Breaking News

නොපාගා පර මල් තැබෑරුමකට වරෙන් සිංහයෝ

මැයි 17 දින ලිට් රූම් සූම් සංවාදය යොමු වන්නේ තවත් කාව්‍ය සංග්‍රහයන් දෙකක් සම්බන්ධයෙනි. එකක් නලින්ද සංජීව ලියනගේ විසින් රචිත “තැබෑරුමක වරෙන් සිංහයෝ” වන අතර අනෙක මා විසින් රචිත කවි එකතුව වූ “නොපාගා එන්න පරමල්” ය. අදහස් සත්කාරය සාහිත්‍යවේදිනි ප්‍රගීතිකා ජයසේකර සහ සාහිත්‍යවේදී ගයාන් මුණසිංහ විසිනි. කෙටි අදහස් දැක්වීම සම්මානලාභී කිවිවර වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි විසින් සිදු කෙරෙනු ඇත.

2021 වසරේදි “හත් පෙති මලෙන් අත් හැරුණු පෙත්තක්” කාව්‍ය සංග්‍රහය ප්‍රකාශයට පත් කළ ප්‍රගීතිකා නූතන ම සිංහල කිවිඳියන් අතර දීප්තිමත් සන්නාමයක් බවට පත් වූයේ ඇගේ කවියේ සරන ඉසියුම් බස් වහර නිසා බැව් ඇතැමෙක් පවසති. එහෙත් අප සිතන්නේ එය එකම හේතුව වනවාට වඩා එබස නසා පැන නගිනා කාව්‍යානුභූතින්ගේ විචිත්‍රත්වයෙන් වර නැගෙන ස්ත්‍රීත්වයේ වර්ණ සංකලනය නිසා බවය. මේ බවට සාක්ෂි ඇයගේ දෙවන කාව්‍ය සංග්‍රහය වූ, “වසිලිස්සා වැස්සේ” කාව්‍ය සංග්‍රහයෙන්ද නොමදව හමුවේ. ප්‍රගීතිකා කවිය සහ සාහිත්‍ය විචාරය තුළ කැපී පෙනෙනෙ දස්කම් ඇති සාහිත්‍යවේදිනියකි.

2023 වසරේදී “ගෙදරින් අහලා කියන්නම්” කාව්‍ය කෘතිය ප්‍රකාශයට පත් කළ ගයාන් මුණසිංහ, සම්භාව්‍ය සාහිත්‍ය ඇතුළු දෙස් විදෙස් කාව්‍ය ගෙත්තම් පිළිබඳ ගැඹුරු හැදෑරීමකින් යුත්තෙකි. ජනාකීර්ණ කොළඹ නගරයේ පටු මාවත් දිගේ කෙරෙන කෙටි ගමන් වලදි හමුවන අව වරප්‍රසාදිත මිනිසුන් ඔහුගේ ප්‍රථම කවි එකතුවට බොහෝ කවි නිමිති ගෙනැවිත් දී තිබුණි. ආවේගශීලි වීම හෝ ඊනියා රැඩිකල් වීම කවියකුට තරම් නොවන බව තරයේ විස්වාස කරන ඔහු කවියේ යහපැවැත්ම වෙනුවෙන් බුද්ධිමය ශ්‍රමය වගුරුවන්නෙකි බව අපට නිරික්ෂණය වෙයි. ගයාන් මුණසිංහ කවිය සහ සාහිත්‍ය විචාරය කෙරෙහිත් ගීත සහ කවි රස වින්දන වැඩසටහන් ඉදිරිපත් කිරීමේදිත් ශ්‍රාවක සිත් සතන් පුබුදු කරමින් දැනුම බෙදා දෙන්නෙකි.

එන්න එන්න සැඩ වෙයි ජල කඳ ඉහළ
එකම ඔරුවෙ අපි පාවෙනවා පහළ
දියට විසි කොට කමකට නැති හබල
ගිලෙමු. නැතොත් පිහිනමු ඉවුරට නිසල

2014 වසරේදී “වෙනස් එකෙක්” කාව්‍ය සංග්‍රහය පළ කළ නලින්ද සංජීව ලියනගේ, එම කාලයෙන් පසුව “ප්‍රේමයත්, දේශපාලනයත්, මනුෂ්‍ය සම්බන්ධතාත් විෂයයෙහි (ඔහු) මා තුළ වූ ඇතැම් සලිත වීම් තැබෑරුමකට වරෙන් සිංහයෝ කාව්‍ය සංග්‍රහයෙහි ලා එක්තැන් කරන්නට වූ බව” පවසන්නේය. එය 2018 වසරේ සදර්ථ ප්‍රකාශනයක් ලෙස ප්‍රකාශයට පත් විය.

