Breaking News

මජිකාමේන්තේ-ජාන්නි රොදාරි- පරිවර්තනය හිල්මි සුපුන්-තරුෂ පෙරේරා – චූලානන්ද සමරනායක

අද සන්ධ්‍යාව ( 2023 දෙසැම්බර්19 ) සුවිශේෂී ය. ඒ ප්‍රථම වරට ඉතාලි කවි එකතුවක් සෘජුවම ඉතාලි බසින් සිංහලට පරිවර්තනය කරනු ලැබීම පිළිබඳව වටනා කතාබහක් ඇතිවූ බැවිනි. ස්ථානය විදර්ශන ප්‍රකාශන ආයතන පරිශ්‍රය ය. සාකච්ඡාව පොහොසත් කළෝ වසන්ත නිවුන්හැල්ල, පුබුදු ජයගොඩ, විමල් කැටිපෙආරච්චි, විදර්ශන කන්නංගර, සංජීවනී රූපසිංහ, නිසංසලා බර්තොලමියුස් ය. සංවාදය මෙහෙයවීම කෘතියට අගනා පෙරවදනක්ද සැපයූ ලක්ෂාන් මධුරංග විසිනි.

මා ද ඇතුළුව බොහෝ පරිවර්තකයෝ වෙනත් රටවල සාහිත්‍ය සිංහල බසට ගෙන එන්නේ ඉංග්‍රීසි බස හරහා ය. එහෙත් ඉතාලි මුල් බසින්ම ජාන්නි රොදාරිගේ කවි සිංහලට පරිවර්තනය කිරීම පිළිබඳව මෙන්ම මේ විශිෂ්ඨ කවියා සහ ඔහුගේ නිර්මාණ අපට හඳුන්වාදීම ගැන සියල්ලටම පළමුව අප මේ පිය පුතු දෙපලට ස්තුතිවන්ත විය යුතුය. මේ දෙපල විසින් කරන ලද්දේ අත්‍යාවශ්‍ය ම සාහිත්‍ය පාලමක් තැනීමය. අපට අද දවසේදී වඩ වඩාත්ම අවශ්‍ය ව ඇත්තේද මෙසේ විවිධ භාෂාවන්ගෙන් නිකුත් මුල් කෘතියම සිංහලට නැගීමට සමත් පරිවර්තකයන් පිරිසක් මිස පරිවර්තන තාක්ෂණ මෙවලම් කෙරේ පූර්ණ විශ්වාසය තබන්නන් නොවේ. ඒ එවන් පරිවර්තනයකට බස් පෙරලීමට හැකි වුවද මුල් කෘතියෙහි සැබෑ ගුණය එලෙසින්ම ගෙන එන්නට නොහැකි හෙයිනි.

පිය පුතු දෙපලගේ මැදිහත්වීම අපද පොළඹවාලූවේ මේ විශිෂ්ඨ කවියා ගැන සොයා බලන්නටය. ඒ සඳහා ලක්ෂාන්ගේ පෙරවදන මෙන්ම පරිවර්තකගේ සටහනද බෙහෙවින් උපකාරී විණි. ඉතාලිය මතු නොව ලොව පුරාම ළමයින් උදෙසා කවි රචනා කළ විශිෂ්ඨයෙකු මෙන්ම කොමියුනිස්ට්වාදය කෙරේ විශ්වාසය තැබූ නිර්මාණකරුවකු ලෙස ඔහු අත් කරගෙන ඇති කීර්තිය ඉතා විශාලය. ඒ සියල්ලටම හේතුව වනුයේ ඔහු විසින් රචිත කවි මෙන්ම ළමා කතන්දර තුළ ගැබ්වන දැක්ම සහ නිර්මාණශීලීත්වයයි. ඔහු ගේ නිර්මාණ තුළ කැපී පෙනෙන පළමු ලක්ෂණය වනුයේ වාම දේශපාලනය කෙරේ ඔහු පල කර සිටිනා විශ්වාසයයි. ඒ හරහා මනුෂ්‍යත්වය සැබෑ අරුතක් දිය හැකිය යන්න කෙරේ ඔහු තුළ වන විශ්වාසයයි. ජාතිවාදය ඇතුළු සියළු අගතීන් පිලිකෙව් කිරීමද දරුවන්ගේ ලෝකය මතු පිටින් අතගානා මනුෂ්‍යත්වයක් වෙනුවට දේශපාලන දර්ශනයක් මත හරවත් ලෙස ගොඩනැගීමට ඔහු තුළ වන අපේක්ෂාවද ඔහුගේ කවි හරහා මැනවින් නිරූපිතය. ඔහු මේ කවි නිර්මණයන්හී යෙදුන එක් පරිච්ඡේදයක් නාසිවාදයේ බලවත්ම සමය වීමත්, හිට්ලර්ගේ දකුණු අත වන් මුසොලිනී ඉතාලියේ බලය හොබවන සමය තුළ ඔහු සක්රීමයව මැදිහත් වීමත් තුළ කවියකු නිර්මාණකරුවකු ලෙස ඔහුගේ කැපවීම ඉතා ඉහල බව අප අමතක නොකල යුතුය.

