Breaking News

වියපත් රැම්බෝ සහ වියැකීයන මැදිහත්කරුවා

බුද්ධික

ලෝකයේ විශාලතම සහ නවීනතම හමුදාව වූ ඇමෙරිකානු හමුදාව දණ ගැස්වීමට පන් තොප්පි දමාගත් කෙසඟ වියට්නාමී සටන්කරුවන්ට හැකිවිය. ඇමෙරිකාව මෙම ක්ෂතිමය අත්දැකීමෙන් ගැලවීමට රුම්බෝ නැමැති වියට්නාමය දණගස්වන ෆැන්ටසි වීරයා නිර්මාණය කලේය.

තමන් ඉදිරියේ දනින් වැටී සමාව ඉල්ලූ විරුද්ධවාදියාගේ හිස කුඩු කළ, නිරායුධ මාද්‍යකරුවන් මරා දමා “ මොකෙක්ද ඌ“ කියා ඇසූ, රාජ්‍ය ධනය අධූරදර්ශී ලෙස විනාශ කර රටක් බංකොලොත් භාවයකට ඇද දැමූ උඩගු ඒකාධිපති පාලනයක් ගෝල්ෆේස් අරගලය විසින් දණ ගැස්වීය.
මෙම ක්ෂතිමය අත්දැකීමෙන් ගැලවීමට පරාජිත දූෂිත පාලන තන්ත්‍රය විසින් අරගලය දණගස්වන ෆැන්ටසි වීරයෙක් වියපත් රුම්බෝ කෙනෙකු ලංකාව තුළත් නිර්මාණය කර ඇත. එම ෆැන්ටසි වීරයාගේ මංමුලා කරණ රෑපයෙන් මත්වුනු බොහෝ අය සෑම උදයකම අරගලයේ මියයාම සහ අසාර්ථකත්වය අලුතින් නිවේදනය කරමින් සිටී.

අරගලයේ වීරයෝ සිටියේ නැත. කැරිස්මැටික නායකයෝ සිටියේ නැත. චර්චිල්ලා, ලෙනින්ලා, ස්පාටකස්ලා සිටියේ නැත. ඒ වෙනුවට අතට අසුවන කොළ කෑල්ලක සටන් පාඨයක් ලියාගෙන, පා ගමනින්, බයිසිකලයෙන්, කොච්චියේ වහලය මතින්, බස් රථයේ පාපුවරුවෙන්, මරුටියෙන් මෙන්ම බෙන්ස් එකෙන් පාරට පැමිණි හදුනාගත නොහැකි මිනිස් මුහුණු ලක්ෂ ගණනක සාමූහික උත්සාහයකින් අරගලය නිර්මාණය විය.

ඔවුහු පොදු අරගලයකට මැදිහත්වී ඒ අරගලය තුළ තමාව දියකර අරගලය ජයග්‍රහණය කල පසු වියැකී ගියහ. මොවුහු පැරණි අරගලවල පරමාදර්ශී චරිත සිහිගන්වන වීරයෝ නොවූහ. ඒ වෙනුවට ඔවුන් අප මෙන්ම අසම්පූර්ණ, ආතතියෙන් බැටකන, අනාගතය ගැන වික්ෂිප්ත වූ, දිලිසෙන ඇස් පිටුපසින් කැඩී බිදී ගිය ආත්මයක් සඟවාගත් තවත් මිනිසුන් විය.

අරගලය තුළ රැම්බෝලා සිටියේ නැත. සිටියේ වැන්ගෝලාය. තම විදවීම අමරණීය අරගලයක් බවට පත්කළ සාමාන්‍ය මිනිසුන්ය.
එවන් ලක්ෂ ගණනක් මිනිසුන් අතරින් තවත් එක් සුන්දර මිනිසෙක් අපගෙන් සමුගත්තේය. සුබ ගමන් නොහදුනන හදුනන සහෝදරයා. අනාගතය ඔබ සතුයි. ඒ ඔබ එය නිර්මාණය කර බැවිනි.

ගෝල්ෆේස් බිමේ තරුපිරි අහසේ ඔබගේ මතකය සදා රැදෙනු ඇත.
For they could not love you
But still your love was true
And when no hope was left in sight
On that starry, starry night
You took your life, as lovers often do
But I could have told you, Vincent
This world was never meant for one
As beautiful as you
Vincent – Don Mclean

leave a reply