Breaking News

රාජ්‍ය ආයතන වසා දැමීම හෝ පෞද්ගලිකකරණය කිරීමට ආණ්ඩුවේ සුදානමක්

ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල්

රාජ්‍ය ආයතන ගණනාවක් වසා දැමීමට හෝ පෞද්ගලිකකරණය කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් ගොවි අරගල ව්‍යාපාරය අද ( 2025 – 03 – 28 ) දින නුගේගොඩ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවන ලදී.

එහිදී අදහස් දැක්වූ ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා


” රජයට අයත් වාණිජමය නොවන ආයතන 166ක් සම්බන්ධයෙන් පසුගිය මාර්තු 17 වෙනිදා කැබිනිට් මණ්ඩලයට සමාලෝචන වාර්තාවක් ඉදිරි වුණා. ආණ්ඩුව කියන විදිහට ඒ ඒ ආයතන සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්න මෙහිදී තීරණය වෙලා තියනවා. මේ ආයතන අතර තියනවා කෘෂි ක්ෂේත්‍රයට අයත්වන ආයතන ගණනාවක්. මහවැලි අධිකාරිය, කජු සංස්ථාව, වී අළෙවි මණ්ඩලය, ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය වගේ වැදගත් ආයතන ප්‍රමාණයක් මේ ලයිස්තුවේ තියනවා.


අපිට පේනවා ආණ්ඩුව දැන් තමනගේ ආණ්ඩුකරණය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය තමයි මේ වෙද්දි රටට පෙන්වමින් ඉන්නේ. ඒක පැහැදිලී වෙනදා මේ සතියේ කැබිනට් තීරණ දැනුම් දීමේදී නලින් ද ජයතිස්ස ඇමතිවරයා කිව්ව කළ ප්‍රකාශයෙන්. ඔහු කිව්වේ මේ ආයතන ආරම්භ කිරීම සඳහා හැකියාව සහිත පෞද්ගලික අංශයක් ඒ කාලේ හිටියෙ නැති නිසා ඒ ආයතන ආරම්භ කිරීම සඳහා රජයට මැදිහත් වෙන්න වුනා කියලා. එතකොට දැන් ආණ්ඩුව හිතාගෙන ඉන්නේ මේ ක්ෂේත්‍ර සඳහා පෞද්ගලික අංශයට ඉඩ දෙන්න. මෙහි පියවරක් විදිහට තමයි මාර්තු 17 කැබිනට් මණ්ඩලයට සමාලෝචන වාර්තාවක් ඉදිරිපත් වුනේ. මේ වාර්තාව අනුව ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා ඇතැම් ආයතන සම්පූර්ණයෙන් වහන්න. තව ආයතන ප්‍රමාණයක් රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරීත්වයට පවරන්න. ඇතැම් ආයතන මුලුමනින්ම පෞද්ගලිකකරණය කරන්න. මේ සමාලෝචන වාර්තාව හදන්න කමිටුව පත්කරලා තියෙන්නේ පසුගිය 18 වෙනිදා.

දැන් මේ සමාලෝචන වාර්තාව මහවැලි අධිකාරිය සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන නිර්දේශය තමයි සම්පූර්ණයෙන් ඈවර කළ යුතුයි කියන එක. අපිට මතකයි යහපාලන ආණ්ඩුව කාලේ රනිල් වික්‍රමසිංහත් මේ විදිහෙම යෝජනාවක් ගෙනාවා. මහවැලි අධිකාරියේ සේවකයින් 3800ක් පමණ ඉන්නවා. රනිල් යෝජනා කලේ ඒ ගණන අඩු කරලා සමහර කොටස් පෞද්ගලික අංශයට පවරන්න. දැන් ජාතික ජන බලවේග ආණ්ඩුව එතනිනුත් එහාට ගිහිල්ලා මහවැලි ආයතනය මුළුමනින්ම වහන්න තමයි සූදානම් වෙන්නේ. මහවැලි සංවර්ධන අධිකාරිය සතු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 1722920 ක් වෙනවා. මේ ඉඩ්ම් අදියර තුනක් යටතේ සංවර්ධනය කරන්න තමයි 1980වෙදි යෝජනා වුනේ. එහි පළවෙනි අදියර අවසන් කළා. හැබැයි දෙවෙනි අදියරේ භාගයක් විතර යුද්ධය නිසා අවසන් කලේ නෑ. එතකොට දෙවෙනි තුන්වෙනි අදියර වලට අදාළව අනුරාධපුර,පොළොන්නරුව, මඩකළපුව ත්‍රිකුණාමලය, මුලතිව්, වව්නියාව, මන්නාරම වගේ ප්‍රදේශ ගණනාවක තවමත් සංවර්ධන කටයුතු අවසන් වෙලා නෑ. එහෙම තියෙද්දී තමයි ආණ්ඩුව සූදානම් වෙන්නේ මහවැලි සංවර්ධන අධිකාරිය වහලා දාන්න. මේ තීරණය නිසා මහවැලි යෝජනා ක්‍රමයට අයත් ගොවි පවුල් 210105 නිසා අවතැන් වෙන්න නියමිතයි.

