේ හෝ කළ නොයුතු දේ නොවන්නේ ම ය. පොසිල ඉන්ධන අර්බුදය හා ගෝලීය මට්ටමේ පරිසර අර්බුදය සලකන කල විද්‍යුත් වාහන කරා ක්‍රමාණුකූල ගමනක් යාමේ අවශ්‍යතාව ‘දියුණු’ ලෙස වර්ගීකරණය කළ රටවලදී ද ජනප්‍රිය කතිකාව තුළ පවා පවතින්නක් වන අතර, ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක්, කැපවීමක් හා ඉහළ ආයෝජනයක් අවශ්‍ය ය.

දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවාවලින් හැකි ප්‍රමාණයක් විදුලි බලශක්තියට හැරවීම ලංකාවට ද කඩිනමින් කළ හැකි තරමට ඉතා වැදගත් ය.
එහෙත් ඊට ඇවැසි වන්නේ මිනිසුන් ගොනාට අන්දන මෙබඳු සුරංගනා කතා නොව නිශ්චිත ප්‍රතිපත්ති, සැලසුම් හා ආයෝජනයන් ය. ඉන්ධන මිල වැඩිකර රටේ ප්‍රවාහනය ELECTRIC කරන්නට යනවා නම්, ගමනක් බිමනක් යාමට නිකමට හෝ අදහසක් තියෙන කවුරු කවුරුත් බයිසිකල්, බරකරත්ත, බරබාග, තිරික්කල් ලෑස්ති කරගන්න එක හොඳ ය‍.

තෙල්මිල වැඩිකරන ඇත්තම හේතුව

එසේනම්, ඇත්තටම තෙල්මිල වැඩිකරන හේතුව කුමක්ද? මේ සුරංගනා කතා පැත්තකට දැමූ කල නිරුවත් ඇත්ත අපට මුහුණට මුහුණ හමුවෙයි.
පසුගිය 11 වැනිදා ලංකාදීප වෙබ්අඩවියේ මෙවැනි ප්‍රවෘත්තියක් එයි‍‍.

“නිල සංචිතය ඩොලර් බිලියන 4ට බහියි”

මේ පුවතට අනුව “ශ්‍රී ලංකාව සතු නිල විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ මෙරටට මාස තුනක ආනයන ගෙන්වීමට” පමණි‍. මේ තිත්ත ඇත්ත කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි.

එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි.
”ඒ අනුව ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4ක් ලෙස පවතින බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා සඳහන් කරයි.

චීන මහ බැංකුව ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක විදේශ මුදල් හුවමාරු පහසුකමක් ලැබෙන අතර එම මුදල් මෙරටට මාසයකට සෑහෙන ආනයන ගෙන ඒමට ප්‍රමාණවත් මුදලක යැයිද අමරසේකර මහතා කීය.

මීට අමතරව ඉන්දියාවෙන් සහ බංගලාදේශයෙන් ද විදේශ විනිමය හුවමාරු පහසුකම් හිමි වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 780ක් ලබන අගෝස්තු මාසයේ දී ලැබීමට නියමිත බව ද ඔහු සඳහන් කරයි.”

වැඩි අවධානයකට පාත්‍ර නොවූ බව පෙනෙන මේ ප්‍රවෘත්තියෙන් පැහැදිළි වන්නේ කුමක්ද? ආණ්ඩුව යන්නේ එදාවේල ටුවර්ස් ගමනක් බව ය. ඉන්ධන මිල වැඩිකරන්නේ මෙන්න මේ ආර්ථික ආගාධය හේතුවෙන් නොවන්නේද?

රසායනික පොහොර නැවතුණේත් එහෙමයි

රසායනික පොහොර ගෙන්වීම හිටිඅඩියේ නවත්තන්නේත් එදාවේල කන්න නැති තරමට ආර්ථිකය පිරිහී ඇති නිසා මිස කාබනික වගා සුරංගනා ලොවකට ලංකාව ඇතුළත් කරන්නට නොවේ. එවැනි දෑ කරනවා නම් පළමුව කරන්නේ ඊට අවශ්‍ය සැලසුම් සාදා, ප්‍රතිපාදන වෙන්කර, ප්‍රවර්ධන වැඩ සිදුකර දීර්ඝ වැඩපිළිවෙලක් දැමීම ය.

නැතිව අද රසායනික පොහොර නවත්වා හෙට කාබනික වගාවට මාරු වූ රටක් ලෝකේ කොහි හත්දිබ්බාගේ තිබෙනවාදැයි නොදනිමි‍.
මේ ඇත්ත පිළිගන්නේ නැතිව නන්දසේන නම් දිගින් දිගටම ෆේල් වන මෝඩ මිනිහා කියන්නේ තමන් ඉන්ධන මිල වැඩිකළේ රටේ ප්‍රවාහනය ELECTRIC කරන්නට කියා ය. රසායනික පොහොර නැවැත්තුවේ කාබනික වගාවට ඉඩදීමට කියා ය.
මෙවැනි මිනිසෙක් රට හදනතුරු බලාසිටීම, එළුවා පස්සෙන් ගිය වඳුරාගේ කතාව හැර වෙන කිසිත් සිහිගන්වන්නේ නැත.
ඡන්ද ව්‍යාපාරයේ දී “ඇයි මගෙන්ම අහන්නේ, අනිත් අයගෙනුත් අහන්නැ”යි ඇඹරෙමින් කී නන්දසේන රට හදයි කියා සිතූ හැටනව ලක්ෂයක් ලංකාවේ ඉරණම තීන්දු කිරීම, දැවැන්ත ඛේදවාචකයකට පාරකපා තිබේ.

‘වැඩකරන අපේ විරුවා’ නමින් ගොන් ආලවට්ටම්වලින් සරසා ගෙන ආ මේ අසමත් මිනිසාගේ අතීත අසමත්කම් පිළිබඳ තව බොහෝ කතා ඇතත්, ඒ සෙස්ස පස්සට තබමි.

සනත් බාලසුරිය

 ඉහත ලිපියේ පළමු කොටස


 

leave a reply