වත්මන් විපරිත සමාජ භාවිතයේ ප්‍රතිඵළ ලෙස වින්දිතයන් බොහෝ වෙති. එහෙත් වින්දිතයා වෙනුවෙන් අවංකව දුක් වන්නෙක් නැත්තේ වින්දිතයා ද ඇතුළු සමාජයම එකී ව්පරිතයේ ම කොටසක් බවට පත් වී ඇති බැවිනි. එහෙත් අවංක කවියෙකුට වින්දිතයකු වෙනුවෙන් හඬක් නො නගා හිඳින්නට නොහැක. තැබෑරුමකට වරෙන් සිංහයෝ යන හිසින් යුතු කව් පංතිය එවැන්නකි. එහි මුල් සහ අවසන් ස්ටැන්සා දෙක බලන්න.

නිල් වෙන්න කෑ පසුව
අන්න අර දුම් නළෙන්
කටක් හොල්ලන්නැතිව
රණඹර ද පණ බයෙන්

සිංහයො ඔන්න ඔය
කඩුව තියලා බිමින්
බදාගෙන අඬමු අපි
තැබෑරුමකට වරෙන

කවියා යනු ස්වකීය ව්‍යවහාරික දර්ශනයකින් සිය නිර්මාණයන්ගේ අධ්‍යාත්මය, ආකෘතිය හා ශිල්පිය උපක්‍රම සමබර කොටගෙන නිර්මාණයේ යෙදෙන්නෙකි. දේශපාලනික හෝ අදේශපාලනික වශයෙන් බෙදා වෙන්කළත් ඔහුගේ ව්‍යවහාරිකය මහ සමාජය තුළ විවාදාසම්පන්න විය හැකිය. එකී දර්ශනයේ ප්‍රායොගිකත්වය පවතින සමාජ සාධක මත දිනෙක තීරණය කෙරෙනු ඇත. නැතහොත් වෙනත් දිනක කවියාගේ සමාජ විඥානය වඩාත් පුළුල් තැනකට විතැන් වනු ඇත. කවියා සිය පෙර දර්ශනය අතැර වෙනත් තැනකට විතැන් වන විටක වූවත් ඔහුගේ පූර්ව නිර්මාණ තිබූ තැනම තබා යනු මිසක ඒවා අකා මකා දමා යාමට නොහැක.

ඉතිං මිතුරනි

පියාඹා පියාඹා විඩාපත් වූ පසුව
පියාපත් පිරිමදින පවන් පොදකට නතුව
පියා ලූ පියන්පත් දැල් කවුළු වට තිරව
ජීව්තය ස්ථානගත කෙරූ වග සැබව

……..
……..

රස්තියාදුවෙ රම්‍ය ස්මරණ දරාගත්
තුරු පතර අතැර නැත අත වනන වතාවත්
සුලඟ හා ඇවිදිමුයි යෝජනාවකි අදත්
ස්වයං වාරණ පවා ක්ෂණයකින් සැලී යත්

මහචාර්ය යුවාල් නොවා හරාරි සේපියයන්ස් කෘතිය හරහා මානව විකාශනය ගැන කෙරෙන කතාබහේදි මානවයා “සුව පහසුවේ උගුලකට” හසු වී සිටින බව පවසන්නේය. සුවපහසුවේ උගුල සරලව තේරුම්ගත් විට, හෙට දවසේ සුව පහසුව වෙනුවෙන් අද දවස කැප කරමින් වෙහෙසීමය. මින් මතු දරුවන් කුස ගින්නේ නින්දට යාම වැලැක්වීමට ඔහු අද දවසේ බොහො සෙයින් වෙහෙසි ගොවි තැන් කරන්නට වෙයි. ඔහුගේ සැලසුම තාර්කිකය. එහෙත් පුරෝකථනයන් ප්‍රායෝගිකය නොවීය. ඔහු උගුලකට හසු වූ බව දැන ගන්නා විට, ආපසු හැරී යා නොහැකි තරම් දුරක් පැමිණ අවසානය. එය සුව පහසුවේ උගුල නම් වේ.

