Breaking News

හම්බන්තොට සෝලා සමාගම්වල වනාන්තර ජාවාරමට මහවැලි, පරිසර හා සුනිත්‍ය බලශක්ති අධිකාරි ගොදුරු වූයේ අල්ලස් ලබා ගෙන ද?

හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සීනුක්කුගල, ඔරුකෙන්ගල හා කපාපුවැව ප්‍රදේශයේ අලි – ඇතුන් ගේ ප්‍රධාන වාසස්ථාන වන වනාන්තර අක්කර 1000 ක් පමණ නීති විරෝධී ව එළිපෙහෙළි කරමින් සමාගම් 17 ක් විසින් මහ පරිමාණ සූර්ය බලාගාර ඉදි කිරීම ආරම්භ කර ඇත්තේ සුනිත්‍ය බලශක්ති අධිකාරිය, මහවැලි අධිකාරිය හා මධ්‍යම පරිසර අධිකාරිය නොමඟ යවමිනි. එය තහවුරු කිරීමට ඇති ප්‍රධාන සාධකය වන්නේ ලියාපදිංචි නොකළ සමාගම් දෙකකට හා එක ම අධ්‍යක්ෂ මණ්ඩලයකට අයත් සමාගම් ගණනාවකට සූර්ය බලාගාර ඉදි කිරීම සඳහා අනුමැතිය ලබා දීමෙනි. මේ නීති විරෝධී ක්‍රියා සියල්ල මෙම රාජ්‍ය ආයතන නොමඟ යැවීමෙන් හෝ අල්ලස් ලබා දීම මත සිදුවන්නට ඇති බව පෙනෙන්නට තිබේ. නමුත් කණගාටුවට කරුණ වන්නේ මේ සියලු කරුණු අනාවරණය කර තිබිය දී කිසිදු රාජ්‍ය ආයතනයක් මෙම නීති විරෝධී හා හානි කර ක්‍රියා මැඩපැවැත්වීමට ඉදිරිපත් නොවීම ය.

ඩොලර් මිලියන 150 ක ආයෝජන ව්‍යාපෘතියක් ලෙස සඳහන් කරමින් මෙගාවොට් 150 ක සූර්ය බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ Hambanthota 150 MW Solar PV Project – Group of Companies ලෙස සඳහන් සමාගම් සමූහය විසිනි. මෙය ලියාපදිංචි සමාගමක් නොවේ. මේ යටතට අයත් සමාගම් 12 අතුරෙන් 8 ක්, එනම් ජෙන්කෝ පුද්ගලික සමාගම (Geneco Pvt Ltd), සෝලාජෙන් පුද්ගලික සමාගම (Solargen Pvt Ltd), ස්ටැලියන් එනර්ජි සෝලා පුද්ගලික සමාගම (Stallion Energy Solar Pvt Ltd), එළිෆන්ට් පවර් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Elephant Power International Pvt Ltd), මදුනාගල ඇග්‍රිකෝ පුද්ගලික සමාගම (Madunagala Agrico Pvt Ltd), ලෙෂර් ක්‍රියේෂන් පුද්ගලික සමාගම (Leisure Creation Pvt Ltd), ටැල්නා සෝලා පුද්ගලික සමාගම (Talna Solar Pvt Ltd), හා ග්‍රින්ලයින් සෝලා පුද්ගලික සමාගම (Greenline Solar Pvt Ltd) යන සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවල සාමාජිකයන් ලෙස ප්‍රධාන වශයෙන් සඳහන් වන්නේ, පලවින්නගේ චරණ මිත්සුක කුමාරණතුංග, දුලංගා කුමාරණතුංග, මදුසංක පුරවරුණ ප්‍රනාන්දු හා චීන ජාතිකයකු වන ලියූ කයි යන පුද්ගලයන් ය. සමාගම් 5 ක අධ්‍යක්ෂ මණ්ඩල නියෝජනය කරන මේ චීන ජාතිකයා මෙම සමස්ත ව්‍යාපෘතියේ ප්‍රධාන ආයෝජකයා ලෙස සඳහන් වේ. චරණ කුමාරණතුංග සමාගම් 7 ක අධ්‍යක්ෂ මණ්ඩල නියෝජනය කරන අතර ඔහු මෙම සමස්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන සමාගම් සමූහයේ ප්‍රධාන හවුල්කරුවා ලෙස ද පෙනී සිටී.

එක ම කණ්ඩායමකට අයත් සමාගම් ගණනාවක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පාරිසරික අනුමැතිය, ඉඩම් බදු ගැනීම හා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ විදුලිබල මණ්ඩලය සමඟ ගිවිසුම් ගත වීම සිදු කර ඇත්තේ වෙන් වෙන් සමාගම් වශයෙනි. මේ ආකාරයෙන් සමාගම් ගණනාවක් ලෙස මෙම ව්‍යාපෘතිය සඳහා යොමු වී ඇත්තේ පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලිය මඟ හැරීම සඳහා මෙන් ම මහවැලි අධිකාරියෙන් ඉඩම් බදු ගැනීම පහසු කිරීම සඳහා ය. මේ නීති විරෝධී මඟහැරීම් සඳහා මෙන් ම නොකර හැරීම් සඳහා රාජ්‍ය ආයතනවල සහය ලැබී ඇති බව පෙනෙන්නට තිබේ.

