ගමේ කෙළවර
ආදාහනාගාරය
දවා අලුකර හදවත්
සෝ සුසුම් පිටකලා
දුම් කවුළුවෙන්
ඉහළ අහසට
මළ ගමේ
නොමළ මිනිසුන්
හොරෙන් බල බල
ජනෙල් කවුළුවෙන්
ආදාහනාගාර චිමිනියෙන්
ගමේ අඩු වෙන
මිනිසුන්ව ගැන්නා
කට වසාගෙන
නිරුවත් දෑතින්
මිනී ගඳ මුහුවුන
අවට වාතය
පෙර පෙරා ඔක්සිජන්
පපුවේ ගැඹුරටම ඇද්දා
ගිලන් රථයක
හඬක් ඇහුනම
තිගැස්සෙන බයක් තිබුනා
අමාරුම කාලේ
අතැර ගියත්
බියට පත් මිනිසුන්
පුරුද්දට දෙයියන්ට යැද්දා
අලුත් හිරු කිරණ
තුරුලිය මත හැපි හැපී
රමණය කර කර
අලුත් මල් තිබ්බා
ඉඳ හිට ජනෙල් කවුළුවෙන්
වට පිට බලන විට
දඟකාර මද නල
අරන් ඇවිත් මල් සුවඳ
නාස් පුඩු මතින් තිබ්බා
බිඟුන් ඇවිදින්
හුරතල් කර කර මල් පෙති
හාදු දෙන සද්දෙත් ඇහුනා
නිදහසේ ගී ගය ගයා
විහඟුන්
වසන්තයේ සුව වින්දා