වර්තමාන ශ්‍රී ලංකා සමාජය එසේ සුවපහසුවේ උගුල් වෙත බලෙන් ම බෙල්ල දෙන සමාජයකියි කීම වැරදි නැත. අප සමාජයේ බොහෝ දෙනෙක් තම දරුවන්ට පමණක් නොව දරුවන්ගේ දරුවන් වෙනුවෙන් පවා තමන් උපයා නතු කරගත් දේ පරිභෝජනය නො කර ඉතිරි කරන්නේ එබැවින් ය. ඕනෑම පහසු මාර්ගයකින් ඉක්මන් මුදල් හොයන්න වෙර දරන්නේ එබැවින් ය. සුතනඹුවන් අතැර විදේශීය රැකියා සඳහා පිටත් වීම වූ කලී, එසේ පහසුවෙන් ම වැටෙන “සුව පහසුවේ උගුලකි”. එසේ ගිය එකාට ආපසු හැරී ඒමක් නැත. කොටි වලිගය අල්ලා ගත්තා වැනිය. කුටුම්භයේ වඩාත් හොඳ හෙට දවසක් වෙනුවෙන් කැප කරන්නේ තම ජීව්තයේ ඉතාම හොඳම දවස් ටිකය.

“දියණිය සහ විදෙස්ගත පියා අතර හසුන් හුවමාරුව” යන මැයෙන් ඇති කවිය ඒ සුව පහසුවේ උගුලේ හසු වූ එක් සමාජ කුලකයක වේදනාත්මක හෘද ස්පන්දනයක තාලය බව මට සිතෙයි. මේ ඒ කවි පන්තියේ මුල් ස්ටෙන්සා දෙකය.

දියණිය:

ලෝකෙන් උතුම් රට ශ්‍රි ලංකාව කියා
මගෙ වැඩ පොතෙ ලොකු අකුරින් හැඩට ලියා
සිතියම් පොතේ අන්න’ර දුරරටට ගියා
අඬ අඬ වගෙයි යන වේලෙත් හිටියෙ ඔයා

පියා
කිරි සුවඳකට ගැස්සි මේ දැන් ආව
ඇහැරි බලමි නිදිදැයි නුඹ මං ගාව
වොන් මිටිවලින් නොනිමෙන සඳ සංකාව
සිහිනෙන් එන්න බැරි දුරකිනි ලංකාව

මැයි 17 ඉරු දින රාත්‍රී හතට පැවැත්වෙන ලිට් රූම් සූම් සංවාදයට බඳුන් වන අනෙක් කාව්‍ය සංග්‍රහය, මා විසින් 2023 වසරේදි ප්‍රකාශයට පත් කළ මගේ මුල් ම කාව්‍ය සංග්‍රහයයි. “නොපාගා එන්න පරමල්” සයුර ප්‍රකාශනයකි.

මෙම වැඩ සටහනේදි මූලික වටයේ අදහස් දැක්වීමෙන් පසුව, දක්ෂ කවියන් කිවිඳියන් කිහිප දෙනෙකු ම කෙටි අදහස් දැක්වීම් සඳහා එකතු වීමට ද නියමිතය. චම්පිකා විජයසිංහ, ප්‍රදීපිකා පතිරාජ වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි, මෙන්ම ලේඛ්ක අරුණ ශාන්ත, නිලක්ෂි බණ්ඩාර සහ දුලාංජලි රණසිංහ ද ඒ අතර වෙති. කවි ගායනා ඉදිරිපත් කිරීම්, කිවිඳි රුවන්මලි කොඩිකාර විසිනි. ලිලිත්ලා කෙටි කතා එකතුවේ කතුවරිය වන ගයනි ගුරුගේ විසින් සහෘද්‍ර ආමන්ත්‍රණය සිදු කරන මෙම සංවාදය ඉතා සිත් ඇදගන්නා සුලු සංවාදයක් වනු ඇති බවට ලිට් රූම් සමූහයේ සංවිධායකයින් බලාපොරොත්තු වෙයි. මෙම සංවාදය සාහිත සංවාද යු ටියුබ් චැනලය හා ලිට් රූම් ෆේස් බුක් පිටුව හරහා සජීවීව විකාශනය වීමට ද නියමිතය.

මැයි මස 17 වන ඉරු දින, පස්වරු හතට සූම් අවකාශයේ දි දිග හැරෙන ලිට් රූම් සංවාද මාලාවේ 18 වන සංවාද වාරය සඳහා, කාව්‍ය ප්‍රිය රසික ඔබ සැමට, සම්බන්ධවන ලෙස ලිට් රූම් සාමුහිකය ගෞරවයෙන් ආරාධනා කර සිටියි.
(Meeting ID: 845 8577 1133 Passcode: 805451)

නිරෝෂ ප්‍රනාන්දු

leave a reply