Breaking News

යාපනය පුස්තකාලය ගිනි තබා වසර 45ක්!

යාපනය පුස්තකාලය දේශපාලන මැර කණ්ඩායම් විසින් ගිනි තබා විනාශ කිරීම ස්මරණය කිරීම වෙනුවෙන් අප තැබූ සටහනකට තබා තිබූ ප්‍රතිචාර සටහන් දෙකක් නිසා එම මුග්ධ, නරුම ක්‍රියාව නිසා අපට අහිමි වූ වටිනා ඓතිහාසික සටහන් මොනවාදැයි සොයා බැලීමට අප පෙළඹුවා. ඒ සටහන් දෙක වුණේ “උඹට කන්නද හරකො පුස්තකාලෙන්” කියන එක සහ මෙය ආසියාවේ මහාර්ඝ වස්තුවක් කියන කාරණය “මෙය නූතන මිත්‍යාවක්” බව පවසන සටහන් දෙකක්.
ඒ අනුව යාපනය පුස්තකාල ගින්නෙන් සදා අහිමි වූයේ මොනවාද? ඒවා නොවටිනා දේද?
යාපනය මහජන පුස්තකාලය 1981 මැයි 31 වනදා ගිනි තබා විනාශ කිරීම ශ්‍රී ලංකා ඉතිහාසයේ පමණක් නොව, ලෝක ඉතිහාසයේම සිදු වූ දරුණුතම සංස්කෘතික සංහාරයක් ලෙස සැලකෙනවා. මේ විනාශයේදී පොත්, දුර්ලභ අත්පිටපත් සහ ලේඛන 97,000කට වඩා අළු බවට පත් වුණා.

ඒ අතරින් යළි කිසිදා ලබාගත නොහැකි ලෙස සදහටම අහිමි වී ගිය සුවිශේෂී, අද්විතීය සහ ඓතිහාසික වටිනාකමකින් යුත් ලේඛන කිහිපයක් තිබෙනවා