මීට අමතර ව මෙගාවොට් 150 ක සූර්ය බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන Hambanthota 150 MW Solar PV Project – Group of Companies සමාගම් සමූහය යටතේ ක්‍රියාත්මක ඉලෙක්ට්‍රෝලයිට් පුද්ගලික සමාගම (Electrolyte Pvt Ltd) හා සර්කල් ලයින් පුද්ගලික සමාගම (Circle Line Pvt Ltd) ලෙස නම් සඳහන් සමාගම් දෙක ලියාපදිංචි සමාගම් නොවන බව අප ගේ තොරතුරු සොයා බැලීම්වල දී අනාවරණය වී ඇත. ලියාපදිංචි වී නොමැති නෛතික පුද්ගලභාවයක් නොමැති සමාගම් සමඟ ගිවිසුම් ගත වීම හා ඉඩම් බදු දීම මහවැලි අධිකාරිය, සුනිතය බලශක්ති අධිකාරිය මෙන් ම මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කර ඇත්තේ කෙසේ ද යන්න ප්‍රධාන ගැටළුවකි. මෙම රාජ්‍ය ආයතනවල නිලධාරීන් නිවැරදි කරුණු සොයා බැලීමකින් තොර ව මේ සියල්ල සිදු කර ඇති බව පෙනී යයි. මෙම නීති විරෝධී හා හානි කර ක්‍රියාවල බලපෑමට ලක් වී ඇත්තේ මහවැලි ව්‍යාපාරයේ වලව වම් ඉවුර යටතේ පදිංචි කළ මයුරපුර කොට්ඨාශයේ ගොවි පවුල් 5365 ක් පමණ සහ ගොන්නෝරුව, මීගහජදුර, තනමල්විල හා ගල්වැව යන ප්‍රදේශවල ගොවි ජනතාවයි.


නීති විරෝධී අනුමැතීන් මත පදනම් ව මෙම සමාගම් විසින් ක්‍රියාත්මක කරන සෝලා බලාගාර ව්‍යාපෘති සඳහා වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ වනාන්තර අක්කර දහසක් පමණ එළි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වාසස්ථාන අහිමි වන අලි – ඇතුන් බහුල ව ගම් වැදීම හේතුවෙන් අලි – මිනිස් ගැටුම දරුණු මට්ටමකට වර්ධනය වී ඇත. අලින් ගේ පහරදීම් හේතුවෙන් මිනිසුන් මිය යාම පමණක් නොව පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ ජනතාව ද වර්ධනය වී ඇත. මේ නිසා වගාබිම් අත්හැර දැමීමට ද සමහර ගොවීන් යොමු ව තිබේ. මෙය සමාජ හා ආර්ථික ප්‍රශ්නයක් දක්වා වර්ධනය වෙමින් පවතී. එපමණක් නොව අලි – ඇතුන් ඝාතනය කිරීම ද වර්ධනීය තත්ත්වයකට පත් ව ඇත.

මේ සියල්ල ජනතාව ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් කොටසේ දැක්වෙන 12(1) ව්‍යවස්ථාවට අනුව නීතිය ක්‍රියාත්මක කිරීම, නීතියේ රැකවරණය හා නීතිය පසිදලීම සර්ව සාධාරණ විය යුතු බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27(14) ව්‍යවස්ථාවේ සඳහන් ජනතාව ගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩි දියුණු කළ යුතු ය යන්න අර්ථ නිරූපනය කරන විට පරිසරය දූෂණය කිරීමට හෝ පිරිහී යාමට හේතු වන හෝ අවසර දෙන නීති විරෝධී, අන්තනෝමතික ක්‍රියාවන්ගෙන් හෝ අතපසුවීම් වලින් නිදහස් වීමට පුරවැසියන්ට මූලික අයිතියක් ඇත.

ජනතාව ගේ බදු මුදලින් වැටුප් ලබන ආයතනවල නිලධාරීන්ට ජනතා ගේ අභිලාශයන් උල්ලංඝනය කරමින් කටයුතු කළ නොහැකි ය. නමුත් සුනිත්‍ය බලශක්ති අධිකාරිය, මහවැලි අධිකාරිය හා මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියා කර ඇත්තේ සෝලා සමාගම්වල අභිලාශයන් ඉටු කිරීම වෙනුවෙනි. ඒ සඳහා මෙම රාජ්‍ය ආයතන සිදු කර ඇති නීති විරෝධී නොකර හැරීම්වලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, විගණකාධිපති දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව කඩිනමින් මැදිහත් වී මේ නීති විරෝධී සෝලා ව්‍යාපෘති නතර කිරීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතු ව ඇත.

සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

leave a reply