ඉදින් පිය පුතු දෙපල කරනුයේ ඔහුගේ අගනා කවි සමුච්ඡයක් සිංහලට පරිවර්තනය කිරීමයි. දරුවා තුළ හරවත් වෙනසක් ඇති කිරීම පිණිස සාහිත්යාය උපයෝගී කරගත හැකිය යන අදහස මනාව සනාථ වන්නාවූ මැදිහත්වීමකි රොදාරිගේ කවිය. ළමයා යනු යහපත් ජීවියෙකි යන අදහසෙහි පිහිටා ඔහුට හොඳ ළමයකු වීමට ඔවදන් රචනා කිරීම වෙනුවට රොදාරි උත්සාහ ගනුයේ ඔහුගේ ජීවිතයට ඇවැසිම දැක්ම සම්පාදනයට සිය නිර්මාණ උපයෝගී කර ගැනීමය. පාසල ලෝකය තර්ම්ම විශාලය සහ අහස සැමට යන නිර්මානද්වයම මේ සඳහා මනා උදාහරණ සපයයි. රොදාරි අහස සැමට යන කවියෙහි අවසන අසන මේ පැණය බෙහෙවින් දේශපාලනිකය. එසේම එය කවිය ඇසුරු කරනා දරුවාගේ අවබෝධය පුළුල් කිරීමටද තුඩු දෙයි.

ඉතින් මට කියා දෙන්න
ගද්ය්යෙන් හෝ පද්යායෙන්
අහස තනි යායක්ව පවතිද්දී
මහපොලොව කැබලි වූයේ මන්ද?

මේ අදට එදාටත් වඩා වැදගත් කවියකි. රොදාරිගේ අවධියටත් වඩා අද ලෝකය විෂමය, අවදානම් සහගතය, අඳුරුය. ධනවාදය සිය හස්තය තවත් දැඩි කරන පසුබිමක මිනිසා වේගයෙන් මානව වහල්භාවයට ඇද වැටෙමින් පසුවන තත්වයක තමන්ට අනාගතයේ පිවිසෙන්නට නියමිත් ලෝකය කවරාකාරදැයි දරුවාට ඔහුගේ මට්ටමින් කියාදීම අත්යපවශ්යිය. කුඩා කල සිටම කීකරුව කිසිදු පැණයක් නොඅසා හොඳ ළමයකු ලෙස දරුවා හැඩගස්වනු වෙනවට විචාරශීලී ළමා පරම්පරාවක් බිහි කිරීමට අපට රොදාරිගේ කවිය මග පෙන්වීමක් සේ ගත හැකිය.

මේ රොදාරි කියවීමේ අගය සිය කවියෙන් මතු කරන ආකාරයයි.

මම කැමතියි
හැමෝම කියවන්නන් වෙනවට
ඒ ලේඛකයකු කවියකු වීමට නොව
කිසිවකු කිසිවකුගේ
වහලකු නොවී සිටීමට

අද අපේ පාසල් අධ්‍යාපනයේ සිට තනනුයේ කීකරු යයි කියනා සැබැවින්ම ගත් කල ප්‍රශ්ණ නොනගනා වහල් පරපුරකි. මේ ව්‍යසනය සරසවි මතු නොව රැකියා පරිසරයේද දැකිය හැකිය. මෙවන් ඉරණමක් වෙනස් කළ හැක්කේ කියවීම හැකි තරම් හුරු කිරීම මගිනි. එසේම ඒ කියවීම යනු හුදෙක් රසයම අරමුණු කරගත්තක් නොවන බව රොදාරි කියයි. ඔහු කියනුයේ කියවීමේ සැබෑ අරුත වහල් නොවී සිටීමට ශක්තිය ලැබ ගැනීම බවයි.

බෝසත් ළමා සමාජයක් බවට ළමා පමණක් නොව වැඩිහිටියන්ද පත්කිරීමට දේශපාලන සංස්කෘතික මෙන්ම ආගමික බලධාරීන්ද නිරතුරු කැසපට කවනා රටක් වන අපට මෙවන් කවි ඇසුරු කරන්නට ලැබීම නව කවුළුවක් විවර කිරීමක් වැනිය. එහෙයින් මේ පිය පුතු දෙපල ඉතාලි සාහිත්‍යයේ අපට වැසුනු අගනා කලාප ඉස්මතු කිරීම කෙරේ තව තවත් උත්සුක වන්නේ නම් යෙහෙකැයි කිව යුතුය.
ඒ සමගම මේ දෙපලම තවත් කරුණක් කෙරේ අවධානය යොමු කළ යුතු යයි අපට සිතෙයි. මේ ගැන අද කතා බහේදීද පුබුදු, විමල් සහ විදර්ශන විසින්ද මතු කරන ලද බව කිව යුතුය.