  1. දුර්ලභ තල්පත් අත්පිටපත් (Ola Leaf Manuscripts)
    පුස්තකාලයේ තිබූ වඩාත්ම වටිනා වස්තුවක් වුණේ වසර සිය ගණනක් පැරණි තල්පත් (පුස්කොළ) අත්පිටපත් එකතුවයි.
    ඒවා තුල දේශීය වෛද්‍ය විද්‍යාව (සිද්ධ වෛද්‍ය ක්‍රම), නක්ෂත්‍රය, මන්ත්‍ර ගුරුකම් සහ ඉතිහාසය පිළිබඳ ලේඛන ඇතුලත්.
    මුද්‍රණය කර නොතිබූ, ලෝකයේ වෙනත් කිසිදු තැනක පිටපත් නොතිබූ ප්‍රාදේශීය වෛද්‍යවරුන් සතු වූ පාරම්පරික වෙදකම් ඇතුළත් අත්පිටපත් විශාල ප්‍රමාණයක් මෙහිදී විනාශ වුණා.
    ඉතා වටිනා ඓතිහාසික කෘති
    යාපනය රාජධානියේ සහ ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ ඉතිහාසය ලියැවුණු, නැවත මුද්‍රණය කර නොතිබූ ප්‍රථම මුද්‍රණ (First Editions) රැසක් මෙහිදී අළු වී ගියා. “යාල්පාන වයිපව මාලෙයි” (Yalpana Vaipava Malai)
    මයිල්වාගන පුලවර් විසින් 18 වන සියවසේදී ලියන ලද යාපනයේ ඉතිහාසය පිළිබඳ ඉතාමත් වැදගත් කෘතියක මුල් පිටපත්.
    මුද්‍රිත පැරණි සාහිත්‍ය ග්‍රන්ථ, දකුණු ඉන්දියාවේ සහ ලංකාවේ මුල් කාලීන මුද්‍රණ ශිල්පය ආරම්භ වූ යුගයේ (18-19 සියවස්වල) මුද්‍රණය කෙරුණු, සංගම් සාහිත්‍යයට අයත් දුර්ලභ දෙමළ සාහිත්‍ය ග්‍රන්ථ.
  2. ආනන්ද කුමාරස්වාමි එකතුව (Ananda Coomaraswamy Collection)
    ලෝක ප්‍රකට කලා විචාරකයෙකු සහ දාර්ශනිකයෙකු වූ ආනන්ද කුමාරස්වාමි මහතා සතු වූ ඉතා වටිනා පොත් සහ ලේඛන එකතුවක් (Personal Collection) යාපනය පුස්තකාලයට පරිත්‍යාග කර තිබුණා.
    මෙයට දුර්ලභ කලා ඉතිහාස පොත්, එතුමාගේ පෞද්ගලික සටහන් සහ අත්පිටපත් ඇතුළත් වූ අතර ඒවා සියල්ලම ගින්නට බිලි වුණා.
  3. අයිසැක් තම්බයියා සහ ඥාණප්‍රගාසර් පියතුමාගේ එකතු
    අයිසැක් තම්බයියා (Isaac Thambiah) එකතුව:
    ශුද්ධ වූ බයිබලය දෙමළ භාෂාවට පරිවර්තනය කිරීම පිළිබඳව සහ ආගමික දර්ශනයන් පිළිබඳව ලියැවුණු, වෙනත් කොහේවත් සොයාගත නොහැකි දුර්ලභ පර්යේෂණ ග්‍රන්ථ.
    ඥාණප්‍රගාසර් පියතුමාගේ (Fr. Gnanapragasar) එකතුව:
    කතෝලික පූජකවරයෙකු මෙන්ම අග්‍රගන්‍ය විද්වතෙකු වූ එතුමා විසින් එකතු කරන ලද ඓතිහාසික ලේඛන සහ බහුභාෂා පර්යේෂණ සටහන්.
  4. පැරණි පුවත්පත් සහ සඟරා (Archives)
    යාපනයෙන් මුද්‍රණය වූ මුල් කාලීන පුවත්පත්වල මුල් පිටපත් (Archival Files) පුස්තකාලයේ සුරක්ෂිතව තබා තිබුණා.
    උදය තාරකෛ (Morning Star) සහ කතෝලික පාස්තුකාවලන් (Sathiya Veda Paathukaavalani):
    19 වන සියවසේ මැද භාගයේ සිට පළ වූ, ලංකාවේ මුද්‍රණ ඉතිහාසය සහ සමාජ-දේශපාලනික තොරතුරු අඩංගු පැරණිතම පුවත්පත්වල එකතුන් මෙහිදී සම්පූර්ණයෙන්ම අළු වී ගියා.
  5. ​කර්ණාටක සංගීත ස්වර ලිපි (Carnatic Music Notations)
    ​යාපනය සහ දකුණු ඉන්දියාව අතර පැවති සමීප සංස්කෘතික සබඳතාවය නිසා, දකුණු ඉන්දීය සහ ශ්‍රී ලාංකීය ප්‍රවීණ කර්ණාටක සංගීතඥයින් (Vocalists and Instrumentalists) විසින් අතින් ලියන ලද, රාග සහ තාල ක්‍රමවේද ඇතුළත් ස්වර ලිපි (Manuscripts) රැසක් පුස්තකාලයේ විශේෂ එකතුන් (Special Collections) අතර තිබුණා. ශිෂ්‍ය පරම්පරාවන් වෙත මුඛ පරම්පරාගතව පැමිණ පසුව ලේඛනගත කළ ස්වර සටහන් ඒ අතර වුණා.
    ​ ‘යාල්’ (Yazh) වාද්‍ය භාණ්ඩය පිළිබඳ පර්යේෂණ
    ​පැරණි දෙමළ ජනයා භාවිත කළ, පසුව අභාවයට ගිය “යාල්” (Yazh) නම් වීණා වර්ගයට අයත් තත් වාද්‍ය භාණ්ඩය සහ එහි සංගීත රටා පිළිබඳව කෙරුණු සුවිශේෂී පර්යේෂණ කෘති මෙහිදී විනාශ වුණා.
    ​විශේෂයෙන්ම ප්‍රකට විද්වතෙකු වූ ස්වාමි විපුලානන්දයන් විසින් රචිත, යාල් වාද්‍ය භාණ්ඩය සහ පැරණි දෙමළ සංගීත ස්වර පද්ධතීන් (Ancient Tamil Music Scales) පිළිබඳ ලියැවුණු “යාල් නූල්” (Yazh Nool) ග්‍රන්ථයේ මුල් පිටපත් සහ ඒ ආශ්‍රිත අතිරේක සටහන් රැසක් මෙහිදී අහිමි වූ බව සඳහන් වෙනවා.
    දේශීය නාට්‍ය සහ නූර්ති ස්වර ලිපි
    ​උතුරු ලංකාවට ආවේණික වූ “කූත්තු” (Koothu) නාට්‍ය සම්ප්‍රදායන් (උදාහරණ: නාට්ටුක්කූත්තු) සඳහා භාවිත කළ සාම්ප්‍රදායික තාල, බෙර පද සහ ගායනා ස්වරූපයන් ඇතුළත් අත්පිටපත් රැසක් එහි තිබුණා. මේවා බටහිර හෝ නූතන ස්වර ලිපි ක්‍රමයට නොව, සාම්ප්‍රදායික ගුරු-කුල ක්‍රමයට ලියැවුණු, වෙනත් කොහේවත් පිටපත් නොතිබූ ඒවායි.
    භක්ති ගීත සහ ප්‍රාදේශීය කීර්තන (Keerthanas)
    ​යාපනයේ සහ මඩකලපුවේ විසූ ප්‍රාදේශීය සංගීතඥයින් සහ සාන්තුවරයින් විසින් විවිධ කෝවිල් මුල් කරගෙන නිර්මාණය කරන ලද, නූතන මුද්‍රණයට නොගිය භක්ති ගීත (Devotional Songs) සහ කීර්තනවල ස්වර ලිපි රැගත් පුස්කොළ පොත් සහ පැරණි ලේඛන රැසක් මෙහිදී අළු බවට පත් වුණා.
  6. මහාරාජපුරම් සන්තානම් (Maharajapuram Santhanam) ශූරීන්ගේ ස්වර අත්පිටපත් හා පර්යේෂණ
    ඔහුගේ ජීවිතයේ සහ ශාස්ත්‍රීය සේවයේ ඉතා වැදගත් කොටසක් යාපනය පුස්තකාලය ගිනිබත් වීමත් සමඟ විනාශ වී ගියා.
    ​මහාරාජපුරම් සන්තානම් යනු ඉන්දියාවේ උපත ලැබූවද, ලංකාව සමඟ ඉතාමත් දැඩි, නොබිඳිය හැකි සංස්කෘතික බැඳීමක් තිබූ අග්‍රගන්‍ය කර්ණාටක සංගීතවේදියෙක්. ඔහු 1960 දශකයේ මැද භාගයේ සිට වසර කිහිපයක් යාපනයේ රාමනාදන් ලලිතකලා ඇකඩමියේ (Ramanathan Academy of Fine Arts) ප්‍රථම විදුහල්පතිවරයා ලෙස සේවය කළා.
    ​ අහිමි වූ ඔහුගේ ස්වර ලිපි