කෘෂිකර්ම අමාත්‍යංශයේ වැය සීර්ශ විවාදයේදී කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ කිව්වා පසුගිය ආණ්ඩු මහවැලි යෝධයා බිමට වැට්ටුවා දැන් මේ ආණ්ඩුව ඒ මහවැලි යෝධයට නැවත පණ දෙනවා කියලා. ඒ වගේම මහවැලි කලාප දහය ඇතුළේ මහවැලි පුනරුද සතිය කියලා එක් එක් කලාපයට සතිය බැගින් වෙන් කරලා වැඩ සටහන් දහයක් ක්‍රියාත්මක කරනවා කියලත් ඔහු කිව්වා. මේ ප්‍රකාශය ඔහු කලේ පසුගිය මාර්තු 12 වෙනිදා. එතකොට එහෙම මහවැලි නියෝජ්‍ය ඇමතිවරයා කියද්දී තමයි කැබිනට් මණ්ඩලය මාර්තු 17 තීරණයක් ගන්නේ මහවැලි ආයතනය වහලා දාන්න.

ඊලඟට මේ සමාලෝචන වාර්තාව තව භයානක යෝජනා ගණනාවක් ඉදිරිපත් කරලා තියනවා. වී අලෙවි මණ්ඩලය පෞද්ගලික අංශයට පැවරීම. කජු සංස්ථාව ඈවර කර එහි ඉඩම් විකිණීම. පසු අස්වනු තාක්ෂණික ආයතනය සම්පූර්ණයෙන් වසා දැමීම වගේ යෝජනා ගණනාවක් මීට ඇතුලත්. විද්වතුන් කියන විදිහට නිවැරදි දැනුමක් තාක්ෂණයක් නැති නිසා අදටත් ලංකාවේ කෘෂි අස්වැන්නෙන් පසු අස්වනු විශාල ප්‍රමාණයක් විනාශ වෙනවා. එහෙම නම් ආණ්ඩුව මේ වෙලාවෙ කරන්න ඕන පසු අස්වනු තාක්ෂණික ආයතනය සංවර්ධනය කිරීම. එහෙම නොකර ඒ ආයතණය වහලා දාන්න සූදානම් වෙන්නෙ ඇයි කියන කාරණය ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි.

අද වෙද්දිත් රටේ සහල් අර්බුදයට නිසි විසඳුමක් ලැබිලා නෑ. ආණ්ඩුව පහුගිය කාලේ ලොකු ලොකු කතා කිව්වා වී අළෙවි මාන්ඩලට සංවර්ධනය කිරීම ගැන. හැබැයි මේ සමාලෝචන වාර්තාවේ තියෙන්නෙ වී අළෙවි මණ්ඩලය පෞද්ගලික අංශයට පවරන්න කියලා. ඒ අතරේ පසුගිය සතියේ වෙළඳ ඇමතිවරයා කැබිනිට් පත්‍රිකාවක් දානවා සතොස ආයතනයට සහල් නිශ්පාදනය සඳහා ආයෝජනය කිරීමට අවසර ඉල්ලලා. දැන් වී අළෙවි මණඩලය වැහුවට පස්සෙ සතොස සහල් නිශ්පාදනයට වී ගන්නේ ඩඩ්ලිගෙන් නිපුණගෙන් ද ? මේ පරස්පරතා දිහා බැලුවම අපිට පේන්නේ ආණ්ඩුවේ ඇතැම් තීරණ ගැන අමාත්‍යවරුන්වත් දැනුවත් නැ කියලයි. මෙතන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්නේ උඩින් ගෙනල්ලා පහත් කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ.


සෑම අගහරුවාදාවකම හවස 7.00ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක එකතුවෙලා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව එකතුවෙලා සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාවල දි ඇතිකරගන්න එකඟතා තමයි මේ ආණ්ඩුවේ යෝජනා විදිහට එලියට එන්නේ.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළට අනුව රට ගෙනියන්න නෙමෙයි ජනතාව ආණ්ඩුවට බලය දුන්නේ. පෞද්ගලිකකරණයට එරෙහිව සටන් බිමේ හිටපු ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය දැන් ඒ පෞද්ගලිකකරණය කියන පාරෙම ගමන් කිරීම ඉතාම කනගාටු දායක තත්වයක්. අපි ආණ්ඩුට කියනවා වහාම මේ ජනතා ද්‍රෝහී සමාලෝචන වාර්තාව හකුලාගත යුතුයි. එහෙම නොවුනොත් ගොවි අරගල ව්‍යාපාරය විදිහට අපි මේ විනාශකාරී වැඩපිළිවෙළට එරෙහිව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග අරගෙන ජනතාව සමග එකතුවෙලා මේ වැඩපිළිවෙළ පරාජය කරන්න අවශ්‍ය මැදිහත් වීම කරනවා. “

leave a reply