මේ කාව්‍ය කෘතියෙහි පැන නැගෙන එක් ගැටළුවක් වනුයේ මෙහි පරිවර්තිත කවි රොදාරි විසින් රචනා කරන ලද්දේ කවර වයසක දරුවන්ටද යන්නයි. සිංහල පරිවර්තනය ගත් කළ එය වඩාත් ගැලපෙනුයේ වැඩිහිටියන් සහ නව යොවුන් වියෙහි පසුවන්නන්ටය. එසේ නොමැතිව මේ කවි මුලින් රචනා කරන ලද්දේ වයස දහයට අඩු දරුවන් වෙනුවෙන් නම් පරිවර්තිත කවි යළි සංස්කරණයකට බඳුන් විය යුතුය. කෙසේ වෙතත් මේ එකතුවෙහි කවි යොවුන් සහ වැඩිහිටි පාඨකයන්ගේ රුචියට නම් ගෝචර බවද කිව යුතුව තිබේ.

මෙය ප්‍රයත්නයේදී අප සැලකිල්ල යොමු කළ යුතු පාර්ශවයකි. එනම් මුල් කතුවරයාගේ ඉලක්ක පිරිස කවුරුන්ද යන්නයි. මේ සඳහා උදාහරණ දෙකක් මට සිහිපත් වෙයි. ඉන් පළමුවැන්න වනුයේ විප්ලවයේ කවියා ලෙස විරුදාවලී ලත් මයාකොව්ස්කි කවියා කවුරුන් වෙන්නද මං යනුවෙන් කුඩා දරුවන වෙනුවෙන් රචනා කළ කවියයි. ඒ නිර්මණය යනු කුඩා දරුවෙකුට ගෝචර සරල එහෙත් ඔහු තුළ සැබෑ මනුෂ්‍යත්වය වගා කෙරෙන අයුරින් රචිත කවියකි. ඉන් කියවෙනුයේ වයස අවුරුදු දහහත පිරුණු යොවුනෙක් තම අනාගත වෘත්තිය තෝරාගන්නට උත්සාහ කරනා ආකාරයයි. එය එක් අතකින් මාක්ස් සිය දහහත් වැනි වියෙහි රැකියාවක් තෝරා ගැනීම සම්බන්ධයෙන් ලියූ අගනා ලිපියෙහි ම දිගුවක් වැනිය. යෞවනයා විවිධ රැකියාවන් කිරා මැන බලයි. අවසන ඔහු එළඹෙන නිගමනය වනුයේ මිනිසුන්ට සේවය කළ හැකි නම් කවර රැකියාවක් වුව අගනා බවය. මේ වෘතීය මට්ටම් මත සමාජ තත්වයන් නඩත්තු කරන සමාජයක් විලි වද්දන කවියකි. ඒ කවියෙහි භාෂාව කුඩා දරුවන් ආකර්ෂණය වන අයුරිනි. එසේම මේ නිර්මාණය සමාජවාදී සමාජයක් උදෙසා සෝවියට් දේශය කළ අරගලයටද ආලෝකය සපයන්නකි.

දෙවන උදාහරණය සොපියා ප්‍රකෝෆියේවාගේ වැරහැල්ලී සහ වලාකුලයි. මේ කතාවෙහිදී වළාකුලක් සහ එක්වන මෙහෙකාර දැරියක් ජලයෙහි අයිතිය මිනිසුන්ට අහිමි කර එය වෙළඳ භාණ්ඩයක් සේ අලෙවි කරනා දුර්දාන්ත රජකුට එරෙහිව පොදු අරගලයකට නායකත්වය දෙන්නීය. මේ ඒකාධිපතිවාදයට එරෙහි දේශපාලන විවේචනයකි. එහෙත් ඒ සමගම එය ළමා මනස මනුෂ්යව වර්ගයාගේ පොදු යහපත උදෙසා වෙහෙසිය යුතුය යන අදහස ස්ථාපිත කරන්නකි.

අද අපේ දරුවන්ටද එවන් සාහිත්යතයක් බෙහෙවින් අවශ්යෂය. පාසැලේ තමන් සමග එක බංකුවෙහි ඉන්නා මිතුරා හෝ මිතුරියට හොරෙන් පාඩම් කරන්නට යිස දරුවන්ට උගන්වන දෙමවුපියන් බහුල රටක අපේ දරුවන්ට ලං කරවිය යුත්තේම මෙවන් දේශපාලන බරක් සහිත නිර්මාණයන්මය. එහෙත් එහිදී ඉහලම සැලකිල්ල යොමු කළ යුත්තේ මුල් රචකයා අරමුණු කල පාඨක කාණ්ඩය සහ ඒ කාණ්ඩයට ගැලපෙන භාෂා රටාවන් තෝරා ගැනීම කෙරෙහිය. ඉදින් ඉදිරියේදී මේ පාර්ශව ගැනද අවධානය යොමු කරමින් අපට ඉතාලි සාහිත්‍යයේ වටනා නිර්මාණයන් ගෙන එන්නට මේ පිය පුතු දෙපලට හැකි වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

චූලානන්ද සමරනායක

leave a reply