​පෞද්ගලික පර්යේෂණ සහ සටහන් පොත්
​යාපනයේ රැඳී සිටි කාලය තුළ ඔහු සිසුන්ට ඉගැන්වීම සඳහා සකස් කළ සුවිශේෂී ස්වර ලිපි (Musical Notations), කර්ණාටක සංගීතයේ දුර්ලභ රාග හැදෑරීම් සහ දකුණු ඉන්දීය සම්ප්‍රදායික කීර්තන ලංකාවේ ශිෂ්‍ය ප්‍රජාවට ගැළපෙන පරිදි සකස් කළ සටහන් රැසක් පුස්තකාලයේ විශේෂ සංගීත අංශයේ තැන්පත් කර තිබුණා. ඒවා සියල්ලම ගින්නෙන් අළු වී ගියා.
​ලංකාවට ආවේණික දෙමළ කීර්තන රාගගත කිරීම

ඔහු ලංකාවේ වෙසෙන කාලයේදී, මෙරට ප්‍රාදේශීය දෙමළ සාහිත්‍යවේදීන්ගේ සහ සාන්තුවරයන්ගේ (උදාහරණයක් ලෙස යාපනයේ ‘යෝගස්වාමි’ වැනි ශාන්තුවරයන්ගේ) අධ්‍යාත්මික පද්‍ය පේළි සඳහා කර්ණාටක රාග ඇසුරින් නව ස්වර සංකලන (Compositions) නිර්මාණය කළා. මේවායින් බොහොමයක් මුද්‍රණය කර නොතිබූ, ඔහුගේ අත් අකුරින්ම ලියැවුණු ස්වර ලිපි වූ අතර, ඒවාද පුස්තකාලය සමඟම විනාශයට පත් වුණා.

​ගුරු-කුල ශාස්ත්‍රීය උරුමය අහිමි වීම
​සන්තානම් ශූරීන් අයත් වූයේ ඉන්දියාවේ සුප්‍රසිද්ධ “මහාරාජපුරම් සංගීත පරම්පරාවට” (ඔහුගේ පියා මහාරාජපුරම් විශ්වනාථ අයියර්). එම පරම්පරාවෙන් පැවත ආ, පොත්පත්වල සාමාන්‍යයෙන් පළ නොවන රහස්‍ය ස්වර හැසිරවීම් සහ “සංගීත සංග්‍රහ” රැසක් ඔහුගේ සටහන්වල අන්තර්ගතව තිබූ බව පැවසෙනවා.
මහාරාජපුරම් සන්තානම් මහතා පසුව ඉන්දියාවට ගොස් එරට ඉහළම සංගීත සම්මානයක් වන “සංගීත කලානිධි” සම්මානයෙන් පවා පිදුම් ලැබුවා. ඔහු විසින් ඉන්දියාවේදී කළ නිර්මාණ සහ එහි ඉතිරි වූ සටහන් සුරක්ෂිතව පැවතුණත්, ඔහු යාපනය කේන්ද්‍ර කරගෙන ලාංකීය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් දායාද කළ ලිඛිත ස්වර ලිපි සහ පර්යේෂණ උරුමය 1981 ගින්නෙන් සදහටම මැකී ගියා.

යාපනය පුස්තකාලය ගිනිබත් වීමෙන් අහිමි වූයේ හුදෙක් පොත් කන්දරාවක් පමණක් නොවේ. එය දකුණු ආසියාතික කලාපයේ, විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය දෙමළ සංස්කෘතියේ, වෛද්‍ය විද්‍යාවේ සහ ඉතිහාසයේ අනන්‍යතාවය සනිටුහන් කළ, නැවත කිසිදා ප්‍රතිනිර්මාණය කළ නොහැකි බුද්ධිමය උරුමයකි.

© කපිල එම්. ගමගේ
මෙය සැකසීමේ දී Vishnu Vàsu සහෝදරයාගෙන් ලබා ගත් තොරතුරු මූලාශ්‍ර වැදගත් වුණි.

leave a reply